අවුරුදු පහකට පස්සෙ බුවනි ආයෙත් වැඩ

174

ප්‍රෙග්නන්ට් කාලෙ මගේම ටෙලිනාට්‍ය බැලුවා
මගේ ඉවත්වීමට මට වඩා දුක්වුණේ රසිකයෝ
අලුතින්ම ක්‍ෂේත්‍රයට ආවා වගේ දැනෙනවා

බුවනි චාපා දියලගොඩ ප්‍රේක්‍ෂක මතකයේ අදටත් ආදරණීය චරිතයක්. විවාහයත් සමග තාවකාලිකව රංගනයට සමුදුන්නත් ඇය රඟමඬලින් බැස ගියේ නැහැ. වසර පහක නිහැඬියාවකින් පසුව අලුත්ම වැඩකින් නැවතත් පුංචි තිරයට එන්න සූදානම් වෙන බුවනි එක්ක අපි මේ විදිහට දොඩමළු වුණේ අලුත්ම තොරතුරු මොනවද කියල දැනගන්න.

බුවනි” අවුරුදු පහකට පස්සෙ නිහැඬියාව බිඳින්නයි සූදානම?

ඔව්” අවුරුදු පහකට පස්සෙ තමයි මම නැවතත් වැඩ පටන්ගත්තෙ. නිහඬව හිටපු කාලයේ වුණත් කලාවට තිබුණ ආදරයෙ වත්” ආසාවෙ වත් අඩු වුණේ නැහැ.

කවිතාට ආරාධනය ලැබෙන්නෙ කොහොමද?

මට මේ ආරාධනය ගෙන එන්නෙ බුද්ධිනී ජයවර්ධන අක්කා. මම පළමුවැනි සම්මානය ගන්නෙත් බුද්ධිනී අක්කගෙ පිටපතකට කළ ටෙලි නාට්‍යයකින්. ඇය මගෙන් ඇහුව ගොඩක් කාලෙකින් වැඩක් කළෙත් නැති නිසා අපි අලුත් එකක් කරනව සම්බන්ධ වෙන්න පුළුවන්ද කියල. ඉතිං ඒ ආරාධනාව මම බොහෝම කැමැත්තෙන් සහ සතුටින් භාරගත්තා.

අවුරුදු පහකට පස්සෙ බුවනි ආයෙත් වැඩ

ඔබේ චරිතය ගැන කිව්වොත්?

මට ලැබුණෙ ‘කාව්‍යා. කියන චරිතය. නමුත් ප්‍රේක්‍ෂකයන් මගෙන් දැකල තියෙන්නෙ වස” සැර” දඟ” කටකාර වගේ චරිත. කාව්‍යා කියන්නෙ බොහොම නිවුණු” ඉවසීමෙන් වැඩකටයුතු කරන අසරණ වුණ කෙනෙක්. චරිතය භාරගන්න තවත් විශේෂ කාරණාවක් තමයි මේක මට ලැබුණ වෙනස් චරිතයක් වීම.

කලාවෙන් ඈත් වෙලා ගෙවුණ අවුරුදු පහ මොන වගේද?

මගේ විවාහයත් සමග තමයි රංගන කටයුතු නතර කළේ. මුල්කාලයේ නම් විවාහ උත්සවයේ කටයුතුත් එක්ක කාර්යබහුල වුණා. ඒ වගේම අලුත් ජීවිතයට හුරු වුණා. අවුරුදු තුනකට පස්සෙ මට නිවුන් බබාල ලැබෙනව. ඒක මං බලාපොරොත්තු නොවුණ දෙයක්. ඒ දේවල් එක්ක නොදැනිම කාලය ගත වුණා.

අවුරුදු පහකට පස්සෙ බුවනි ආයෙත් වැඩ

දෙදරු මවක්” කොහොමද ෂුටින් වෙනුවෙන් කාලය වෙන්කරන්නෙ?

‘කවීතා. ටෙලි නාට්‍යයට ආරාධනා කරනකොට බුද්ධිනී අක්කා” අධ්‍යක්‍ෂ සුදේශ් වසන්ත පීරිස් වගේම සහය අධ්‍යක්‍ෂවරයාත් මං ගැන දැනුවත් වෙලානෙ හිටියෙ. ඒ නිසා එයාලගෙ පැත්තෙන් පුළුවන් උපරිමයෙන් මට පහසු විදිහට වැඩකටයුතු කරනව. ලොකේෂන් පවා මගේ ගෙදරට බොහොම කිට්ටුවෙන් තියෙන්නෙ. මේ හැමදේම බලල තමයි මම මේ වැඩේට කැමති වුණේ.

නැවත පැමිණීම ගැන ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ගොඩාක් දෙනෙක් සුබපැතුවා. ඇත්තටම මට හරි සතුටුයි. අවුරුදු පහක් නිහඬ වෙලා හිටියට ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයෙ අඩුවක් වුණේ නෑ. ඒ වගේම කලා ක්‍ෂේත්‍රයේ සහෝදර සහෝදරියන්ගෙ සම්බන්ධතාවත් ඒ විදිහටම පැවතුණා. ඒ ප්‍රතිචාර මගේ ඉදිරි ගමනට ලැබුණ ආශීර්වාදයක් විදිහට මම දකිනව.

වසර පහක් අපතේ ගියා කියල පසුතැවීමක් තියෙනවද?

දුකක් පසුතැවීමක් නැහැ. මගේ පවුලත් එක්ක මම ගතකළ කාලය ගැන මට සතුටුයි. සමහර වෙලාවට පොඩි පාළුවක් වගේ දැණුන අවස්ථා තිබුණ. නමුත් මම හිතනව දැන් මගේ පවුලත් වෘත්තියත් යන දෙකම සමබරව කරගෙන යන්න පුළුවන් වෙයි කියල.

‘කවීතා. ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නෙ කවදාද?

මං හිතන්නෙ බොහොම ඉක්මණින් ඇය ප්‍රේක්‍ෂකයන් හමුවට ඒවි. කවීතා කියන්නෙ ගොඩක් දෙනෙක් සමාජයේ කෙලින් කතා නොකරන වෙනස් විදිහේ කතාවක් වගේම සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් කතාවක්. ප්‍රේක්‍ෂකයන් ගොඩක් ආදරෙන් වැළඳගනීවි කියල විශ්වාස කරනව.

මේ ගමන දිගටම යන්නද අදහස?

ඔව්” නමුත් ඉස්සර තරම් නම් කාර්යබහුල වෙන්නෙ නැහැ. මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් හොඳ නිර්මාණයක්” චරිතයක් ලැබුණොත් සහ විශේෂයෙන්ම කොළඹ අවට රූගතකිරීමක් වුණොත් මම සහභාගි වේවි.

ගෙදර ඉන්න කාලෙ ටෙලි නාට්‍ය බැලුවද?

ඇත්තටම මම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කලෙ මාස නවයම මම කළේ යූ ටියුබ් එකෙන් මගේ පරණ ටෙලි නාට්‍ය බලපු එක. ඒවා බලනකොට සතුටුයි” ආසයි දුකයි මේ හැමදේම දැණුනා. රූපවාහිනියේ විකාශනය වෙන ටෙලි නාට්‍යයත් ඒ අතර බැලුවා. දැන් ගොඩක් අලුත් අය ක්‍ෂේත්‍රයට ඇවිත් ඉන්නව. ඒ අතර බොහොම දක්‍ෂ අය ඉන්නව. ඒ ගැන ගොඩක් සතුටුයි.

විවාහයෙන් පස්සෙ ආරාධනා ලැබුණෙ නැද්ද?

ආරාධනා ලැබුණ. නමුත් මගේ සූදානමක් තිබුණෙ නැහැ රඟපාන්න. මොකද මගේ අරමුණ තිබුණෙ දරුවෙක් ඕනෑ කියන තැන. සුදුසු කාලෙට සුදුසු දේ ලැබෙනව.

සැමියාගේ ලැබෙන සහයෝගය?

ඇත්තටම ඔහුගෙ සහයෝගය නැතිනම් මේ දේවල් කරන්න බැහැනෙ. බබාලගෙ වැඩ” ගෙදර වැඩ මේ හැමදේටම ඔහුගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනව. මගේ අම්මත් මගේ ළඟින්ම ඉන්නව. පවුලෙන් ලැබෙන ඒ සහයෝගය තමයි මාව ඉදිරියට අරගෙන යන්නෙ.

ඔබේ අක්කා” වත්සලාගෙන් ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?

අක්කා බොහොම සතුටින් සුබපැතුවා. ඒ වගේම ඇය සතුටුයි මම නැවතත් ක්‍ෂේත්‍රයට ආපු එක ගැන. මටත් දැනෙන්නෙ මම අලුතින් ක්‍ෂේත්‍රයට ආව වගේ හැඟීමක්.

ඔබේ කැමැත්ත මොන වගේ චරිතවලටද?

විශේෂ චරිතයක් කියල නැහැ. එකම රාමුවකට කොටු නොවී විවිධ වූ චරිත ලැබෙනව නම් කැමතියි.

සිනමාවට ආරාධනා ලැබුණොත්?

මම සිනමා නිර්මාණ තුනකට සහභාගී වෙලා තියෙනව. ඒ වගේම තව එකක් තිරගතවීමට නියමිතව තියෙනව. තව අලුත් නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මගේ සීමාව තුළ ඒ ගැන සළකා බලනව.

ඔබේ නිහඬ බව ගැන ප්‍රේක්‍ෂකයන් හෙව්වාද?

අම්මෝ ඔව්. ඒක තමයි රංගන ශිල්පිණියක් විදිහට මම ලබපු ලොකුම වටිනාකම. ඒ ප්‍රේක්‍ෂක ආදරය ගොඩක් වටිනව. රංගනයෙන් තාවකාලිකව වුණත් ඉවත්වීම ගැන මට වඩා දුක් වුණ ප්‍රේක්‍ෂකයන් හිටියා. ඔවුන් වෙනුවෙන් මට දැන් යමක් කරන්න පුළුවන් වෙයි කියල හිතනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment