ඔන්මැක්ස් ලොක්කන්ගේ දේපොළ තහනම්

108

නඩුව විභාග වනවිට උසාවිය ළඟ නිහඬ විරෝධතා

නීති විරෝධී පිරමීඩ ක්‍රමයට තැන්පත්කරුවන්ගෙන් ලබාගත් මුදලින් රුපියල් කෝටි ගණනාවක් යොදා ඔන්මැක්ස් ඩීටී ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් මිලදී ගෙන ඇතැයි කියන කෝටි ගණනක් වටිනා දේපළ තහනමට ලක්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (15 දා) නියෝගයක් නිකුත් කළේය.

මින් පෙරද ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන ඒකකය විසින් කර තිබූ ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම අධ්‍යක්‍ෂවරුන් සතු දේපළ හා ඔවුන්ගේ නම්වලින් පවත්වාගෙන යන ගිණුම් 58ක් තමනමට ලක්කර තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට තහනම් නියෝග ලබාගෙන ඇත්තේ සැකකාර අධ්‍යක්‍ෂවරුන් එලෙස ගනුදෙනු කරුවන්ගෙන් ලබාගත් මුදල් යොදවා මිලදී ගෙන ඇති දේපළ වලින් ඉතා සුළු ප්‍රමාණයක් බවත් තවත් රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළ ඔවුන් සතුව ඇති බවත් අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආර්. ඒ. පී. රණවක මහතා අධිකරණයට පැවැසීය. එම නඩුව ලබන මැයි 2 වැනිදා යළි කැඳවීමට අධිකරණය දින නියම කළේය. යම් කිසිවකු සතු දේපළක් තහනමට ලක්කිරීමේ බලය ඇත්තේ මහාධිකරණයට බැවින් මෙම අධිකරණය විසින් සිය සේවාදායකයන්ගේ දේපළ තහනම් කිරීමට මෙම අධිකරණය ලබාදී ඇති නියෝග බලරහිත නියෝග බවත් අධිකරණය එම නියෝග ලබානොදුනේ නම් තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ඉතිරි මුදල ද ගෙවා අවසන් කිරීමේ හැකියාව පැවැති බවත් සමාගම් අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පැවැසීය.

විමර්ශන පවතින අවස්ථාවක විමර්ශන නිලධාරීන් කරනා ඉල්ලීම් සලකා බලා විමර්ශනවලට සහය දැක්වීමක් ලෙස දේපළ හා බැංකු ගිණුම් තහනම් කිරීමට නියෝග ලබාදීමේ බලය තම අධිකරණයට ඇතැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත්කරමින් පැවැසීය. නීතිඥ දේශාන් විමලසේන මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආර්. ඒ. පී. රණවක මහතා අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. එම නඩුව කැඳවන අවස්ථාවේදී තැන්පත්කරුවන් විශාල පිරිසක් අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර තවත් පිරිසක් විරෝධතා පුවරු අතැතිව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ නිහඬ විරෝධතාවයක නිරත වූහ. නඩු කටයුතු අවසන් වී සැකකාර අධ්‍යක්‍ෂවරුන් පිටතට යන අවස්ථාවේදී රැවටීමට ලක්වූ තැන්පත්කරුවන් හා ඔවුන් අතර උණුසුම්වාද විවාදයක් ඇතිවූ අතර ඔවුන් ගමන්කළ වාහන හරස් කිරීමට ගනුදෙනුකරුවන් දැරූ උත්සාහය පොලිසිය විසින් මැඬපවත්වන ලදී.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment