දෙවසරකට පසු සමස්ත ලංකා පාසල් ක්‍රීඩාපිටිය සක්‍රීය වෙයි

140

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසර දෙකක් තිස්සේ පැවැත්වීමට නොහැකි වූ සමස්ත ලංක පාසල් මලල ක්‍රීඩා තරගාවලිය යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබේ. ඒ අනුව තරගාවලිය ලබන මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට ඔවුන් දන්වා සිටී.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඉස්මතු කිරීමටත් තරගාවලියේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යෑමත් මූලික අරමුණ කරගනිමින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2022 තරගාවලිය අදියර 4කින් ක්‍රියාත්මක වේ. එය කණ්ඩායම් තරග ඉසව් 31කින් සහ මලල ක්‍රීඩා තරග ඉසව් 32කින් සමන්විත වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35000කට ආසන්න පිරිසක් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියට සමගාමීව සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගය හා මාර්ග ධාවන තරගය මේ මස 8 වැනිදා ගම්පහදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම තරගාවලියට නෙස්ලේ නෙස්ටොමෝල්ට් අනුග්‍රාහකත්වය දක්වයි. ඒ, අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි ගමන බලගැන්වීමේත්, ඔවුන්ගේ ක්‍රීඩා දිවියට ධනාත්මක ඇරඹුමක් ලබාගැනීමට දායක වීමේත් අරමුණ පෙරදැරි කරගනිමිනි.

කි.මී. 21ක අර්ධ මැරතන් තරගයත්, කි.මී. 5ක ධාවන තරගයත් සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිවෙළින් 300ක් සහ 1200කට අධික ප්‍රමාණයක් එක්වෙනු ඇතැයි අපේක්ෂිත ය.

කසුන් රණවීර

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment