සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අද ඇරැඹේ

224

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අද (23) පෙ. ව. 09.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. ඒ අතරේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව තරග වාර්තාවට හිමිකම් කියන තරුෂි කරුණාරත්න ද සිටීම විශේෂත්වයකි. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 රන් පදක්කම ඇතුළු පදක්කම් තුනකට හිමිකම් කියූ තරුෂි කරුණාරත්න තම පාසල් ජීවිතයේ සහභාගි වන අවසන් අවස්ථාව ලෙස මෙය සටහන් වෙයි.

අද (23) සිට දින 05 ක් තිස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ සමාප්තිය සහිත ජය සංකේත ප්‍රදානය ලබන සිකුරාදා (27දා) සවස සිදු කෙරේ.

අවුරුදු 20 න් පහළ, අවුරුදු 18 න් පහළ, අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 14 න් පහළ යන වයස් සීමාවන් යටතේ මෙවර බාලක සහ බාලිකා මලල ක්‍රීඩා තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා පළාත් මට්ටමේ ජයග්‍රහණ වාර්තා කර ගෙන ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 කු සහභාගි වෙති.

ආරම්භක දිනය වන අද (23) තරග ඉසව් 08 ක අවසන් තරග පැවැත්වෙන අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට තිළිණ ප්‍රදානය කිරීම සඳහා ද පියවර ගෙන තිබේ.

අවුරුදු 20 න් පහළ බාලක රිටි පැනීම, අවුරුදු 16 න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම, අවුරුදු 20 න් පහළ බාලිකා යගුලිය දැමීම, අවුරුදු 18 න් පහළ බාලිකා තුන්පිම්ම, අවුරුදු 14 න් පහළ බාලක උස පැනීම, අවුරුදු 20 න් පහළ බාලක යගුලිය දැමීම, අවුරුදු 16 න් පහළ බාලිකා දුර පැනීම සහ අවුරුදු 18 න් පහළ බාලක හෙල්ල විසි කිරීම අවසන් තරග අද (23) පැවැත්වේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment