ඉලන්දාරි දෙවියෝ

568

රජරට මින්නේරිය දොළොස්දූව ප්‍රදේශාධිපති දෙවියකු ලෙස සැලකෙන ඉලන්දාරි දෙවියන් පත්තිනි දෙවඟනගේ සපුමල් හිස්පළඳනාවෙන් උපන් දේවාත්මයකි. පත්තිනි දෙවඟන ඉලන්දාරි කුමරුවන්ට ඉලන්දාරි කුමරා නොහොත් රජකොල්ලා යනුවෙන් නම් තබා රැකබලාගත් බව දේවපුරාණයේ පැවසේ.

ගංගානම් නදියේ ජලස්නානය සඳහා ගිය පත්තිනිය ගඟවැලිතලාවෙහි සිය ඇඳුම් සහ හිස්පළඳනාව ගලවා තබා ස්නානය පිණිස ගොස් ආපසු පැමිණෙන වෙලාවේ සපුමල් පළඳනාව මත කෙළිදෙලෙන් කුමරකු සිටි බවත් උපත් කතාවේ කියැවේ.

සැපත පතිනි දියකෙළියට ගංතෙර ගොස් සළු දිග හැරි
විපත හිසේ ගිබු සපුමල සළුපොට පිටගෙන දිග හැරි
නැවත එසපුමල බැලුවිට කෙළ කෙළ වුන් රන් කුමා රි
උපත පතිනි නම කිව්වේ කුමරු මගේ ඉලන් දාරි
(දේ.පු.147)

රජරට උතුරමැද පළාතේ මෙන්ම වයඹ පළාතේ ජනතාවගේ පුදපෙත් ලබන දෙවි දේවතාවුන් අතර ඉලන්දාරි දෙවියන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඉලන්දාරි දෙවියන්ගේ අණසක මින්නේරියේ දූපත් සතක මෙන්ම කලා බදුලු වැව මින්නේරිය විලච්චිය ප්‍රදේශ පුරා පැතිර පවතී. ඉලන්දාරි දෙවියන් මදුරාපුර සිට සුදු අශ්වයකු පිට නැගී යාපාපටුනට ගොඩ බැස්ස බව කියවේ. කිරි කළයක් ලේ කළයක් බවට පත්කොට දස්කම් පෙන්වා සක් දෙවිඳුගේ සිත් සතුටු කොට මින්නේරි පෙදෙසේ පාලනය හිමිකරගත් බවත් ඉලන්දාරි දෙවියන් කූළුහරකුන්ට අධිපතිත්වය දරන බවත් ගවයන් පිළිබඳ සියලු කටයුතු මෙම දෙවියන්ගේ නාමයෙන් පැවැත්වෙන බවත් දේව පුරාණයෙහි සඳහන් වේ. (146 පිටුව)

මින්නේරිය දොළොස්දුව පසුකර සක්මන් කරන්ඩ
ඉන්නෑරිය මෙසිංහළේ වැව්බැඳි රට බලා ගන්ඩ
කංකාරිය සමග මෙනුඹ කිරිඉතිරුම් බාර ගන්ඩ
දැන් සූරිය රැස් විලසින් ඉලන්දාරි දෙවි වඩින්ඩ

ශිව දෙවියන්ට දරුවන් දෙදෙනෙක් සිටි බවත් ඔවුන්ගෙන් වැඩිමල් දරුවා අයියනායක බවත් බාල දරුවා ඉලන්දාරි දෙවියන් බවත් ඇතැම් විට මෙම දෙවියන් අංකුසයක් අතදරා සුදු අශ්වයකු පිට ගමන් කරන බවත් පැවැසේ. (කාරියවසම් තිස්ස. සිරිලක දෙවිවරු.) අයියනායක දෙවියන් සඳහා ගැයෙන කෝල්මුර ගායනාවක ඉලන්දාරි දෙවියන් අයියනායක දෙවියන්ගේ සේවකයකු බවද පැවසේ.

බලා මොහොත් පිළගු ගැබේ සත් මල් පහයෙන් වඩින්ඩ
බෙදලා සත්මල් පහයේ මුදුනට රන් කොත් තියන්ඩ
වැල්ල මුහුදු වෙරළ දිගින් අලි ඇතුපිට වැඩම වන්ඩ
කැන්දා ළඟ ඉලන්දාරි දෙවතාවට බාර දෙන්ඩ

නුවර කලාවියේ රඹෑව වාන ප්‍රදේශයේ ඉලන්දාරි දෙවියන් පුදනු ලබන අතර එම ප්‍රදේශයේ වැසියන් තුළ ඉලන්දාරි දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳව විවිධ මත පවතී.

එක් පුවතකට අනුව ඉලන්දාරි කුමරුන් වසර හතක් මව්කුස පිළිසිඳ ගෙන සිටි බවත් ඉලන්දාරි දෙවියන්ගේ මව එරන්දතී නාග කන්‍යාව බවත් පියා පූර්ණක නම් යක්‍ෂ සේනාධිපති බවත් බැතිමත්හු විශ්වාස කරති. රූපස්ශ්‍රීයෙන් අගතැන්පත් එරන්දතී නාග කන්‍යාව පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතියන් සමග සරණ යෑමට සූදානම්ව සිය පියාණන් වන නා රජුන්ගෙන් වරන් ගත් පුවත එරන්දැතී වර්ණනාවේ සඳහන් වේ. එරන්දැතියගේ රූපකාය පිළිබඳව පී.ආර්. ගොඩගන්දෙණිය මහතා විසින් රචිත නාට්‍ය ගුරුවරයා ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.

වරලස නිල් පැහැයෙන්ද අඩසඳ පටු නළලින්ද
තුනගුල් බැම සගලින්ද ඉඳුනිල් නෙත් දෙකිනා
දෙතොල එනාදළු මෙන්ද දත්පෙළ පබළු ලෙසින්ද
මනහර ගෙලවට බැන්ද රන්මාලය දිලුනා

ළමැද පයෝදර බැන්ද රන්වන් බුබුළු ලෙසින්ද
සිහිනිග පටසළු ඇන්ද දුටුවන් මවිත වුණේ
පූර්ණ සෙනෙවි විසින්ද ඒ රුව ලිය දකිමින්ද
මගෙ සිත නුඹ වෙත බැන්ද දිවිදෙමි මෙනුඹ ගැනේ

සිය පියාණන්ගෙන් වරන් ලැබූ එරන්දතිය පූර්ණක නම් යක්‍ෂ සේනාපතිගේ කාලගිරි පර්වතයට පැමිණි බව කියවේ. පූර්ණක නම් යක්‍ෂයාට දාව එරන්දතී නාග කන්‍යාවගේ කුස පිළිසිඳි ඉලන්දාරි කුමරු රූපකායෙන් අනූණවූවෙකි. ගංගා නම් ගංතෙර සළුපිළි ලිහා ජලස්නානයට සැපත් පත්තිනිය ස්නානයකොට ආපසු පැමිණි වෙලේ ඇයගේ හිස්පළඳනාව වන සපුමල මත කෙළිදෙලෙන් පසුවුණ ඉලන්දාරි කුමරා ද රූපස්ශ්‍රීයෙන් යුක්තෙකු බව පැවසේ.

දේව විශ්වාස දැඩිව පවතින වන්නි ප්‍රදේශයේ කිරිඉතිරවීමේ මංගල්‍යය චාරිත්‍රයක් ලෙස එම පෙදෙසේ පවතියි. එම කිරිඉතිරවීමේ මංගල්‍යයේදී පුද ලබන දෙවියන් අතර ඉලන්දාරි දෙවියන් ද සිටියි. ඉලන්දාරි දෙවියන් වන්නි ප්‍රදේශයේ වැසියන්ගේ පුදපෙත් ලබන පස්දේවතාවුන් ගෙන් කෙනෙක් බවද පැවසේ. සිංහල දේවපුරාණයේ සඳහන් වන ආකාරයට පස් දේවතා කවි යන පුස්කොළ පොතක කළු දේවතා, කම්බිලි දේවතා, ගුරුමා දේවතා, හැඩයා දේවතා, රත්ත කඩවර යන දෙවිවරු පස් දෙනෙකු ගැන සඳහන් වන අතර ඉලන්දාරි දේවතා ගැන එහි සඳහන් නොවේ. මෙම පස් දේවතාවුන් සක් දෙවිඳුන්ගෙන් වරම් ගෙන කළුතර වෙරළින් මෙලකට ගොඩබට වූවන් බව පැවසේ. නමුත් මහනුවර යුගයේ එකම දෙවියා නම් කීපයකින් හැඳින්වූ බවද වන්නි ප්‍රදේශයේ පුද ලබන දෙවිදේවතාවුන් යටතේ පස්දේවතාවුන් කෙනෙකුන් ගැන සඳහන් වන බව සිංහල දේවපුරාණයෙහි කියවේ. ඒ අනුව එම දේවතාවුන් අතර ඉලන්දාරි දෙවියන් සිටින බවට අනුමාන කළ හැකිවේ.

අයියනායක දෙවියන්ගේ සේවකයකු ලෙස සැලකෙන ඉලන්දාරි දෙවියන් උඩරට සිංහලයන්ගේ පුදපෙත් ලබන කිරිඅම්මාවරු දෙවිවරු අතර ඥාති සම්බන්ධයක්ද පවතින බැව් නුවරකලාවියේ දෙවිදේවතා ග්‍රන්ථයේ සඳහන් වේ. නුවරකලාවියේ තමන්කඩුව ආදී ප්‍රදේශවල කිරි අම්මා දෙවිවරු ඇදහීම පිළිබඳ විශේෂත්වයක් පවතී. ඉදිගොල්ලේ කිරිඅම්මා, කුකුළාපොල කිරිඅම්මා, උනාපාන කිරිඅම්මා, වෙල්ලස්සේ කිරිඅම්මා ආදි වශයෙන් කිරිඅම්මා දෙවිවරු විසිහතර දෙනෙකුන් පිළිබඳව සඳහන් වේ.

වන්නි පළාත්වාසීහු දඩයම් පිණිස වනගත වෙද්දී අයියනායක දෙවියන්ගෙන් මෙන්ම රැකවරණය ඉල්ලා ඉලන්දාරි දෙවියන්ට පුදපූජා තබති. තමන්කඩුව ප්‍රදේශයේ ජනතාවගේ පුදපෙත් ලබන ඉලන්දාරි දෙවියන් ගව සම්පත සම්බන්ධව සියලුම කටයුතුවලදී ගවයින් ආරක්‍ෂා කරදෙන දෙවියකු ලෙස ඔව්හු සලකති. ඉලන්දාරි දෙවියන් ගොපළු දේවතා නමින් ද ඇතැම්හු හඳුන්වනු ලබති. ගවයන්ට අධිපති ගොපළු දේවතාවා විශේෂයෙන් ගොවි ජනතාවගේ ප්‍රසාදය දිනාගත්තෙකි. ගොපළු දේවතාවා කෙත්වතුවල සැරිසරයි. සිරිතක් වශයෙන් කලවිට පිරිත ගැයෙන්නේ ගොපළු දේවතාවන්ගෙන් බැත රැකගැනීමට බැව් සතර කෝරළයේ වැසියන්ගේ විශ්වාසයකි. “එළවිස්සා” නොහොත් අංග විස්සක එළපැහැති ගවයා ගොපළු දේවතාගේ වාහනය බව පැවසේ.

බුලත් පිදේනි දීමෙන් ඉලන්දාරි දෙවියන් පුදනු ලබන අතර බවභෝග සශ්‍රීක කරදීම සිදුකරන මෙම දෙවියන්ට ගොඩදියමස් සහිත පූජාවක් පවත්වන බවත් ගවයන් ආරක්‍ෂා කරගැනීම ගවපට්ටි බෝකර ගැනීම පිණිස ගවගාල් ආසන්නයේ ගසක් මුල එම පූජාව තබා බාරහාර වන බවද පැවසේ.

ඉලන්දාරි දෙවියෝ

කලාභූෂණ, විශ්වාභිනන්දන’ සියනෑ ගෞරවකීර්ති
සියනෑ අභිනන්දන සාමවිනිසුරු
සරණපාල නුවරපක්‍ෂ, පූගොඩ.
077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment