උන්ට විනයක් නැත මුන්ට නහයක් නැත

3086

නතාෂා – ජෙරොම් සහ අලි සබ්රි රහීම්

දේශපාලන, සමාජ හා සංස්කෘතික ක්‍ෂේත්‍ර උණුසුම් කෙරෙන අතිශය විවාදාත්මක මාතෘකා කීපයක්ම මේ දිනවල කරළියට පැමිණ තිබේ. පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ චර්යාව මෙන්ම තමන් සතු මන්ත්‍රී වරප්‍රසාද උපයෝගී කර ගනිමින් ඔහු විසින් කරන ලද ක්‍රියාකාරකම් හා එයට එල්ල වී තිබෙන විවේචන දෝෂාරෝපණ දේශපාලන සමාජයම කැලඹීමකට පත්කර තිබේ. සමාජ හා සංස්කෘතික අංශවල ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් බුදු දහමට නිගරු කළ ලියක් පිළිබඳ සංවාදය ඊටත් වඩා ප්‍රබල මෙන්ම ක්‍ෂේත්‍ර ගණානවක් සම්බන්ධයෙන් ද ප්‍රශ්න කරන්නක් වී තිබේ. ඒ නතාෂා එදිරිසූරිය නමැති ලියක් විසින් කොළඹ බාලිකා විදුහලකදී ඉදිරිපත් කරන ලද නාටකීය හාස්‍යයක් සහිත ප්‍රසංගයකැයි හැඳින්වෙන නිරූපණයකි. නතාෂාගේ විකට රංගනයෙන් බුදුසිරිත හා බැඳුණු සිදුවීමක් මෙන්ම සදාචාරාත්මකව පිළිගන්නා ලද සමාජ සම්මුතීන් ද අවමානයට ලක් කරනු ලැබ ඇතැයි ද චෝදනා නැඟී තිබේ. මේ වන විට ඇය රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ප්‍රහ්න කරන බවද වාර්තා විය.

අපි පළමුවෙන්ම නතාෂා විසින් ඉදිරිපත් කරන ලද මතභේදාත්මක නිරූපණය හා එයට සම්බන්ධ සමාජ ප්‍රතිචාර පිළිබඳව විමසා බලමු. නතාෂාගේ සිදුවීම ආගම් විරෝධී උමතුවක් ලෙසත් එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියට නිගරු කෙරෙන බවත් චෝදනා කෙරෙන අතරම එය හුදු හාස්‍ය රසය දැනවීමට ඉදිරිපත් වූ බටහිර ප්‍රකට Stand up comedy ගනයේ නිරූපණයක් බවද තවත් පිරිසක් පවසති. එසේම දැන් සෑහෙන කලක සිට බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බවත් ඒ සඳහා මූල්‍ය ආධාර අනුග්‍රහ ලබාදෙමින් තිරය පසුපස මුහුණු සඟවා ගත් පිරිසක් සිටින බවට ද බැරෑරුම් චෝදනා පත්‍රයක් ඇත. මේවා නිසි විමර්ශනයකින් තෝරා බේරා සත්‍යය හෙළි කිරීම ආණ්ඩුවේ වගකීමකි. නොඑසේ නම් මෙබඳු සිදුවීමක් ආගම්වාදී ගින්නක් පැතිරීම සඳහා ඕනෑවටත් වඩා ගිනිපුපුරුවලින් සැඳුම් ලත් බෝම්බයක් බවට පත්වීමේ අනතුර ද වැඩිය. මෙයට පෙර බදාදා ලියවිල්ලක මෙබඳු බෝම්බ ප්‍රවේශමින් නිශ්ක්‍රීය කළ යුතු බවද පෙන්වා දුනිමු.

අද අප ජීවත්වන්නේ ජනමාධ්‍ය හා තාක්ෂණය වඩාත් දියුණු මෙන්ම ප්‍රචලිත සමාජයකය. ස්මාර්ට් ජංගම දුරකථනය නිසා මේ සමාජ සංස්කෘතික බැඳීම් පවා අභියෝගයට ලක්වන බව ඒ ක්‍ෂේත්‍රවල විශේෂඥයෝම පවසති. නිදහස හා මාධ්‍ය භාවිතය, කලාව හා සිනමාව සම්බන්ධ ආකල්ප ද ඒ සමාජ සංස්කෘතික ප්‍රවාහයට හසුවීම නොවැළැක්විය හැකිය. එසේ වුවද කිසියම් ජාතික සංස්කෘතික හර පද්ධතීන් සුරැකීම අත්‍යවශ්‍ය දෙයක් බවද තවමත් පිළිගනු ලැබේ. මාධ්‍ය නිදහස, කලාව හා සිනමාව සම්බන්ධ අභිනව කියැවීම් සීමා නොකළ යුතු බව පිළිගන්නා කණ්ඩායම් ද සිටිති. නතාෂාගේ නිරූපණය සම්බන්ධයෙන් ඇත්තේ ද මෙම දෙපාර්ශ්වයෙහි තර්ක විතර්ක මෙන්ම ආගමික හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ කරුණු බව පැහැදිලිය. මගේ අදහස වන්නේ මේ සමාජ විෂමතාව හා සාමුහික සංස්කෘතික විඥානය කාලානුරූපව වෙනස් වන්නක් විනා එක් රැයකින් සිදු කළ හැකි ආකල්පමය වෙනසක් නොවන බවය.

බුදුදහම හා බැඳුණු බෞද්ධ සංස්කෘතික උල්පත්වලින් පෝෂණය වූ ආධ්‍යාත්මික සමාජයක් තවමත් අප අතර තිබේ. බුදු උපත මෙන්ම කිතු උපත පමණක් නොව දෙවියන් පිළිබඳ විශ්වාස ආදිය සිංහල සමාජයෙහි පොදුවේ දැකගත හැකිය. සිංහල බෞද්ධ, සිංහල කිතුනු, දෙමළ හින්දු හා දෙමළ කිතුනු වැනි ප්‍රභේද තවමත් සමාජය තුළ ප්‍රබල සංස්කෘතික විඥානයන් ද නිර්මාණය කර තිබෙන බව අපට පෙනේ. මේවා ප්‍රශ්න කිරීම ඒවා අගැයුමට ලක් කෙරෙන සංස්කෘතික ජන විඥානය තුළ කැලඹීමකට ද හේතු වනු ඇත. බටහිර සංස්කෘතික සමාජයක කෙරෙන ප්‍රශ්න කිරීම් පෙරදිගට ඔරොත්තු නොදෙන බව දැන් සෑහෙන කලක සිට අපට පෙනී යන කරුණකි. එක් ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහනක කිතු උපත ප්‍රශ්න කෙරෙන උපහාස නාටකයක් ඉදිරිපත් විය. Saturday night live නමැති එම වැඩසටහනේ මරිය තුමියගේ චරිතය නිරූපණය කරන ලද්දේ එමා ස්ටෝන් නමැති ප්‍රකට රංගන ශිල්පිනිය විසිනි. ඇගේ සංවාද හාස්‍යමය නිරූපණ ඒ ප්‍රේක්‍ෂකයන්ට ගැටලුවක් වූයේද නැත. එය හාස්‍ය රසය ජනනය කෙරෙන ප්‍රහසනයක් ලෙසද පිළිගෙන ඇත. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතික මනසකට එබඳු ප්‍රතිචාරයක් දැක්විය හැකිද? නතාෂාගේ නීතිඥයන් අධිකරණයේදී පවසා තිබුණේද එය විහිළුවක් බවය. එහෙත් එබඳු විහිළු තවම අපගේ සංස්කෘතික මනස විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

නතාෂාගේ නිරූපණය මතභේදයට තුඩු දෙන්නේ එමගින් බුදුන් වහන්සේගේ උපත අවමනායට ලක්කර ඇතැයි යන නිගමනය නිසාය. සිදුහත් උපත පිළිබඳ ගොඩනැඟී තිබෙන සාහිත්‍යමය වර්ණනා මෙන්ම එමගින් සමාජගත කර තිබෙන ආකල්ප ලඝු කරමින් ඒවාට සිනාසීම බෞද්ධයන් කුපිත කරන්නක් වී තිබේ. පාලි අටුවාවල හා සංස්කෘතික ග්‍රන්ථවල දැක්වෙන පරිදි සිදුහත් කීර්තිමත් හා අභිමානවත් රාජකීය ප්‍රභවයක් සහිත සුවිශේෂ පෞරුෂයකි. පසුව ජනප්‍රවාද අනුව ඒ උත්පත්ති පුවත වර්ධනය වූ බව සමහර විද්වතුන්ගේ අනුමානයකි. බුදුවරයකුගේ පහළවීම යනු සුවිශේෂ සිදුවීමක් බව අටුවාවල ද දක්වා අත. මජ්ඣිම නිකායේ ද ඒ පිළිබඳව විග්‍රහයක් ඇතුළත්ව තිබේ. සිදුහත් උපතින් පසු මෑණියන් මියයෑම, එය හා බැඳුණු අසිරිමත් සිදුවීම් ආදිය නොයෙක් අයුරින් විස්තර කර ඇත. උපන් කෙණෙහිම බෝසතුන් පියවර සතක් ඇවිදීම, අනතුරුව ‘මම ලොවට අග වෙමි, ලොවට දෙටු වෙමි, මේ මගේ අවසන් උපතය’ ආදී වශයෙන් කළ බව සඳහන් ගාථාව ඒ සිදුවීම් සමග බැඳී තිබෙන දේවල්ය. මහමායා දේවියගේ සිහිනය මෙන්ම අසිත තවුසාගේ හිස මත සිදුහත් කුමරුන්ගේ දෙපා රැඳීම වැනි සියල්ල ඒ උපත විචිත්‍ර කළ හා එමගින් සිංහල බෞද්ධ ජන සංස්කෘතියට එක්කරන ලද වටිනා සිදුවීම් ලෙස ද පිළිගනු ලැබේ. එසේම බුදු තෙමඟුලේ පදනම වන්නේ ද බෝසත් උපත, බුදුවීම හා බුදුන්ගේ පිරිනිවීම යන කරුණු තුනය. ඒවා කිසිවෙක් ප්‍රශ්න නොකරති. එවන් උතුම් චරිතයක් “සුද්ධෝදනගේ කොල්ලෙක්” ලෙස පැවසීම ප්‍රශ්නකාරී නොවේද? එබඳු පූජනීය චරිතයකට අවමන් කිරීම සිංහල බෞද්ධ සමාජය කුපිත කරවීම අප තේරුම් ගත යුතුය. පූජනීයත්වය ගෞරව වන්දනාව යනු ආගමික සංස්කෘතියක පදනම බවද අපි දනිමු. ඒ පදනමට පහර දීමට කිසිදු පුද්ගලයකු ඉදිරිපත් නොවන පසුබිමක නතාෂා වැනි ලියක් ඒ සඳහා යොමුවීම කොහොමත් ප්‍රශ්නකාරී වනු ඇත.

බුද්ධකාලීන සමාජයෙහි ද උන්වහන්සේට විවිධ අපහාස සිදුවිය. බුදුන්ට මාගම්සෝලි කොට පරිභව කළ චිංචි මානවිකාව හා සුන්දරී පරිබ්‍රාජිකාව ගැන බොදුනුවෝ දනිති. මාගම්සෝලි යනු රහසිගත ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට කෙරන චෝදනාවකි. චිංචා එදා කුසට දර මිටියක් බැඳ ධර්ම ශාලාවට පැමිණ බුදුන් වහන්සේට ගැරහූ පුවත මෙන්ම සුන්දරීත් එබඳුම අපහාසයක් කිරීම පිළිබඳ කතා සංවේගයෙන් යුතුව ඇසූ බෞද්ධ උපාසිකාවෝ කොපමණ සිටිත්ද? ඒවා බුදුදහමට විරුද්ධ, වෙනත් ආගම් කණ්ඩායම් විසින් මේ ස්ත්‍රීන් යොදාගෙන කරන ලද කුමන්ත්‍රණ ලෙස ප්‍රකටය. එහිදී චිංචා පොළොව පැලී අපායට ගිය බව හා සුන්දරී කුමන්ත්‍රණකරුවන් විසින්ම මරණ ලද බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වී ඇත. අටුවාවල ද මේ තොරතුරු හමුවෙයි. බුදුන්ට අපහාස කරීමට ගොතන ලද හෝ පතුරුවන ලද කතාවලට පිළිතුරු වශයෙන් ගාථා කීපයක් ප්‍රබන්ධ කිරීමේ පුවතක් ගැන ද ජනප්‍රවාදයක එයි.

මේ ආකාරයට එදත් ස්ත්‍රීන් යොදාගෙන බුදුන්ට පරිභව කළ ආකාරයටම කිසියම් පිරිසක් වර්තමානයේදී නතාෂා නමැති ස්ත්‍රී චරිතය යොදාගත්තෝද? යන කුතුහලය මෙහිදී ඇතිවිය හැකිය. අපට වාර්තා වූ කරුණු අනුව නම් මේ කියන මෝඩාභිමානය රචනා කර රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ද ලබාගෙන තිබේ. එහෙත් නතාෂාගේ රංගනය, අපහාසාත්මක සංවාද එම පිටපතේ නොතිබුණු බවද කියති. එසේ නම් මැය කුමන්ත්‍රණකාරීන්ගේ උගුලකට හසුවූ ලියක් ද? නොඑසේ නම් අත්පොළසන් අපේක්‍ෂාවෙන් හෝ ඒ වචනවල බරපතළකම නොදැන හෝ එසේ කීමට ඇය ඉදිරිපත් වූයේද මෙම සිද්ධියෙන් පසු ඇයව රටින් පිටකර ගැනීමට ද ඇගේ පසුබිමෙහි සිටි අය ක්‍රියා කිරීමෙන් පෙනී යන්නේ ද මේ සිදුවීම හුදෙක් සරල හෝ අහිංසක එකක් නොවන බවය. ඇය අත්අඩංගුවට පත් වෙද්දී ඇගේ පසුබිමෙහි සිටි අය නිරුපද්‍රිතව සිටිතියි ද කියනු ඇසේ. ඇත්ත වශයෙන්ම ඇගේ එම නිරූපණය දුටු මා තුළ ඇති වූයේ එය අතිශයින්ම ග්‍රාම්‍ය ඉදිරිපත්කිරීමක් බවය. එහි බුද්ධිමය හෝ තාර්කික විමසුමක් ද නොවීය. එය හුදු පහත් මට්ටමේ මඩක් පමණි. බෞද්ධ සාහිත්‍යයෙහිම එන උපමාවකින් පවසන්නේ නම් මේ නිරූපණය තුට්ටු දෙකකට ලැජ්ජා ස්ථානය විවර කිරීමක් හා සමාන පහත් ක්‍රියාවකි. මෙහි ප්‍රහසනයක එන උත්ප්‍රාසය හෝ බුද්ධිමය කුතුහලය හෝ ගෑවිලාවත් නැත. අඩුම තරමින් මේ පිටපත ලියූ අය ප්‍රහසනය යනු කුමක්දැයි නොදනිතියි යනු මගේ අදහසය.

උන්ට විනයක් නැත මුන්ට නහයක් නැත

සිංහලයෙහි ප්‍රකට කෘතියක් වන බුදුගුණඅලංකාරය හෝ කියවා තිබුණේ නම් මේ මෝඩාභිමානය නමැති වාන්තය සමාජගත කිරීමට ඒ කණ්ඩායම නොපෙලඹීට ද ඉඩ තිබුණි. කුමක් වුවත් හින්දු දේව විශ්වාසය ප්‍රශ්න කරමින් බුදුගුණ විචිත්‍ර ලෙස ඉදිරිපත්වූ බුදුගුණ අලංකාරයට කිසිවකුගේ විරෝධයක් එල්ල වූයේ ද නැත. ආගම්, විශ්වාස ප්‍රශ්න කළ යුත්තේ එබඳු ප්‍රබුද්ධ දැක්මක් අනුවය. මෙහිදී නතාෂාත් අමාරුවේ දමා ආගම් විරෝධී රැල්ලක් ඇතිකළ වෘෂභයන්ට නීතිමය ප්‍රතිචාරයක් දැක්වීම උන්ගේ මෝඩ අහංකාරයට හොඳ පාඩමක් ද වනු ඇත. මේ දුෂ්ට රැඟුම ඉදිරිපත් වූයේ ජෙරොම්ට පසුව ඉන් ඇතිවූ සමාජ කැලඹීම් ද හොඳින් දැන දැනමය. එනිසා ඔවුන්ගේ සමාව ඉල්ලීම ද විහිළුවක්. සමහරුන් දක්වන පරිදි සමච්චලයක් ද විය හැක. කුමක් වුවත් අපට තලේබානු සංස්කෘතියක් අනුමත කළ නොහැක. එහෙත් නිදහස යනු මෝඩයන්ට හා කුළුමීහරකුන්ට ලැබිය යුතු දෙයක් නොවන බවද කිව යුතුය.

අනෙක් අතට බුදුහු කිසිවිටෙක ආගමික අන්තවාද අනුමත නොකළහ. මිථ්‍යා අදහස් සෘජුව විවේචනය කළහ. කාලාම සූත්‍රය ඒ සර්ව කාලීන දර්ශනයෙහි විශිෂ්ට ඵලයකි. එහෙත් ඇතැම් අය වංචනික ලෙස කාලාම සූත්‍රයට මුවාවී බුදුන්ටත් බුදුමගටත් අවමන් කරති. දේවගැතිවරයකු ලෙස වැජඹුණු ජෙරොම් ප්‍රනාන්දු තමා සිංහල පොරක් බව කියන්නේ ද පස්ස බිම ඇනුණු පසුවය. බුද්ධ දර්ශනයෙහි පදනම ප්‍රඥාව හා කරුණාවය. එසේම බුදුන් වහන්සේගේ දහම ලෞකික සැප සම්පත්වලට ගිජුවූවන්ට ද ඒවායේ හිස් බව පසක් කළ, ලෞකික ජීවිතයට ද නව මඟක් පෙන්වා දුන්, සදාචාර ශික්ෂණය අනුමත කළ, එනිසාම ලෝ දනන්නට ශාන්තියක් වූවකි. එවන් මුනි උතුමකුට අවමන් කිරීම කෙලෙස අනුමත කරම්ද? එක්සත් ජාතීන්ගේ ආගමික හා සංහිඳියා පනත (ICCPR) අනුව මෙහිදී ක්‍රියා කරන ලෙස ඉල්ලීමක් ඇත. එසේම ජනාධිපතිවරයා විසින් මෙබඳු අපහාස සිදුකිරීම් විමර්ශනය සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ. මේ ලියන මොහොත වනවිට රාජාංගනයේ සද්ධාරතන හිමියන් ද මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ කුමක් වුවත් මෙබඳු ක්‍රියාකාරකම් වැළැක්වීමටත්, ඒවායින් සිදුවිය හැකි විනාශයන් නැවැත්වීමටත් නීතිමය වශයෙන් පියවර ගැනීම හැර වෙනත් විකල්පයක් ද නැත. සමාජ සදාචාරාත්මක වටිනාකම් බිඳවැටී නන්නත්තාර වූ අවිචාර සමයක අනිටු දුෂ්ට ලකුණු අද අප අබියස දිස්වෙමින් තිබේ.

ජෙරොම්ගේ හා නතාෂාගේ ආගමික අපහාස චෝදනා ප්‍රබලව සංවාදයට ලක්වෙද්දී තවත් අලජ්ජි දූෂිත දේශපාලන ක්‍රියාවක් වූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ රත්තරන් හා ස්මාර්ට් ජංගම දුරකථන මගඩිය තරමක් යට ගොස් තිබෙන සෙයකි. එහෙත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් හා වෙනත් දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් විසින් ඒ අසමජ්ජාති මෙහෙයුම ප්‍රශ්න කරනු ලැබීම පැසසිය යුතු කරුණකි. මේ වර්ගයේ අමන කටයුත්තක් කර යළිත් නව වරප්‍රසාද භාවිත කරමින්ම ප්‍රභූ පර්යන්තයෙන් තවත් වරක් ඩුබායි ගොස් පැමිණ රහීම් මන්ත්‍රීවරයා සමාජයට පවසන්නේ කුමක්ද? “පුළුවන්නං මාව නතර කරපල්ලා උඹලට පුළුවන් වුණා ද මගේ මයිල් ගහකටවත් අත තියන්න” වගේ හැඟවුමක් නොවේද ඒ ? නිදහස කණ්ඩායමේ ඩලස්ට අනුව නම් රහීම්ගේ නාටකයේ පිටපත, රැඟුම හා අධ්‍යක්ෂණය යන අංග තුනෙන්ම පරිපූර්ණ වූවකි. එහි කිසියම් සත්‍යයක් තිබේද? ඇත්තටම මෙම දූෂිත ක්‍රියාන්විතය සම්බන්ධයෙන් පැනනැඟෙන ප්‍රශ්න ගණනාවක්ම තිබේ. මෙහිදී මන්ත්‍රීවරයාට පනවන ලද දඩ මුදල ඉතා අවම එකක් ද? ලක්ෂ 75 ක් වැනි දඩයක් ක්‍ෂණයකින් ගෙවා පසුදින පාර්ලිමේන්තුවට ඒමට තරම් ඔහුට ශක්තියක්, ධෛර්යයක් වූයේ කෙසේද? එසේම ඔහු මාධ්‍යයකට පවසා තිබුණු ආකාරයට ඔහු ඩුබායිවල රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන්නෙහි ද? ඌරන්ට මොන සෞඛ්‍යද? යන ජන කියමන දේශපාලන දූෂිතයන්ට යෙදීමට සමහරු පසුබට නොවෙති. එහෙත් තවමත් මෙබඳු අශ්ලීල ග්‍රාම්‍ය මට්ටමට නොවැටුණු දේශපාලන චරිත ස්වල්පයක් හෝ ඇතැයි සිතන විට ඒ යෙදුම සියල්ලන් වෙනුවෙන් භාවිත කිරීම ද නොමැනවි. කුමක් වුවත් මේ ‘රහිමියානු දුෂ්පිළිවෙත’ අපේ සමස්ත දේශපාලනයටම උඩින් ලඹ දෙන සැක මුසු සිද්ධියකි. ජනාධිපති නියෝගයෙන් ප්‍රභූ පර්යන්තයට නව ක්‍රමවේදයක් බලාත්මක කර තිබුණත් මේ වර්ගයේ තක්කඩියන් විසින් සිදු කරන ලද අලාභහානි අනාවරණය කර ගැනීමට මගක් ද නැත.

කෙසේ හෝ වේවා ව්‍යස්ථාදායකය යනු රටේ නීතිය සම්පාදනය කරනු ලබන උත්තරීතර ආයතනයයි මහජන මන්ත්‍රීවරයා වෙනුවෙන් වරප්‍රසාද ලබා දුන්නේත්, ඔහුට ගරු නාමයෙන් හිස නමන්නෙත් ඒ ආයතනය, පාරිශුද්ධ එමෙන්ම ගෞරවනීය ස්ථානයක් වීම නිසාය. එහෙත් ඒ ගරු මන්ත්‍රීකමට අද සිදුවී තිබෙන සන්තෑසිය කව්රු නොදනිත් ද? පසුගිය දිනවල චීන හොරෙක් රටට ඇතුළු වූයේ එබඳු ගරු මෙහෙයුමක් නිසාය. මේ ගරුකාරක සමහරුන්ට රටේ නීතිය වලංගු නැත. මේ රත්තරන් මගඩිය කළ අය මෙන්ම නොයෙක් ව්‍යාපාර කරන ගරු උතුමෝ ද අද දේශපාලන බලය අසිපතක් සේ ළෙල වන්නෝ නොවෙත් ද? මේ බොහෝ දෙනකුගේ වත්කම් ව්‍යාපාර හිමිකම් ආදිය රහස් ද නොවේ. ජයවර්ධන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගරු මන්ත්‍රීකම වරප්‍රසාද සහිත රැකියාවක් ලෙස සකසා එයට විශ්‍රාම වැටුපක් ද ලබාදී ඇත. ජනතාවගේ බදු මුදල් දේශපාලන විශ්‍රාමිකයන් නඩත්තු කිරීමට ද යොදාගනු ලැබේ. එහෙත් ඒ බොහෝදෙනකු විසින් පොදුවේ රටට කරන ලද සේවාවන් ගැන සමහරු ප්‍රශ්න කරති. වසර 75 ක් මුළුල්ලේ මේ රටට උචිත සමාජ ආර්ථික මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොවීම සම්බන්ධයෙන් ද විවෘත චෝදනා පත්‍රයක් තිබේ. හොරකම, දූෂණය, වංචාව, නාස්තිය ඇතුළු සකල විධ නොපනත්කම්වලින් කුණු වී ගිය දේශපාලනයක දුර්ගන්ධය හාත්පස විසිර ගියත් ඒවා දැනෙන සංවේදී ගුණයක් හෝ අඩුම තරමේ නාසයක් වත් නොමැති අය කොපමණ සිටිත්ද?

අප යෝජනා කරන්නේ අප්‍රමාදවම මේ ගරාවැටීම නැවැත්වීම සඳහා ජනාධිපති රනිල් ප්‍රමුඛ හැම දේශාපලනඥයකුම ක්‍රියා කළ යුතු බවය. දූෂිතයා තම පිලේ වුවත් ඌ නෙරපා දැමීමට නීතිය වුවමනාය. මහජන සම්පත් වනසන හොරුන්ට දඬුවම් ලබාදිය යුතුමය. ආත්මලාභය සඳහා පනින දේශපාලන ගෙඹි පිනුම්කාරයන්ගේ විකට ජවනිකා අවසන් විය යුතුය. අලි සබ්රි රහීම් ගැන විමර්ශනයක් කර ඔහු සදොස් නම් මන්ත්‍රීකම අහෝසි කිරීමට තරම් කොන්දක් ආණ්ඩුවට තිබිය යුතු බව ද ඉතා දිගු කතාවක් කෙටියෙන් දක්වා අපි බලා සිටිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment