උඹ හැර වෙන සිංහයෙක් මට නෑ – ආචාර්ය සෝමරත්න දිසානායක

194

ජැක්සන් ඇන්තනී අවසන් වරට රංගනයෙන් දායක වීමට භාරගත් ‘සිංබාහු’ චිත්‍රපටයේ රූගකිරීම්වලින් අනතුරුව නවාතැනට යන අතරතුර ජීවිතයේ අවසන් ඉරණම ලියා තිබුණා යැයි කවුරුත් නොසිතන්නට ඇති. එහෙත් එය එසේම සිදු විය. අවසානයේ දැවැන්ත කම්පනයකට මෙන්ම ප්‍රශ්න රැසකට මුහුණ දීමට මෙහි අධ්‍යක්‍ෂවරයාට සිදුවිය. ජැක්සන් මල්ලීව ඔළුවේ තියාගෙන පිටපත ලියා සිය සිනමා නිර්මාණයේ වැඩ පටන්ගත් සෝමේ අයියා මුහුණ දුන් මේ සිද්ධිය ඔහුගේ පමණක් නොව අපගේද හදවත් කම්පා කරවන්නට සමත් විය. දැන් සියල්ල සිදුවී හමාරය. ඉතිරිව ඇත්තේ ඒ අසහාය කලාකරුවාට සුහද සිතින් සමුදීමය. එහෙත් මේ සිදුවීමත් සමග ඇතිවූ වේදනාවන් තවමත් සිත් පාරමින් තිබේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක තම වේදනාව වචන වචනවලට පෙරලුවේ මේ විදිහට.

උඹ හැර වෙන සිංහයෙක් මට නෑ - ආචාර්ය සෝමරත්න දිසානායක

සිංහබාහු චිත්‍රපටයේ මුහුරත් උළෙල දා
ඡයා-උපුල් නිශාන්ත


අපේ මේ මහපොළොවට අසාමාන්‍ය පුද්ගලයන් බිහි වෙන්නෙ බොහොම කලාතුරකින්. අපි ලංකාව ගැන ගත්තොත් මොකක්දෝ වාසනාවකට තමයි එවැනි අසාමාන්‍ය පුද්ගලයින් අපේ මහපොළොවෙ, ලංකා භූමියේ බිහි වෙන්නෙ. එහෙම අපේ ජීවිත කාලයේදි බිහි වුණ චරිතයක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නෙ. අපේ රටේ වාසනාවට අපේ රටේ බිහි වෙලා, ඒ වගේම අපේ රටේ අවාසනාවට අපේ රටෙන් ඉවත් වුණු, අපිට අහිමි වුණ චරිතයක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නෙ. ජැක්සන් අසාමාන්‍ය වෙන්නෙ බොහෝ හේතූන් නිසා. ඔහු සාමාන්‍ය නිර්මාණකරුවකුට නොපිහිටන බහුවිධ නිර්මාණ හැකියාවන් සහිත දුර්ලභ චරිතයක්. ඔහු කලාකරුවෙක් විදිහට හඳුන්වන්නෙ මොන ක්‍ෂේත්‍රයෙන්ද කියන එක අපිට ප්‍රශ්නයක්. ඔහු රංගධරයෙක්ද, රචකයෙක්ද, අධ්‍යක්‍ෂවරයෙක්ද, ගායකයෙක්ද, නර්තන ශිල්පියෙක්ද, නිවේදකයෙක්ද, චිත්‍රශිල්පියෙක්ද, මේ හැම පැත්තකින්ම ගත්තත් රූපවාහිනියේද, ගුවන්විදුලියේද, වේදිකාවේද, සිනමාවේද, මෙකී නොකී හැම කලා මාධ්‍යක් තුළින්ම ගත්තොත්, ඒ හැම මාධ්‍යකින්ම සුවිශේෂී දක්ශතාවන් දක්වන නිර්මාණකරුවන් අපිට කොහේද ඉන්නෙ. මං හිතනව ජැක්සන් හැර ඔහුට සම කළ හැකි කලාකරුවෙක් අපිට හිටියෙ නැහැ. ඒ නිසාම තමයි ජැක්සන් වගේ විරල, දුර්ලභ චරිත අපේ රටේ වාසනාවකට අපේ රටේ බිහිවෙලා, අපේ රටේ අවාසනාවකට අපේ රටෙන් ඉවත් වුණා කියන්නෙ.

උඹ හැර වෙන සිංහයෙක් මට නෑ - ආචාර්ය සෝමරත්න දිසානායක

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයෙන්ඇඩ්‍රස් නෑ චිත්‍රපටයෙන්

මගේ ජීවිත කාලයේ මගේ පරම්පරාවේ ජැක්සන්ට සම කළ හැකි වෙන චරිතයක් නැහැ. මීට අවුරුද්දකටත් වැඩි කාලයක සිට ඔහුගේ අහිමි වීම අපේ අභාග්‍යයක්. ඒ වගේම ඔහුගේ අහිමි වීම මතභේදයට තුඩු දුන් දෙයක්. ජැක්සන්ගේ හදිසි අනතුර, රිය අලියාගේ ගැටීම ම පමණක් නොවෙයි, ඔහු ඒ අනතුරෙන් සුවපත් වුණා. ඊට පසුව දෙවැනි වතාවට තමයි මේ අකර්මන්‍ය තත්ත්වයට පත් වුණේ. ඒක කොහොමද වුණේ කියන දේට වෛද්‍යවරුන් පිළිතුරු දිය යුතුයි. ඒ ගැන දැනට මතභේදයක් තියෙනව. නමුත් ඒ මතභේදය හමුවේ වෛද්‍යවරුන් නිහඬයි. ඒ ගැන කතා කළ යුතුයි. මං හිතනව යම් කිසි දවසක මාධ්‍ය ඒ ගැන කතා කරන්න පටන්ගත්තොත් අපිට ඒ ගැන ප්‍රශ්න කරන්න දේවල් තියෙනව. වෛද්‍යවරු ඒවාට පිළිතුරු දිය යුතු-යි. කොහොම වුණත් ජැක්සන් කියන ඒ සුවිශේෂී චරිතය අපිට අහිමි වෙලා ඉවරයි. ඒ පාඩුව අපිට දැනෙනව. ඒක පුරවන්න බැරි අඩුවක්.

● අවසන් වරට ජැක්සන් සමග වැඩ කරන්න ලැබෙන්නෙ ඔබට?

ඔව්, ජැක්සන් අවසන් වරට රූගතකිරීමට සම්බන්ධ වුණේ මගේ ‘සිංහබාහු’ සිනමා නිර්මාණයට. රූගතකිරීම් අවසන් කරල ඔහු හරිම ප්‍රීතියෙන් හිටියෙ. මොකද ඒ දර්ශන ඉතාමත් සාර්ථකට රූගත වුණා. ඒ කටයුතු අවසානයේ ඔහු කිව්වා ‘මචෝ අද මරු මේ වැඩේ, අපි දෙන්න හවසට සෙට් වෙමු’ කියල. ඒ තරම් ප්‍රීතියකින් ඔහු හිටියෙ. ජැක්සන් මට කලින් ඔහුගේ වාහනයෙන් නවාතැන බලා පිටත් වුණා. ජැක්සන්ගේ පුරුද්ද තමයි ඔහුගේ වාහනය ඔහුම පදවාගෙන යන එක. මම ඔහුට රියැදුරෙක් සහ වාහනයක් වෙන් කරල තිබුණත් ඔහු ඔහුට හුරු පුරුදු කැබ් රථය පදවාගෙන ගියා. ඒ යන අතර තුර තමයි වාහනය අලියාගේ ගැටුණෙ. මම ගියේ ඔහුට පසුව ගිය වාහන කිහිපයකට පසුව. අනුරාධපුර රොහලට ජැක්සන් අරගෙන ගියෙත් මගේ වාහනයෙන්. එතැනින් අවශ්‍ය හදිසි ප්‍රතිකාර කරල ජාතික රෝහලට ගෙනාවා. ඔහුව කොළඹට රැගෙන එන වාහනය පිටිපස්සෙන් මමත් ආවා. ඒ සියලු කටයුතු සාර්ථකව කෙරුණා. ඒවගේම අපි සැළසුම් කරල තිබුණා ඔහුගේ ශල්‍යකර්මය. නමුත් ඒක අපි සැළසුම් කළ ආකාරයට සිදු වුණේ නැහැ. අනුරාධපුර රෝහලෙන් ඔහුව භාර දුන් වෛද්‍යවරයා නෙමෙයි, වෙනත් වෛද්‍යවරු තමයි ශෛල්‍යකර්මය කරල තිබුණේ. එතැන අපිට ගැටලු තියෙනවා.

මගේ නිර්මාණ පවුලේ අය හැටියට තමයි ජැක්සන් සහ ඔහුගේ පිරිමි දරුවො දෙන්නාව සළකන්නෙ. ඔහුගේ අහිමි වීම මට දැවැන්තව දැනෙන දෙයක්. මම හිතනවා, මම සමග මගේ සහෝදර නිර්මාණකරුවන්ට වගේම රටටත් ඔහු නැති අඩුව දැනෙයි. ඒ අඩුව කවදා හරි දවසක සපුරාලන්න නම් ඔහුගේම දරුවෙක් තැනකට එන්න ඕන කියන එකයි අපි ප්‍රාර්ථනා කරන්නෙ. ‘අප්පච්චිගෙ අඩුව පුතේ ඔයාල හරි පිරිමහන්න’ කියල තමයි කියන්න තියෙන්නෙ. සිංහබාහු චිත්‍රපටයේ ජැක්සන්ගේ අඩුව ඔහුගේ දරුවන් පියවලා තියෙනව. ඔහු ඒක දකින්න හිටියා නම් ගොඩක් සතුටු වෙයි. නමුත් ජැක්සන් වගේ සුවිශේෂී අසාමාන්‍ය රංගධරයකුගේ අඩුව සිනමා ක්‍ෂේත්‍රයට වගේම මුළු ලංකාවටම දැනෙයි. මුළු ලෝකයටම දැනෙයි.

● ජැක්සන් රෝහල්ගතව ගෙවුණ මාස පහළොව ඔබට දැණුනෙ කොහොමද?

ඒක මට විශාල කම්පනයක්. සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් අඩක් නිම කරල තිබුණෙ. ශල්‍යකර්මයෙන් පස්සෙ අපි කතා කළා. ඔහු එවලෙ මට කිව්වෙ ‘සෝමේ මට සනීප වෙන්න ටිකක් කල් යයි. ඒ නිසා වෙන විකල්පයක් බලන්න කියල’. එවෙලෙ මම ඔහුට කිව්වෙ ‘ජැක්සන් උඹ එහෙම කියන්න එපා. මම කවදා හරි උඹ සනීප වෙලා එනකං බලාගෙන ඉන්නවා, උඹ හැර වෙන සිංහයෙක් මට නෑ, ෆිල්ම් එක ගැන හිතන්න එපා’ කියල. ඔහු ඒ වෙලාවෙත් කල්පනා කළේ චිත්‍රපටය ගැන. පුදුම කැපවීමකින් ඔහු දෙයක් කරන්නෙ. ඇත්තටම ඒ වෙලාවෙ අපිට බලාපොරොත්තුවක් තිබුණා ඔහු සුව වෙලා ඒවි කියල. මොකද ප්‍රධාන ශල්‍යකර්මයෙන් ජැක්සන් සුවපත් වුණා. නමුත් අපිට පැහැදිලි නැති වෙනස් තත්ත්වයකට ජැක්සන් මුහුණ පෑවා. කෙසේ වෙතත් ඒ අසහාය රංගධරයා අපිට අහිමි වෙලා ඉවරයි.

නමුත් ඔහුගේ න්ර්මාණ ජීවමානව තියෙනව. ඒ වගේම ඔහුගේ දරුවො දන්නාටත් ශිල්පය වගේම දක්‍ෂතාව පිහිටලා තියෙනව. ඔවුන් දෙදෙනාවම සිනමාවට හඳුන්වා දුන්නේ මම. ඒ පුතුන් දෙදෙනාගේ ජීව විද්‍යාත්මක පියා ජැක්සන්, නමුත් ජැක්සන්ම කියනව ඔවුන්ගේ සිනමාවේ පියා සෝමරත්න දිසානායක කියල. ඒ ගැන මට බොහොම ආඩම්බරයි. ජැක්සන්ගේ අඩුව පුරවන්න ඒ දරු දෙදෙනාට පුළුවන් වෙයි. ඔවුන් ඒක කරයි කියලත් මම විශ්වාස කරනව. නමුත් දැනට ජැක්සන්ගේ අඩුව අපිට දැනෙයි.

● මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment