කොහේ අපි යමුද නොම තේරේ !

1149

අද අපට පෙනෙන යථාර්ථය නම් ආණ්ඩුව හැකි උපරිම ශක්තිය යොදා ගනිමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් තම බලය ආධිපත්‍යය ගොඩනඟා ගැනීමට දරන ප්‍රයත්නය මෙන්ම එහි අසාර්ථකත්වයයි. ඇත්ත වශයෙන්ම පවතින සමාජ, දේශපාලන වාතාවරණය තුළ ආණ්ඩුවට මැතිවරණයක් ජයගත නොහැකි බවට ඒ බොහෝ නායකයන් තුළ දෙගිඩියාවක් තිබෙන බවද අපගේ තක්සේරුවය. කවර හෝ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව පසුබැසීමේ සැබෑ හේතුව ද එයයි. පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන චෝදනා හා විවේචන බොහෝය. මැතිවරණ කොමිසම යටපත් කර තම අපේක්‍ෂාවන් ඔවුන් ලවා ඉටුකරවා ගැනීමට ගිය ආණ්ඩුව ජනතාව අබියස ලැබූ පරාජය සැඟවිය නොහැක. පළාත්පාලන මැතිවරණයට මුදල් ලබා නොදීමටත්, කොමිසම ආණ්ඩුවේ අදහසට නම්මා ගැනීමටත් ගත් සියලු ක්‍රියාකාරකම් රටම දන්නා දේවල්ය.

ගෝඨාභයට ජනාධිපතිධුරය හැරදමා රටින් ද පලායෑමට සිදු වූයේ ඔහුගේ මෙන්ම පොහොට්ටුවේ ද දුබලතා හා දේශපාලනික වශයෙන් ගැඹුරු කියැවීමක් නොතිබීම ද නිසාය. තම දේශපාලන පසමිතුරකු බවට පත්ව සිටි එජාපයෙන් යැපීමට පොහොට්ටුවට සිදු වූයේ ද එහි මහින්ද හැර ප්‍රබල නායකයකු නොවීම නිසාය. හැටනව ලක්‍ෂයක ජනවරමක් ගත් පක්‍ෂයකට රට මෙහෙයවීමට නායකයෙක් නොවීම තුළින් පැහැදිලි වන්නේ එහි පවතින දේශපාලන ගරාවැටීම නොවේද? අද පොහොට්ටුවේම සමහරුන් ජනාධිපති රනිල්ට සහාය පළ කරන්නේ ද ඒ නිවැරදි අවබෝධයත්, ඔහු හැරයෑමෙන් තමන්ට පෞද්ගලිකව දේශපාලනයෙන් රැකවරණයක් නැති බව වටහා ගැනීමත් නිසාය. එහෙත් ඔවුන්ගෙන් ද බහුතරයකට තම පැවැත්ම ගැන විනා අද මේ රට ගමන් කරන දිසාව ගැන පූර්ණ අවබෝධයක් ඇතැයි ද කිව නොහැක.

1978 දී මෙරටට හඳුන්වා දෙන ලද විධායක ජනාධිපතික්‍රමය විවේචනය කිරීමට අමතරව එය වෙනස් කරන බවට ද ජනතාවට පොරොන්දු වූ රාජපක්‍ෂ කඳවුර මෙන්ම චන්ද්‍රිකා ප්‍රමුඛ සන්ධානය හා ගෝඨාභයට පෙර බලයේ සිටි මෛත්‍රී – රනිල් යහපාලනයට ද නොහැකි වී තිබේ. යහපාලන අගමැතිව සිටි රනිල් ද එදා පෙනී සිටි සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය දැන් බහා තබා ඇත. අද ඔහු පෙනී සිටින්නේ විධායක බලය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියකය. ප්‍රජාතන්ත්‍රවාදයේ හුයපොට වනසා දැමීමට තරම් අද ඔහුත් ඔහු අයත් ආණ්ඩුවත් දරන අලජ්ජි ක්‍රියාකාරකම් කොපමණද? ජනාධිපති ධුරයට පත්වූ රනිල් මෙරටේ අලුත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණවලට යනු ඇතැයි සමහරු කල්පනා කළහ. මේ රට වෙනස් වනු ඇතැයි ද හෙට දවස සෞභාග්‍යවත් යුගයක් උදාවනු ඇතැයි ද යන පොදු ප්‍රාර්ථනාව බිඳවැටුණත්, තමන්ට යාන්තමකට හෝ ජීවිතය පවත්වා ගත හැකි වාතාවරණයක් ජනාධිපති රනිල් විසින් සකසනු ඇතැයි ද ඔවූහු අවංකවම කල්පනා කළහ. ජනාධිපති රනිල් ඒ සඳහා ගත් ක්‍රියාදාමයට මෙරටේ මැද පන්තිය, ප්‍රභූවරුන් මෙන්ම පොදු ජනතාව ද සිය එකඟතාව පළ කළහ. එහෙත් අද තත්ත්වය කුමක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත සියලුම ආර්ථික බලාපොරොත්තු රැඳවීම හැර අන් විකල්පයක් අද රටට තිබේද එහෙත් එහි ප්‍රතිඵලය ද යහපත් නොවනු ඇත.

තමන්ගේ එකම අරමුණ ආර්ථිකය ගොඩනංවා රටට ස්ථාවරත්වයක් ලබාදීම බව පුන පුනා පැවසූ ජනාධිපති රනිල් ඒ සඳහා සර්ව පාක්ෂික එකමුතුවක් පිළිබඳව ද කල්පනා කළේය. දේශපාලනය පසෙක දමා රට ගොඩනැඟීමට වගකීම් භාර ගන්නා ලෙසට විවෘත ආරාධනා ද කළේය. එහෙත් එයට සාධනීය ප්‍රතිචාර නොලැබුණු අතර ඔහු අනුගමනය කළේත් එදා මහින්දගේ පක්‍ෂ කැඩීමේ ක්‍රමයමය. ස.ජ.බ. හා ශ්‍රී.ල.නි.පයේ කීපදෙනෙක් පක්‍ෂවලට පටහැනිව ආණ්ඩුවට එක්වූහ. එහෙත් සමස්තයක් ලෙස ආණ්ඩුව මෙහෙයවන්නේ ජනාධිපති රනිල් විසින්මය. ගෝඨාභයගේ නොමනා තීන්දු තීරණ නිසා බිඳවැටුණු කෘෂිකර්මාන්තයත් ගොවියන්ගේ ඉරණමත් වෙනස් කිරීමට මෙතෙක් ආණ්ඩුව සමත් වී නැත. රටේ ප්‍රධාන ආහාරවේල සපයන ගොවියන්ට ශක්තිමත් මඟපෙන්වීමක් ඔවුන්ගේ මූලික වුවමනාවන් සපුරාදීමක් මෙතෙක් සිදුව නැති බව ද ගොවිජන ප්‍රදේශවලින් නැඟෙන විරෝධතා විවේචන වලින්ම තහවුරු වේ. ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තත්ත්වය ද ඊට නොදෙවෙනිය. වෙළෙඳ ඇමැතිවරයාගේ හාස්කම් නිසා අද පොදු ජනතාව ඉඳහිට හෝ ආහාරවේලට එකතු කරගත් බිත්තරය ද සුපිරි භාණ්ඩයක් වී ඇත.

ආණ්ඩුව දින කීපයකට පෙර ප්‍රකාශ කළේ ආනයන සීමා සිහිල් කර ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් නිදහස් කළ බවය. එහෙත් මෙරටේ ලක්ෂ 75 කට හරිහමන් ආහාරවේලක් නැති බවත් එයින් පවුල් ලක්ෂ 33 කටම ආහාර සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දීමට සිදුවී ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කරන ලද අලුත්ම සමීක්ෂණයකදී අනාවරණය වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා තිබේ.

එසේම පවුල් ලක්ෂ 37 ක් ආණ්ඩුවෙන් කවර හෝ සහනයක් ඉල්ලන බව ද ඔහු පෙන්වා දෙයි. බස්නාහිර, ඌව වැනි පළාත්වල 88% ක් පමණ ඉන් පීඩා විඳින බව ද ඔහු කියයි. ඩොලරයට සාපේක්‍ෂව රුපියල වර්ධනය වන බවට උදන් අනන ආණ්ඩුවේ කිසිවකුට මේ ජනතාවගේ ආහාරවේල ගැන යමක් කළ නොහැකි බවද ඉතා පැහැදිලිය. ආණ්ඩුව යම් යම් සහන හා සුබසාධන ක්‍රියාකාරකම් ඉදිරිපත් කර තිබුණත් ඒවා පුළුල් සාධනීය වෙනසකට ඉවහල් විය හැකිද? දිළිඳුභාවය පිටුදැකීම සඳහා ප්‍රාමාණික යෝජනාවලියක් ද මෙතෙක් ඉදිරිපත්ව නැත. ණයවලින්ම ණය ගෙවීමත් ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ කතා කිරීමත් හැර මෙතෙක් ආර්ථිකය ගැන අප ඇසූ අලුත් දෙයක් ද නැත.

ආණ්ඩුව ආර්ථික අර්බුදය විසඳීමට සියලු පක්ෂවල සහාය අපේක්‍ෂා කළත් දැන් සුදානම් වන්නේ ඒ පක්ෂවල විරෝධතා, උද්ඝෝෂණ වළක්වන මර්දනකාරී ක්‍රියාන්විතයකට බවට විවේචනයක් ඇත. එහි සත්‍යතාවක් ද ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුව යෝජනා කරන ලාභ ලබන ආයතන විකිණීම දැන් ප්‍රශ්නයක් වී තිබේ. පසුගියදා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව සෘජුව ප්‍රකාශ කළේ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමට නිර්දේශ නොකරන බවය. එහෙත් මෙයට එකඟ විය නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනය කර තිබුණි. මේ කාරක සභාවේ සභාපති සරත් වීරසේකරය. පොහාට්ටුවේ මුල්පෙළේ චමල් ඇතුළු පිරිසක් ද එහි සාමාජිකත්වය දරති. එසේ නම් එම තීන්දුවට ජනාධිපතිවරයා වන මුදල් ඇමැති එකඟ නොවීම ද ගැටලුවකි.

කොහේ අපි යමුද නොම තේරේ !

කෙසේ වුවද ජනාධිපතිවරයා අද ව්‍යවස්ථාදායකය යටපත් කරගෙන ක්‍රියා කරන බවට ද විවේචනයක් තිබේ. දින කීපයකට පෙර ජනාධිපති රනිල් පා්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂට ලබා දීමට කළ මැදිහත්වීම් ගැන ද විවිධ විවේචන තිබේ. ජනාධිපතිවරයකු එබඳු කාරක සභාවක් මෙහෙයවීම අනිසි ක්‍රියාවක් බව විපක්‍ෂනායක සජිත්ගේ අදහස විය. ජනාධිපති රනිල් එයට මැදිහත් වූයේ මැතිවරණ කොමිසම හා මහජන උපයෝගිතා කොමිසම යන ආයතන දෙක සම්බන්ධයෙන්ම ඔහුට දැඩි විවේචන එල්ලවී තිබුණු පසුබිමකය අද ඔහු තමන් එදා පෙනී සිටි 21 වන සංශෝධනයට කිසිදු ගරුත්වයක් නොදක්වන්නෙහි දැයි අපි නොදනිමු. කුමක් වුවත් ඔහු එදා නොමැනවැයි ප්‍රකාශ කළ විධායකය වෙත ශීඝ්‍රයෙන් ඇදී යන්නේදැයි යන කුතුහලය අපට ද තිබේ. ලිබරල් හා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු වූ ජනාධිපති රනිල්ගේ ඒ වෙනසට හේතුව රාජපක්‍ෂ කඳවුර වෙතින් ලත් නරක ආභාෂයක් ද?

ජනාධිපතිවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් දේශපාලනික ප්‍රාමාණිකයන් දක්වන අදහස්වල හරය වන්නේ, ඔහු මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුළා දමමින් සිටින බවත් මහජන උද්ඝෝෂණ විරෝධතා මැඬලීමටත්, එයට අදාළ වන මාධ්‍ය නීති සම්පාදනයටත් යොමුව සිටින බවය. ගාලුමුවදොර අරගලය නිෂේධනීය කෙරෙන, එය මේ මහපොළොවේ යථාර්ථය නොවන බවට කියන පොහොට්ටුවේ අඳබාල අදහස් ජනාධිපති පිළිගන්නෙහි ද? ඒ අරගලය තුළ මහජන අපේක්‍ෂා, දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අභිලාෂ ගෑවීවත් නැතැයි ජනාධිපතිවරයාට අවංකවම කිව නොහැකි බව අපට හැඟෙන දෙයකි. එහෙත් ඔහු ඒ වෙනුවෙන් සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ බවක් ද නොපනේ. තරුණ සහභාගීත්වයට ඔහු එකඟ වුවත් ඒවා රටට දැනෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතයක් ලෙස ජනතා අවධානයට ලක්ව නැත. ඊට වඩා ජනතාවට දැනෙන්නේ ආණ්ඩුව තවදුරටත් මෙම ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය නඩත්තු කිරීමට විවිධ දුෂ්ට මෙහෙයුම් සිදු කරන බවය. මේ වනවිට රට තුළ සිදුවන සැබෑ ජනතා උද්ඝෝෂණ මැඬලීම, නීතිය සාධාරණව ක්‍රියාත්මකවීමට ඉඩ නොදීම, දූෂණ අක්‍රමිකතා කෙතරම් සිදු වුවත් ඒවා දෙස ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, එ ජා ප හිතවතුන්ට නිල බල ප්‍රදානය කිරීම, ආදිය ගැන දැඩි චෝදනා ද ආණ්ඩුවට නැඟෙයි. මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙන්ම මිහින්තලා විාහරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ද මේ ආණ්ඩුව පලවාහැරිය යුතු බව දැඩිව කියති.

ආණ්ඩුව ඒවාට සංවේදී වීමට වඩා ඒ සියලු තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට විකාශන අධිකාරී පනතක් ගෙනඑන බවට තිබෙන විවේචන සුළුපටු නැත. ඇත්තටම ආණ්ඩුව මේ වනවිට සම්මත කරන ලද පනත් මෙන්ම යෝජනා කෙරෙන ඇතැම් පනත් ගැන ද විමසා බලන විට ඒවායින් මහජන යහපතට කිසිසේත් අදාළ නොවන අණ පනත් ද තිබෙන බව ඉතා පැහැදිලිය.

මාධ්‍ය නියාමනය අවශ්‍යය. ජනතාව කුපිත කරවන ජාති, ආගම් භේද අවුස්සන පුවත් හෝ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ නියාමනයක් වුවමනා බව නිසැකය. එහෙත් ජනාධිපතිවරයකු හෝ ඇමැතිවරයකු විසින් පත් කරනු ලබන පුද්ගලයන් කීපදෙනකුට ඒ සියලු මාධ්‍ය සම්බන්ධයෙන් අධිකාරී බලයක් යෝජනා කිරීමේ පදනම අපට තේරුම් ගත නොහැක. අවිධිමත් ලෙස ලබාදී තිබෙන විද්‍යුත් මාධ්‍ය බලපත් ගැන ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍යය. එහෙත් ඒ දවටනය ඇතුළට යෝජනා කරන විෂම හා දුෂ්ට මෙහෙයුම්, නිර්දය ලෙස හෙළාදැකිය යුතු යැයි මේ වනවිට තිබෙන යෝජනාවට අපි ද එකඟ වන්නෙමු. එසේම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඇස්. ෂර්වානන්ද අගවිනිසුරුතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඓතිහාසික තීන්දුව කියවා බලන ලෙස ද මාධ්‍ය නිදහස බිත්තියට හේතු කිරීමට අසිපත් රැගෙන සිටින පොහොට්ටුවේ පුහු ඝෝෂකයන්ට ද අපි යෝජනා කරමු.

මේ අතර රට තුළ සිදුවන බිහිසුණු අපරාධ, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල මෙන්ම විශ්විද්‍යාල වැනි රටේ ජාතික ප්‍රමුඛ කේන්ද්‍රයන් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන දැඩි ගරාවැටීම්, විනය පිරිහීම් ආදිය මහින් ද ප්‍රකාශ වන්නේ අද තිබෙන සමාජ දේශපාලනයේම තවත් බිහිසුණු හා ග්‍රාම්‍ය මුහුණුවරකි. පොලිසියට යන පුරවැසියකුට පෙට්ටියකින් ගෙදර ඒමට සලස්වන මහජන ආරක්‍ෂාවක් ගැන කිව යුත්තේ කුමක්ද? දේශපාලන චණ්ඩින්ට අමතරව ජනතාවව පාට් දමන පාතාල වර්ගයේ නිල බල ගැන අදාළ අංශවලට ආඩම්බර විය හැකි ද? විශ්වවිද්‍යාලවල නවක වධයට පිළුණු බත්, ඉඳුල් බලහත්කාරයෙන් කවන සරසවි සිසුන්ගෙන් සමාජයට දෙන පණිවුඩය කුමක් ද? ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරමින් සරසවි 16 ක නවක වධ සිදුවීම් ගැන වාර්තා ඉල්ලා තිබේ. සරසවි සංස්කෘතියට ඉහඳ තබන පේරාදෙණි සිසුන්ගේ වර්ගයටම ඇතුළත් නවක වධකාරයන්ට ඒ විශ්විද්‍යාල දඩබිම් වී ඇත්තේ උපකුලපතිලා ප්‍රමුඛ විනය පාලකයන්ගේ නෝන්ජල්කම නිසාය. නවක වධය පමණක් නොව උපකුලපතිවරුන්ට පවා පහර දෙන මැරයෝ විශ්විද්‍යාලවල සිටිති යි වාර්තා වේ. ජාතියේ බුද්ධිමය සම්පත්වල අග්‍රඵලය ලෙස ආඩම්බර වූ සරසවි මානවක මානවිකාවන් ගැන අද අපට තිබෙන්නේ දැඩි සංවේගයකි. අප එසේ සඳහන් කරන්නේ මෙරටේ උසස් අධ්‍යාපනය තුළ තිබෙන ගැටලු, සිසුන් විඳින දුක් සුසුම් නොදැන නොවේ. ජාතික සංස්කෘතික හා දේශපාලන අරගල නිසා ඒ සරසවි ප්‍රජාවට පීඩන එල්ල කිරීමට ද අප එකඟ නැත. එහෙත් මේ නවකවධ ගහලයන්ට හා විනයක් නැති අපතයන්ට සමාව දීම යනු එහි සිටින සියලු විනීත හා ප්‍රබුද්ධ සිසුන්ට කරන අපරාධයකි. මෙරටේ විශ්විද්‍යාලවල ප්‍රමිතිය හා කීර්තිය ඇති කළ යුතු යැයි ජනාධිපති රනිල් ප්‍රකාශ කළේත් දින කීපයකට පෙරය.

බුලත් මඩිස්සලයට හෙණ ගැසූ පසු හුනු කිල්ලෝටය ගැන කවර කතාදැයි ජනවහරක් ද ඇත. සරසවිවල තතු එය නම් පාසල්වල උසස් පන්තිවල සිසු විනය ගැන කවර කතා ද? පාසලට සංවරව පැමිණෙන ලෙස අවවාද කළ ගුරුවරයාට සිසුන්ගෙන් එල්ල වන්නේ ප්‍රහාරයකි. මහමග ගමන් කිරීම ගැන උපදේශයක් දුන් පියකුට සිසුන්ගෙන් තැළුම් කා මරුමුවට පත්වීමට සිදුවිය. ආසන්නතම පුවත වූයේ මහනුවර උසස් පෙළ පාසලක සිසුවකුට එම විදුහලේම සිසුන් පිරිසක් විසින් ක්‍රිකට් පොලුවලින් පහර දෙනු ලැබ රෝහල්ගත වීමට සිදුවීමය. කළුතර බාලිකා විදුහලක සිසුවියක් සල්ලාලයකුට අලෙවි කිරීමත් අනතුරුව ඇගේ ජීවිතය විනශ වීමත් කෙබඳු ඛේදනීය පුවතක් ද? මේ ප්‍රචණ්ඩත්වය, සාහසිකත්වය ගැන අධ්‍යාපන බලධාරීන්ට යම් වගකීමක් ඇත. මක්නිසාද යත් ඔවුන් කළ යුතු වන්නේ යහපත් පුරවැසියන් නිර්මාණය කිරීම විනා පාතාලයට වුවමනා පාදඩයන්, මැරයන් පාසල්වලින් සමාජගත කිරීම නොවන හෙයිනි.

මේ සියල්ල තුළින් අනාවරණය වන්නේ සමාජ ආර්ථික විෂමතාවන් සමනය නොකළ දේශපාලන න්‍යාය පත්‍ර විසින් පන්සැත්තෑ වසරක් මුළුල්ලේ රටකට කරන ලද විනාශයයි. සමාජ විෂමතාවලින් ජනතාව බැටකමින් සිටියදී පාලකයන් ඉසුරින් බර ජීවිත ගෙවීමේ ආදීනවයි. කොළඹ නගරයේ මහල් නිවාස පෙළක කහට උගුරක් බොන්නට අල්ලට සීනි ටිකක් නැති වැසියකු සුසුම් හෙළද්දී එනුවර අධිපති පාලනයේ වැය රුපියල් කෝටි ගණනකි. කොළඹ නගර සභාව විසුරුවා තිබුණත් එහි නගරාධිපතිනිය තවමත් නිල නිවසේ බවත්, එහි මාසික විදුලි බිල රුපියල් ලක්‍ෂ දෙකක් බවත්, එහි පවිත්‍රා වෙනුවෙන් ලක්‍ෂ 9 ක් වැයවන බවත් දන්වා පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිලි කර සිටිති. ඒ නිල බල අහෝසි වූ පළාත්පාලනයේය. ඊට ඉහළ දේශපාලන කප්රුක් ගණන තනි ඉලක්කමකින් දැක්විය නොහැක. එනිසා විනයක් නැති, නීතියක් නැති, යුක්තියක් සාධාරණයක් නැති සමාජ පරිශ්‍රයක වරප්‍රසාද රහිත බහුතරයක් විඳින පීඩාව ගැන අටුවා ටීකා, ටිප්පණි වුවමනා නැත. රට තවමත් අයාලේය. කොහේ අප යනු ද නොම තේරේ! තතු මෙසේ වුවද හොරුන් තක්කඩියන් අතර සිටින යහපත් මහත්මා දේශපාලනඥයන් ස්වල්ප දෙනොගෙන් ද ජනතා සම්පත් වනසමින් ඉන් යැපෙන අධම රාජ්‍ය නිලධාරීන් අතර සිටින උතුම් මහජන සේවකයන්ගෙන් ද චීවරය, පූජකවරය කෙලෙසන්නවුන් අතර සිටින උතුම් ආගමික නායකයන් ස්වල්ප දෙනාගෙන් ද උගතමනා ශිල්ප නොදී රට වනසන ගුරු චෞරයන් අතර සිටින ගරු දිසාපාමොක්වරුන්ගෙන් ද ගිලන් ඇඳේ සිටින රෝගීන් සූරාකන්නවුන් මැද සිටින උතුම් ජීවකයන් ඇතුළු සියලු සජ්ජනන්ගෙන් ද අදීන අභීත පුරවැසියන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ එළැඹ සිටි සිහියෙන් යුතුව බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි. ප්‍රඥාවන්තයන් සිංහාසනාරූඪ කරන ලෙසයි. ජාති, ආගම් භේද නැති එක්සත් ජාතිකත්වයකින් ක්‍රියා කළ යුතු බවයි මේ සියලු විපත් අප එයට අසමත් වූ හෙයිනි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment