කල්දැමීම ගැන ජනපති රටට ආ පසු පියවර ගන්නවා – වජිර අබේවර්ධන

895

ඇතැම් පාසල්වල සිසුන් අවශ්‍ය විෂය ආවරණය කර නැති බවට කරුණු හෙළිවී තිබෙන නිසා උසස් පෙළ විභාගය ටික දවසකට කල්දමන ලෙස කෙරෙන සිසුන්ගේ සාධාරණ ඉල්ලීම පිළිබඳව ජනාධිපතිතුමන්ගේ විදෙස් සංචාරයෙන් පසුව පියවරක් ගන්නා බව එ ජා ප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ලේ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අබේවර්ධන මහතා ඊයේ (19 දා) මේ බව කීය.

මන්ත්‍රීවරයා එහිදි මෙසේ ද පැවසීය.

මේ ගැන ඇතැම් සිසුන් මාවත් දැනුවත් කර තිබෙනවා. මගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා සහ පුද්ගලිකවත්, 2023 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන් ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීමක්. ඔවුන් මේ සඳහා නියමිත කාලයක් ලබාදෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම ඒ ළමුන්ගේ විශේෂ ඉල්ලීම තමයි, මෙම විභාගය 2024 අවුරුද්දෙ මාර්තු මාසය දක්වා දික්කරලා දෙන්න කියලා.

ළමයින්ගේ පැත්තෙන් ගත්තම, 2023 උසස්පෙළ සඳහා පෙනී සිටීමට නියමිත ළමුන් මේ වනවිට ඉතාම පීඩනයකට ලක්ව තිබෙනවා. ඒ ඔවුන්ගේ සිලබස් එක තවම ඉවර කරලා නැහැ. වාර විභාග හතර තවම අවසන් කරලා නැහැ. ඒ වගේම විභාගයට සූදානමක් වෙන්න අවශ්‍ය තත්ත්වයක් උසස් පෙළ ළමුන්ට නැති නිසා ඒ උසස් පෙළ සිසුන් ඉල්ලන්නේ ඔවුන්ට සාධාරණයක් කරන්න කියලා. උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ල, දෙවන වාරය තෙවන වාරය කරන සිසුන්ට නැවත විභාගයට සූදානම් වෙන්න අඩුම තරමේ මාස 5 කවත් කාලයක් අවශ්‍යයි. මම හිතන්නෙ ළමුන්ගේ පැත්තෙන් නෙමෙයි අපිටත් තේරෙන සාධාරණ ඉල්ලීමක්.

මේ ගැන ජනාධිපතිතුමා විදේශගතවීමට කලින් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළා. උසස් පෙළ ළමුන් කිහිපදෙනකු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලා ජනාධිපතිතුමන්ව දැනුවත් කරන්න කියල අපෙනුත් ඉල්ලීම් කරල තිබෙනවා. ජනාධිපතිතුමා රටට ආපු වහාම මම ඒ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරනවා. විශේෂයෙන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේත්, අධ්‍යාපන ලේකම් රණසිංහ මහතාගේත් අවධානය මේ වනවිටත් යොමුකර තිබෙනවා. මම හිතනවා 2023 ඒ ළමුන්ගේ ඉල්ලීම සාධාරණයි. ඒ සඳහා අවශ්‍ය කාලයක් ලබාදීම ඉතා වැදගත් කියන එකයි මගේ මතය වෙන්නේ. එහිදී අබේවර්ධන මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment