එල් පී එල් අවසර අරගෙන නැහැ – ක්‍රීඩා ඇමැති කියයි

447

උත්තර පසුව දෙන්නම් ක්‍රිකට් විධායක නිලධාරියකු

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා තමන් සහභාගි නොවූයේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එම තරගාවලිය සඳහා මෙතෙක් අනුමැතිය ලබාගෙන නොමැති නිසා බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති රොෂාන් රණසිංහ මහතා ඊයේ (31 දා ) ප්‍රකාශ කළේය.

මෙවර තරගාවලිය සඳහා හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය ලබා ගන්නා ලෙස තමන් දෙවතාවක්ම අවධාරණයෙන් පවසා සිටියද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ එල් පී එල් සංවිධායක මණ්ඩලය ඒ පිළිබඳව නෑසූ කන්ව සිටි බව ද ඇමැතිවරයා පැවැසීය.

තමන් කී දේ ඔවුන් එසේ ගණනකට නොගෙන සිටියේ තමන්ට වඩා බලවත් පාර්ශ්වවල ආශිර්වාදය ඔවුන්ට හිමිවන නිසා දැයි තමා දන්නේ නැති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

“පසුගිය වසර හතර පුරාම එල් පී එල් පවත්වා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය නැතිව. එහෙම අවසරයක් නැති තරගාවලියකට මම යන්නේ නැහැ. ඔවුන් මේ රටේ නීතිය ඉක්මවා ගිහින් තිබෙනවා. රටේ කිසිදු ක්‍රීඩා තරගාවලියක් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව පවත්වන්න බැහැ.”

එල් පී එල් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් බද්දක් අය කළ යුතු බවත් විදෙස් ක්‍රීඩකයන් 20% ක් හා දේශීය ක්‍රීඩකයන් 15% ක් වශයෙන් මෙම බදු ගෙවිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඩන්කන් වයිට් 1948 වසරේදී ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත් දිනය සිහිකරනු පිණිස ජාතික ක්‍රීඩා දිනය ලෙස නම්කර එම දිනය සැමරීම පිණිස මහරගම ජාතික තරුණ සේවා සභාවේ ඊයේ පැවැති උත්සවයේ දී ඇමැතිවරයා මේ බව කීය.

එහෙත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ‘දිවයින’ කළ විමසීමකදී එහි විධායක නිලධාරියකු පැවසුවේ ඒ පිළිබඳව ඉදිරියේ දී මාධ්‍ය නිවේදනයක් මගින් පිළිතුරු ලබා දීමට කටයුතු කරන බවයි.

ඊට අදාළ ලිපි ලේඛන තමන් සතුව පවතින බවද අදාළ නිලධාරියා පැවැසීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment