එක්ස්ප්‍රස් පර්ල් කතාව ඔප්පු කරන්න සාක්‍ෂි තියනවා – දර්ශන හපුගොඩගේ නීතිඥයා උසාවියට කියයි

248

වාරණය 24 දා දක්වා දීර්ඝ කෙරේ

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවු හානියට වන්දි ඉල්ලා ශ්‍රී ලංකා රජය සිංගප්පුරු අධිකරණයක් හමුවේ නඩු පැවරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා ඔහු පවත්වාගෙන යන යු ටියුබ් නාලිකාව ඔස්සේ හෙළි කළ තොරතුරු සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතා ඊයේ (10දා) කොළඹ ප්‍රධාන දිසා අධිකරණය හමුවේදී පැවසීය.

එකී නෞකාව ගිනි ගැනීමෙන් පසු එහි ගබඩාකොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් සිදුවු හානියට වන්දි ඉල්ලා නෞකාව හිමි සමාගමට එරෙහිව නඩු පැවරිය යුත්තේ ශ්‍රී ලංකා අධිකරණයක් හමුවේ මිස වෙනත් රටක අධිකරණයක් හමුවේ නොවන බවට මීපා ආයතනය විසින් අනාවරණය කර තිබූ බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය. පැමිණිල්ල විසින් පසුගිය 26 වැනිදා සිය සේවාදායකයාට හා ඔහුගේ යු ටියුබ් නාලිකාවට එරෙහිව වාරණ නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන ඇත්තේ සත්‍ය කරුණු වසන් කොට ඇති බව පෙනී යන හෙයින් එම වාරණය විසුරුවා හැරීම සඳහා ඉදිරි නඩු දිනයේදී ලිඛිතව කරුණු දැක්වීමට පියවර ගන්නා බවද ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පුර්ණිමා පරණගම මහත්මියට පැවසීය.

එකී පාරිසරික හානියට එකී නෞකාව අයිති සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ නඩු කටයුතු හිතාමතාම ප්‍රමාද කළ බවට චෝදනා නගමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපහාස වන පරිදි හා එම නිලධාරීන්ට අගතිදායක වන පරිදි ප්‍රවෘත්ති පළ කිරීම හා ප්‍රචාරය කරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 24 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ප්‍රධාන දිසා විනිසුරු පූර්නිමා පරණගම මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු හා රජයේ අධිනීතිඥවරිය විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පැමිණිලි දෙකක් කැඳවු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරාද සොයිසා මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ අධිකරණය එම වාරණ නියෝගය පසුගිය 26 වැනිදා නිකුත්කොට තිබිණි.

2021 මැයි 20 වැනිදා සිදුවූ එම නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබාගැනීම සඳහා සිදුකළ යුතු නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවේ එක්තරා අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු හා රජයේ අධිනීතිඥවරියක පෞද්ගලික වාසි පතා ප්‍රමාද කරන බවට හා ශ්‍රී ලංකාවේදී වන්දි නඩු පැවරීමේ හැකියාව තිබියදීත් එය සිංගප්පුරුවේ සිදු කරනුයේ එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසටත් හැඟෙන වීඩියෝවක් දර්ශන හඳුන්ගොඩ මහතා විසින් මෑතකදී ප්‍රචාරය කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment