මින් පෙරත් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ

ජේසුස් වහන්සේ උපදින්නෙත් කන්‍යා ගැබ් ගැනීමකින්

ගර්භණීත්වය යනු කාන්තාවකගේ ජීවිතයේ සොඳුරුතම අවස්ථාවක් වෙයි. සෑම විවාහක කාන්තාවක්ම තම කුසෙහි හොවා දරුවකු බිහි කිරීමට පෙරුම් පුරයි. අප සැවොම දන්නා පරිදි ගැබ් ගැනීමක් සිදුවීමට නම් සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ ඩිම්බකෝෂ වලින් මුදාහරින පරිණත ඩිම්බයක් ලිංගික සංසර්ගයක දී පිටවන පිරිමියකුගේ ශුක්‍රාණු සෛල මඟින් සංසේචනය විය යුතුය. නමුත් ලිංගික සංසර්ගයකින් තොරව කන්‍යා කාන්තාවක් වුවද ගැබ් ගත හැකි බව ඔබ දැනුවත් ද. කන්‍යා කාන්තාවන් ගැබ් ගැනීම් පිළිබඳ සංසිද්ධිය අතිශය දුර්ලභ හා විශ්මයජනක වූවකි. නමුත් කන්‍යාවන් ගැබ් ගැනීම් පිළිබඳ සිදුවීම් ලොව පුරාම වාර්තා වී තිබේ. ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය සතියේ හෙට්ටිපොළ ප්‍රදේශයේ 13 හැවිරිදි දැරිවියක් උදරයේ හටගත් වේදනාවකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගත කළ පසු මෙම දැරිය ගැබ් ගෙන ඇති බවට හෙළිදරව් වී තිබේ. ඒ පිළිබඳව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ තුළින් තහවුරු වී ඇත්තේ ඇය කන්‍යාවක් වන අතරම ඇයට ලිංගික ප්‍රවේශයක් සිදුවී නොමැති බවය. කන්‍යා ගැබ් ගැනීම් පිළිබඳව අතීත, ආගමික හා සංස්කෘතික විශ්වාසයන් පවතී. කන්‍යා ගැබ් ගැනීම් පිළිබඳ එක් ප්‍රසිද්ධ ඓතිහාසික උදාහරණයක් වන්නේ ක්‍රිස්තියානි දේව ධර්මයේ එන කන්‍යා මරියතුමියගේ කතාවයි. ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව ජේසුතුමන් මරියතුමියගේ කුසට පැමිණෙන්නේ ලිංගික සම්බන්ධයකින් සිදුවූ උපතක් ලෙස නොවේ. ඒ වන විටත් මරියතුමිය අවිවාහක කන්‍යා ස්ත්‍රියක් වන අතර ගැබ් ගැනීම සිදුවී ඇත්තේ දෙවියන් වහන්සේගේ ආශ්චර්යයක් ලෙස වන බව කිතුනු සම්ප්‍රදායේ සඳහන් වේ. පුරාණ ග්‍රීක පුරාවෘත්තවල, ප්‍රඥාවේ සහ යුද්ධයේ දේවතාවිය වන ඇතීනා දෙවඟන මවක් නොමැති ව ඇගේ පියා වූ සියුස්ගේ හිසෙන් උපත ලැබූ බව කියනු ලැබේ. ඒ හා සමානව, හින්දු පුරාවෘත්තවල, දුර්ගා දේවතාවිය බලවත් යක්ෂයෙකු පරාජය කිරීම සඳහා ලිංගික එකතුවීමකින් තොරව නිර්මාණය කර ඇති බව විශ්වාස කෙරේ. ඉතිහාසය පුරා, බොහෝ විට දැඩි ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් සමඟ කන්‍යා ගැබ් ගැනීම් පිළිබඳ ජනප්‍රවාදයන් පවතී. බි්‍රතාන්‍ය වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද (2013) කාන්තාවන් 7870 දෙනෙකුගෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ඔවුන්ගෙන් සියයට 0.5 ක් පමණ කන්‍යා ගැබ් ගැනීම් වාර්තා වූ බවයි.

වරෙක ඇමරිකාවේ 19 හැවිරිදි සමන්තා ලීන් ඉසබෙල් නම් තරුණියක් උදරයේ ඇති වූ වේදනාවකට ප්‍රතිකාර ගැනීමට යොමු වූ විට තහවුරු වී තිබුණේ ඇය සති පහක ගැබිනියක් වන බවය. නමුත් ඇය ඒ වනවිටත් කන්‍යාවක්ව සිටි අතරම කිසි දිනක ලිංගික සම්බන්ධයක් නොතිබූ බවට වාර්තා විය. ඉස්සර අපේ වැඩිහිටියන් පිරිමි ළමයින් ඇඳපු සරමක් ගැහැනු ළමයෙක්ට ඇඳගෙන නෑමට ඉඩ නොදුනි. වැඩිවිය පැමිණි තරුණියකට සහෝදරයාගේ, තම පියාගේ හෝ වැඩිහිටි පිරිමියෙකුගේ තුවායක් හෝ සරමක් දිය රෙද්දක් සඳහා භාවිතා කිරීමට පැරැණි වැඩිහිටියන් තහංචි කර තිබුණි. එය පැරණි වැඩිහිටියන් පනවා ඇති මිථ්‍යා තහංචියක් ලෙස සලකා නොසලකා හැරිය නොහැකිය. එහි පවතින විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව සහ කන්‍යාවක් ගැබ් ගැනීම සම්බන්ධව’ පවතින වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳව වෛද්‍ය ගයාන් අනුෂ්ක ලක්මාල් මහතාගෙන් කරුණු විමසීමක් සිදු කෙරිණි. ඒ අනුව, සාමාන්‍යයෙන් ගැබ් ගැනීමක් සිදුවිය හැකි ආකාර තුනක් තිබේ. ඉන් පළමු ක්‍රමය වන්නේ කාන්තාවක් හා පුරුෂයකු අතර සිදුවන ලිංගික සංසර්ගයක් මගින් ගැබ් ගැනීමයි. දෙවන ක්‍රමය වන්නේ සංසර්ගයකින් තොරව ගැබ් ගැනීමයි. සංසර්ගයකින් තොරව යෝනි මුඛය මතට ශුක්‍ර තරලය පතිත වීමකින්ද ගැබ් ගැනීමක් ඇති වීමේ අවදානමක් පවතී. සැලකිය යුතු කාරණය නම් මෙම අවදානම ඉතාම සුළු එකක් වීමයි. ශුක්‍ර තරලය තුළ පවතින ශුක්‍රාණු වලට සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තුළ වැඩි වෙලාවක් සජීවීව සිටිය නොහැක. නමුත් ශිෂ්ණයෙන් විසර්ජනය වනවිටම යෝනි මුඛය මතට ශුක්‍ර තරලය පතිත වුවහොත් යෝනි මුඛය මත පවතින තරලමය ස්වභාවය නිසා ශුක්‍රාණු ජීවීව පවත්වා ගනී. ඒවා යෝනි මුඛයේ සිට යෝනි මාර්ගය, ගර්භාෂය හරහා පැලෝපීය නාල දක්වා පිහිනා යෑමේ සුළු ප්‍රවණතාවයක් ඇත. යෝනි මාර්ගය තුළ පිහිටන කන්‍යා පටලයේ ඔසප් රුධිරය පිටවීම සඳහා සිදුරක් පවතී. ඒ හරහා කන්‍යා පටලයට හානියක් නොවී ශුක්‍රාණුවකට යෝනි මාර්ගයකට ඇතුළු විය හැකිය. එසේම සරු ශුක්‍රාණු තැවරුණු ඇඳුමක් හරහා ද යෝනි මාර්ගය තුළට ශුක්‍රාණු ගමන් කිරීමේ ඉඩ පවතී. ඒ සඳහා එම කාලය කාන්තාවගේ ඩිම්බ විමෝචනය වන දින වකවානු විය යුතුය. පුරාණ වැඩිහිටියන් පැනවූ තහංචිය හා සම්බන්ධ වූ විද්‍යාත්මක කාරණයකි. තුන්වන ගැබ් ගැනීමේ ආකාරය නම් තාක්ෂණික ක්‍රමවේදයන් හරහා සිදු කරන ගැබ් ගැන්වීමේ ක්‍රමවේදයන් වේ.

ලිංගික සංසර්ගයකින් තොරව කන්‍යා කාන්තාවන් ගැබ් ගැනීම අතිශය දුර්ලභ සිදුවීමක් වූ නමුත් එය සිදු විය හැකි මින් පෙරත් සිදු වූ වෛද්‍ය විද්‍යාත්මකව පිළිගන්නා සත්‍යයකි. නමුත් අප සමාජය තුළ මෙවැනි වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් සත්‍යයන් වුවද පිළිගැනීමට මිනිසුන් සූදානම් නැත. එය ලිංගික අධ්‍යාපනය පිළිබඳව තවමත් අප සමාජය තුළ පවතින ඌන දැනුම නිසා සිදුවන්නකි. එනිසා පාසල් අධ්‍යාපනය තුළින් මනා ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍ය ය. එසේම තම දරුවන් පිළිබඳව දෙමව්පියන්ගේ අවධානය වැඩිපුර යෙදවීමේ අවශ්‍යතාවයක්ද මෙහිදී පැන නගී. කරුණු එසේ වුවද මෙම සිදුවීමට ලක්වූ බාල වයස්කාර දැරිය තවමත් කුඩා දැරියක් වන බැවින් ඇයට මෙමගින් ඇතිවන මානසික අපහසුතාවය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ. එසේම සමාජය තුළින් ඇයට සහ ඇයගේ පවුලට එල්ල විය හැකි අකටයුතුකම් දරා ගැනීමට ද ඔවුන්ට සිදුවනු ඇත. ඇයට යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව පර්යේෂණ පවත්වා ඇයගේ අනාගත ජීවිතය සුපහන් මනසකින් යුතුව ගත කිරීමට ඇයට සහාය වීම අදාළ බලධාරීන් සතුව වගකීමක් ඇත.

රශ්මි කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment