ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට යෝජනාවලියක් ඉදිරිපත් කරනවා – ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ

64

ක්‍රිකට් ආයතනය කාගෙවත් බූදලයක් වෙන්න දෙන්න බැහැ -හේෂා විතාන (සජබ)

ක්‍රිකට් මාෆියා‘ගැන්’ එකෙන් ක්‍රීඩාව බේරාගත යුතුයි – අනුර කුමාර දිසානායක (ජාජබ)

ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහළ දාන්න එපා – රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක

චිත්‍රසිරි වාර්තාව පනතක් හැටියට ගේන්න අපි ඡන්දෙ දෙන්න සූදානම් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට අවශ්‍ය යෝජනාවලියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන මහතා (සජබ) ගෙනආ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ, රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන (සජබ) :

ක්‍රිකට් ආයතනය කාගෙවත් බූදලයක් වෙන්න දෙන්න බැහැ. මේ ආයතනය පෞද්ගලික ආයතනයක් බවට ක්‍රිකට් ආයතනයේ අය කියනවා. පෞද්ගලික ආයතනවල විගණන කරන්න බැහැ. මේ ආයතනය පාර්ලිමේන්තු පනතකින් සම්මත කරපු එකක්.

ග්‍රාමීය ක්‍රිකට් වෙනුවෙන් මේ රටේ මොනවාද කරලා තියෙන්නේ. කොළඹට සීමා වූ ක්‍රිකට් මොනරාගල, ත්‍රිකුණාමලය, අම්පාරට නෑ. ගම්පහ, හම්බන්තොට, මහනුවර, මාතලේ, මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් බලධාරීන් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබනවා. ලංකාවේ දිස්ත්‍රික් සියල්ලේම බලධාරීන් දේශපාලනඥයන්. ක්‍රිකට්වලින් දේශපාලනය ඉවත් කළ යුතුයි.

ලංකාවේ ක්‍රිකට් මේ තත්වයට පත් වුණේ මේ වැඩ නිසයි. ක්‍රිකට් ආයතනයේ ඡන්ද 140ක් තියෙනවා. ක්‍රිකට් ක්ලබ්වල නම් විතරයි තියෙන්නේ. වෙන රටවල ඡන්ද ප්‍රමාණ ඉතා අඩුයි. මේ ක්‍රිකට් පනත වෙනස් කරන්න කටයුතු කරන්න. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නම් එය කළ යුතුමයි. හැමදාම එන්නෙ එකම ඔලුගෙඩි ටික.

රටේ ක්‍රීඩා ඇමැතිවරයාට එරෙහිවත් ක්‍රිකට් ආයතනය නඩු දාලා. එමෙනම් මේ පිරිස කොපමණ බලවත්ද? අවසන් විගණන වාර්තාවේ තොරතුරු ජනතාව දැනගත යුතුයි.

ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ 14 දෙනෙක් රුපියල් හයකෝටි හැත්තෑ හය ලක්‍ෂයක මුදලක් වියදම් කර තිබෙනවා. තම පෞද්ගලික පාවිච්චියට ගන්න හිරිකිතයක් නෑ. ක්‍රිකට් හදන්න මොවුන්ට කිසිම වුවමනාවක් නෑ. ඉන් සිව් දෙනකු රුපියල් විසිපන්ලක්‍ෂයක් ආපසු ගෙවා තියෙනවා. සභාපතිවරයා එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක මුදලක් ලේකම් ලක්‍ෂ 14ක මුදලක් උප සභාපති ලක්‍ෂ ගණනින් මුදල් වැය කළා. ඒ වගේම විධායක කමිටු සාමාජිකයන්ද ලක්‍ෂ තිස් ගණනක් වැය කරලා. ඉන් දෙදෙනකු රුපියල් 33 ලක්‍ෂයක් නැවත ගෙවලා.

ක්‍රිකට් ආයතනයත් සමග සම්බන්ධතාවක් නැති විශේෂ පිරිසකුත් රට ගිය අය අතර ඉන්නවා. පාසල් ක්‍රිකට් දරුවන්ට බැට් එකක් ගන්න සල්ලි නෑ. ක්‍රිකට් ආයතනයේ අය තමන්ගේ අවශ්‍යතා හිතූ හිතූ පරිදි ඉටුකර ගන්නවා.

ක්‍රිකට් ආයතනයට කිසිම සම්බන්ධතාවක් නැති 35 දෙනකුට ඕස්ටේ්‍රලියා යන්න වීසා අරන් දීලා. මොන පදනමකින්ද මොවුන්ට වීසා අරන් දුන්නේ. විදුලිබල මණ්ඩලයේ සභාපති, කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්, පොලිස් නිලධාරියෙක් මේ ගිය අය අතර වෙනවා. මේ පොලිස්නිලධාරියා ක්‍රීඩා වැරැදි හොයන්න පත් කළ අයෙක්. අද වනවිට ක්‍රිකට් ආයතනය රටේ ජනතාවට මේ ගැන දුන් උත්තරය කුමක්ද? මේ ගිය අය අතරින් එක් අයෙකු ඕස්ටේ්‍රලියාවේ නතර වෙලා. මේවා සැලසුම් සහගතව සිදුවී තිබෙනවා.

මෙය අපරාධමය වරදක්. ක්‍රිකට්වලට අදාළ නැති අයට වීසා ලබාදීම ගැන පරීක්‍ෂණ පවත්වන්න. ගුවන් ටිකට් පත් මිලදී ගැනීම කිසිම ප්‍රසම්පාදනයකට අනුව නොවෙයි කර තිබෙන්නේ.

උප සභාපති ජයන්ත ධර්මදාස මහතා ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට්පත ගන්න රුපියල් ලක්‍ෂ 26ක් ගෙවලා. ව්‍යාපාරික පංතියේ ටිකට්පත් කවදාවත් මේ ගණනට වැඩි වුණේ නෑ. දැන් රටගිය සමහරු යළිත් ඇවිත් ක්‍රිකට් ආයතනයට සල්ලි ගෙවනවා. හරියට ගියානම් සල්ලි ගෙවිය යුතු නෑ.

ක්‍රිකට් ඡන්ද ටික ආරක්ෂා කරන්න දිස්ත්‍රික් නායකත්වය සල්ලි ගෙවනවා.

ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4ක ලාභ ලබනවාලු. ලාභ ලැබිය යුතු නෑ. ක්‍රිකට් දියුණු කරන්න මුදල් යොදවන්න. තම වැරැදි අඩුපාඩු වසා ගැනීමට ලාභ පෙන්වනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ (සජබ) :

යෝජනාව ස්ථිර කරනවා. ක්‍රීඩා සංගම් සියල්ල මීට වඩා ශක්තිමත්ව රාජ්‍ය පාලනයට එක්කරගත යුතුයි. දකුණු ක්‍රිකට් පළාත් ක්‍රිකට් සංගමය නෑ. නඩුවක් හින්දා වහලා දාලා. මේවා සියල්ලට නියාමනයක් අවශ්‍යයි.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ (ශ්‍රීලපොපෙ) :

පාසල් ක්‍රිකට් නැංවීමට අපි මුදල් වෙන් කළා. කාන්තා ක්‍රිකට් අතහැරලා තිබ්බේ. ඒවා ගොඩනැංවුවා. එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කළා. ක්‍රිකට්වල හොඳ තත්ත්වයක් ඇති කරන්න ක්‍රියා කළා. ඒ සඳහා නිලධාරීන්ගෙන් විශාල සහයක් ලැබුණා. ක්‍රීඩා සංගම් ඉදිරියට ගෙන යමින් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගත්තා. ක්‍රීඩා සංගම් නිලවරණවලට අපි මැදිහත් වූයේ නෑ. ක්‍රීඩා පනත සම්මත කරන විට සංගම් ඊට අනුගත කරගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) :

වසර ගණනාවකට පසුව ක්‍රිකට් ලෝක කුසලානයට යන්න සුදුසුකම් තරගවලට මුහුණ දෙන්න වුණා. ඉතා දුර්වල රටවල්වලට පරාජයට පත් වුණා. සමහර තරග පරාජයට පත්වූ ආකාරය කිසිසේත් අනුමත කරන්න බැහැ. ක්‍රීඩකයන්ගේ විනය ගැන ප්‍රශ්න මතුවෙලා. ක්‍රීඩකයන්ගේ විනයට පාලක මණ්ඩලය ආදර්ශයක් දිය යුතුයි. අද ක්‍රිකට් ක්‍රීඩාවට අත්වී ඇති ඉරණමට වත්මන් ක්‍රිකට් ආයතනය වගකිව යුතුයි. ඉන් ගැලවී යා නොහැකියි.

ඕස්ටේ්‍රලියා සංචාරයේ විගණනය මෙහෙමනම් සමස්ත පාලක මණ්ඩලයේ විගණනය කොහොම වෙයිද? ක්‍රිකට් ආයතනයේ වියදම් ඉතා නාස්තිකාර ලෙස සිදු කරලා. එහෙම කරලා විනය ඇති කණ්ඩායමක් ඇති කළ හැකිද? මේක ක්‍රිකට් මාෆියා ගැන් එකක්. මේකේ ගැන් එකක් තියෙන්නේ. හෙට ඡන්දය තිබ්බත් දූෂිත මාෆියා ගැන් එක තමයි බලය ගන්නේ. ඒ අධික මුදල් සම්භාරයක් සැරිසරණ නිසා. මේ ගැන එකෙන් ක්‍රිකට් ක්‍රීඩාව බේරාගත යුතුයි. ඉන්න කිසිම නිලධාරියෙක් ස්වාධීන නෑ. එකට හොරකම්කරලා වෙන්ව ඡන්ද ඉල්ලනවා.

නිවැරදිවම ස්වාධීන පුද්ගලයන් තනතුරුවලට එන ක්‍රමයක් හැදිය යුතුයි. කල්ලිවලින් ක්‍රිකට් බේරාගත යුතුයි. වසර විසිපහක් පමණ එකම කල්ලියක් බලයට එන්නේ. ඇමැතිවරු ඔවුන් සමග එක්වෙනවා. ක්‍රීඩා පනත් ක්‍රීඩා ව්‍යවස්ථාවත් වහා වෙනස් කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ) :

සියලු ක්‍රීඩා සංගම් අවංක නෑ. සංගම්වලට එන්න තියෙන උනන්දුව ක්‍රීඩාව නැංවීමට දක්වන්නේ නෑ. මගේ කාලයේ දී ක්‍රීඩා පනතට අනුව සංගම් තුනකට තිදෙනකුට තරග කරන්න ඉඩ දුන්නේ නෑ. සමහර ක්‍රීඩා සංගම් බලධාරීන් ඒවායේ වසර ගණනාවක් නිධන්ගතව ඉන්නවා. එළවන්නවත් බැහැ. හොඳින් ක්‍රියාකරන අයත් ඒ අතර ඉන්නවා.

පරිස්සමින් මේ සංශෝධනය සිදු කරන්න. මේවා කරන්න ගිහින් අයිසීසී එක අපේ ක්‍රිකට් තහනම් කළොත් රටේ වූ අරගලයට එහා එකක් වෙන්නේ. අපිට ගෙවල්වලවත් ඉන්න වෙන එකක් නෑ. අපි ක්‍රීඩාවේ ජයග්‍රහණ රැසක් ගත්තා. ක්‍රිකට් ආසියානු ක්‍රීඩා, ලෝක කුසලාන දිනාගත්තා. එහෙම හිටපු ක්‍රීඩාවට වෙච්ච දේ කතා කළ යුතුයි. මම ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් 2012 හැදුවා. තහනම් උත්තේජක පනත ගෙනල්ලා ඒවා නැවැත්වූවේ මගේ කාලේ. තරග පාවාදීමේ පනත ගෙනාවා.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ :

මම ඇමැතිකම ගන්න ගමන් ක්‍රීඩා ඇමැතිවරු කැඳවා අවශ්‍ය උපදෙස් ලබාගත්තා. ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරපු මම රග්බි සංගමයේ කටයුතු කළේ. අපේ රටේ අවුරුදු 20ක් සංගම්වල ඉන්නවා. රග්බි සංගමය ජාත්‍යන්තරයට ගිහින් දේශපාලන මැදිහත්වීම් තියෙනවා කියලා කිව්වා.

පාපන්දු සංගමයත් එහෙමයි. අපි නීති දැම්මාම ජාත්‍යන්තරව තහනම් වුණා. නීති ආපස්සට ගන්න අපට සිදුවුණා. පාපන්දු අද අපි ලෝකයේ 200ට එහාට ගිහින්. ක්‍රිකට් අගටම ගිහින්. කවුද මේවට වගකිව යුත්තේ. සමහර සංගම් හොඳට වැඩ කරනවා. දූෂණය තවදුරටත් අනුමත කරනවා නම් තවදුරටත් වළ පල්ලට යනවා ගොඩ ගන්න බෑ. මේ ගැන ජාත්‍යන්තර සංගම් දැනුවත් කරන්න ක්‍රියා කරනවා.

උපායශීලී ලෙස ජයග්‍රහණ රැසක් අපට අරන් දෙන්න හැකිවුණා. ක්‍රීඩා සංගම්වල නිල කාලය, ආදායම් වාර්තාවලට සංගම් එකඟ වුණා. මම වැරදි කරනවානම් ඒවා සොයා බලන්න. සමහරු ආණ්ඩුවේ ඉඳගෙනම විවිධ ක්‍රියා කරනවා. මම නීති ගෙන එනවා. ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට අවශ්‍ය යෝජනාවලියක් ඉදිරිපත් කරනවා.

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක :

අර්ජුන රණතුංග රටට කුසලාන රැසක් ගෙනල්ලා දුන්නා. කුසලාන ගෙනාපු අර්ජුන ක්‍රිකට් නිලවරණයේ දී පරාදයි. වෙන වෙන අය දිනනවා. එක එක අයගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වෙනවා. එල්පීඑල් එක ජනප්‍රිය වුණා. ඊළඟට ලෝක කුසලාන තරගාවලිය තියෙනවා. අපේ රට නම ගෙනයන්න තියෙන්නෙ ක්‍රිකට් විතරයි. එයටත් කණකොකා හඬන්න පටන් අරන්. යම් චෝදනාවක් කරන විට ඒවා ඔප්පු කළ යුතුයි. මේ වගේ චෝදනාදාලා ක්‍රීඩාව බෙදලා ඉදිරියේ දී එන ලෝක කුසලානයට යන කණ්ඩායම අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහළ දාන්න එපා. සියලු දෙනා එක්ව වැඩකටයුතු කළ යුතු කාලයක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :

ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන පාර්ලිමේන්තුවේ හැමදාම විවාද නමුත් කිසිම විසඳුමක් නෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයට නිලධාරීන් පත් කරන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කරන්න 142ක් ඡන්දය දෙනවා. නමුත් ක්‍රීඩා සමාජ තියෙන්නේ 12 යි. සමහර ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නෑ. ඒවා හදලා තියෙන්නේ යම් යම් පුද්ගලයන්ට මේ තනතුරු ලබා ගන්න. සමහර ක්‍රීඩා සමාජ තියෙන්නේ බොන්න විතරයි.

ඕස්ටේ්‍රලියාවේ ක්‍රිකට් බෝඩ් එක පත් කරන්න ඡන්ද කීයද? ඡන්ද 8යි. ඉන්දියාවේ ඡන්ද 12යි. එංගලන්තයේ ඡන්ද 20යි. සෑම රටකම විසි දෙනකුට අඩු ප්‍රමාණයක් තමයි ක්‍රිකට් පාලක මණ්ඩල පත් කරන්නේ. නමුත් අපේ 142යි.

ඇමතිතුමා ඔබතුමා දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර චිත්‍රසිරි මහත්මයා ඒ වාර්තාව ඔබ පිළිගන්නවාද? මොකද සාකච්ඡා තියලා වැඩක් නෑ. සාකච්ඡා කියන්නේ ඔබතුමාලට දේශපාලන වුවමනාවක් නැහැ මේක වෙනස් කරන්න. චිත්‍රසිරි මහත්මයාගෙ වාර්තාව සියලු දෙනා පිළිගෙන තියෙනවා. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන අර්ජුන, අරවින්ද, සනත්, මහේල,ඉතින් ඇයි මේ ක්‍රියාත්මක කරන්න බැරි. ඇත්ත වශයෙන්ම නීති වෙනස් කරන්න ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් තියෙන්න ඕනේ. නැතුව මෙතනට ඇවිල්ලා නහයෙන් අඬලා වැඩක් නෑ. වසර 15 ට කලින් ඉන්දියාවේ ක්‍රිකට් තිබ්බේ අපේ ලංකාවේ වගේ. ව්‍යාපාරිකයෝ ටිකක් මේක අල්ලගෙන අරක්ගෙන හිටියා. පස්සේ ක්‍රිකට් ගහපු කෙනෙක් අධිකරණෙට ගියා. අධිකරණයට ගිහිල්ලා කිව්වා අපේ ක්‍රිකට් ව්‍යාපාරිකයෝ ටිකක් අල්ලගෙන ඉන්නවා කියලා. වාසනාවට ඉන්දියාවේ අධිකරණය විනිශ්චයකාරවරයෙක් හිටියා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන. ඔහු දින හතරක් පහක් නඩුව අහලා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරියා. පසුව බලයලත් නිලධාරියකු පත් කරලා මාස තුනක් ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයන් පාලක මණ්ඩලයට ඇතුළත් වෙන්න හැකි නීති හදන්න කිව්වා. පස්සේ නව ව්‍යවස්ථාවට අනුව ඡන්දෙ තිබ්බම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සු පත් වුනා. ඉන්දියාවේ ආණ්ඩුවට වුවමනාව තිබ්බා ව්‍යවස්ථාව වෙනස් කරන්න. නමුත් අවාසනාවට අපේ ආණ්ඩුවට වුවමනාවක් නෑ. ආණ්ඩුව චිත්‍රසිරි වාර්තාව පනතක් හැටියට ගේනවා නම් අපි ඊට ඡන්දෙ දෙන්න සූදානම්.

පාර්ලිමේන්තුව අද (25 දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment