සංඝමිත්තා බෝධි මළුව ඇමද සුවපත් වූ දෙමළ කාන්තාව

137

දේවානම් පියතිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ලංකාවට වැඩම කරන ලද්දේ ධර්මාශෝක අධිරාජයා ගේ ධර්ම දූත මෙහෙවර සම්පූර්ණ කිරීමටයි. මිහින්තලා පුදබිමේ දී සම්මුඛ වූ මෙම දූත පිරිස පිළිබඳව රජු සැබවින්ම කල්තියා දැන සිටින්නට ඇතැයි සිතේ. කාලාන්තරයක් තිස්සේ ශාක්‍ය රාජ වංශයත් සමග මෙරට රජවරුන්ට තිබූ අවිච්ඡින්න සම්බන්ධය මීට හේතුවයි. විඩූඩභ විසින් කරන ලද ශාක්‍ය සංහාරයෙන් අනතුරුව රාජ වංශිකයන් සෑහෙන පිරිසක් ලංකාවේ නැගෙනහිර පළාතට පැමිණියහ. ඒ ප්‍රදේශයෙන් හමු වූ ශිලා ලේඛන සහ පූජනීය ස්ථානවලින් හමුවන සාධක ඊට සාක්ෂි සපයයි. මෙරට සිටි රාජ වංශිකයන් සහ කාලිංග රජ පෙළපත් අතර ඇති වූ විවාහ සබඳතා පිළිබඳව ද යම් මූලාශ්‍ර දක්වන තොරතුරු මගින්ද අපට පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ රජ පෙළපත් අතර තිබූ බැඳීමයි. දෙවන පෑතිස් රජ දවස දී පිහිටුවූ බුද්ධ ශාසනයත් අනතුරුව සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩම වීමත් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් මෙරට රෝපණය කිරීමත් අහඹු සිදු වීම් ලෙසට සැළකිය නොහැකිය. අනාගතයේ දී බුද්ධ ශාසනය පිහිටන දිවයින සිංහල ද්වීපය වීම මෙයට ප්‍රධාන හේතුවයි.

බෝධි වංශයේ සඳහන් ආකාරයට ජයශ්‍රී මහා බෝධි ශාඛාව ලංකා ධරණී තලයේ රෝපණය වී පැතිරී යන්නේ මෙසේය. ‘දෙවන පෑතිස් රජ එක දවසින් දඹුලු තොටට ගොස් සන්හුන්වූ රළ ඇති සමුද්‍රයෙහි සුපිපි පස්වනක් පියුම් දැක පහවූ සමුද්‍ර ඝෝෂා ඇති ආකාශයෙහි දිව්‍ය තූර්ය නාදය අසා සියලු පංඤ්චාංගික තූර්ය නාදයෙන් පිරිවරන ලදුව දෙදුම්මල් පහන් ආදියෙන් පූජා කොරෙමින් ප්‍රීති වේගයෙන් කරවටක් පමණ සමුද්‍ර ජලයට බැස එම්බල කොල දශබල ධාරී වූ බුදුරජානන් වහන්සේ ගේ සිනිඳු වූ ඕජාවත් වූ රශ්මි ජාලිවන් විහිදවන්නා වූ මහබෝධින් වහන්සේ වැඩිසේක් වේදැයි ප්‍රසන්න සිත් ඇතිව මහා බෝධීන් වහන්සේ ඔසවා මුදුන් මස්තකයෙහි පිහිටුවා මිනිසත් බව ලැබීම සඵල යැයි සිතමින් බෝධි ගුප්ත කුමාරයන් ප්‍රධාන කොට ඇති සොලොස් ජාති සම්පන්න කුලයන් හා සමග හිසින් ගෙනවුත් සමුද්‍රයෙන් ගොඩ නැගී සමුද්‍ර තීරයෙහි සිත්කළු මණ්ඩපය ක වඩා සියලු ලංකාද්වීපයෙහි රාජ්‍ය යෙන් මහා බෝධීන් වහන්සේට පූජා කොට සොළොස් කුලයන්ගේ අතට රාජ්‍යය හැර තුමූ දොරටුපාල තනතුරෙහි සිට තුන් දවසක් මුළුල්ලෙහි අනේක ප්‍රකාර පූජා කරවූහ.’

දෙවන පෑතිස් රජු ඉන් ඉක්බිතිව නැගෙනහිර තිස්ස විහාරය පිහිටන්නා වූ තැනට බෝධීන් වහන්සේ වැඩම කොට අනතුරුව අනුරාධපුරයට මහත් හරසරින් වැඩම කළ බව වංශ කතාවල දක්වා තිබේ. අනුරාධපුර මහමෙව්නා උයනෙහි බෝධි රෝපණය කරවූ දිනයෙහි. අසූ රියනක් පමණ ඒ බෝධීන් වහන්සේ අහසට පැන නැගී ප්‍රාතිහාර්ය පෑ බව සඳහන්ය. ඉන් පසු එයින් හටගත් බෝ ඵල අටක් විය. ඒ අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ ලා අතරින් පළමු බෝධි අංකුරය දඹුලු තොටින් එන ගමනේදී බෝධිය පිහිටි තැන රෝපණය කළ බව බෝධි වංශය සඳහන් කරයි. අනෙක්වා තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමයෙහිද සෑගිරියහිද කසුන්ගිරියෙහිද ථූපාරාමයෙහිද ප්‍රථමික චෛත්‍ය ස්ථානයෙහිද කාජරගාමයෙහි සහ චන්දන ග්‍රාමයෙහිද පිහිටුවා ලූ බව දක්වා ඇත. මේ අතරින් ප්‍රථම අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ හඳුන්වනු ලබන්නේ සංඝමිත්තා බෝධිය යනුවෙනි.

සංඝමිත්තා බෝධි මළුව ඇමද සුවපත් වූ දෙමළ කාන්තාව

වර්තමාන දඹකොළ පටුන නොහොත් සම්බිලිතුරෙයි එකළ ප්‍රසිද්ධ වරායකි. මෙම ස්ථනයෙහි මුහුද යම් තාක් දුරකට යනතෙක් නොගැඹුරුය. නාවුක යාත්‍රා නැංගුරම් ලෑමට සුදුසුය. පැරණි යාත්‍රා මන්ඩපයක සලකුණු එහි ඇත. මෙම ස්ථානයෙහි තිබී පුරාවිද්‍යා අංශවලට ලැබුණු පුරාවස්තු කීපයක් ඇත. හිරිගල්වලින් තැනූ කොත් කැරැල්ලක් ඒ අතර වෙයි. අතීතයේ දී මේ අසළින් සිරිපතුල් ගලක් හමුව තිබේ. ඒ පැරණි වාලුකා විහාරයේ නටබුන්ය. නමුත් මෙම ස්ථානය අවට දැනට රෝපණය වී වැඩී තිබෙන්නේ පසුගිය ත්‍රස්තවාදී සමයෙන් පසුව නාවුක හමුදාව විසින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමකි. ඒ නිසා සැබෑ සංඝමිත්තා බෝධිය කුමක්දැයි මෑතක් වන තුරු පැණයක් නැඟී තිබුණි.

ත්‍රස්තවාදී යුද්ද සමයට ප්‍රථම යාපන අර්ධ ද්වීපය සමකාමී ප්‍රදේශයක් විය. ලන්දේසි සමයේ ගෙනවුත් පදිංචි කරන ලද මලබාර් දෙමළ ජනයාගෙන් මෙම ප්‍රදේශ නැවත ජනාවාසව තිබුණද අතීත පෞඩ සංස්කෘතික සළකුණු එහි දක්නට ලැබුණි. ලන්දේසි සමයේ දී ඔවුන්ගේ රෙපරමාදු දේවස්ථාන මේ ප්‍රදේශයේ පිහිටුවාලීම කළ අතර ඒවා සාදන ලද්දේ සැබවින්ම බෞද්ධ සිද්ධස්ථාන තිබූ තැන්වල බව පිලිප්පුස් බල්දෙයස් නම් ලන්දේසි පූජකයා විසින් දක්වා ඇත. නමුත් ඇතැම් ස්ථාන නිරුපද්‍රිතව ජනයා අතර හුදකලාව පිහිටියේය. දඹකොළ පටුනට කිලෝමීටර් දෙකක් පමණ දකුණෙන් චුලිපුරම් නම් ග්‍රාමයෙක් වෙයි. එහි සිංහල තේරුම චූලපුරයයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා පැමිණි සොළොස් කුලයන් අතර ලම්බකර්ණ වංශයට අයත් බෝධි ගුප්ත සුමිත්ත යන දෙකුමරුවන් අතුළු කුමරුවන් අට දෙනෙක් වූහ. ඒ පිරිස සමග විවාහ වූ කීරවැලි පරපුරද චන්ද්‍ර වංශික පරපුරුද චූල වංශයට අයත්ය. මේ චූල වංශික පරපුරුවලට වාස භූමි වූ ස්ථානයක් ලෙසින් චූලපුර හඳුන්වා දිය හැකිය.

අෂ්ඨ ඵල බොධි අංකුර දිවයිනේ නන් දෙස පිහිටුවා ලූ පසු මෙම චූලංශයට අයත් පරපුරු ඒ බෝධි ශාඛාවන් සමග පදිංචි කරවා තිබෙන බව පෙනේ. යාපන අර්ධද්වීපයේ වත්මන් මල්ලාකම් උතුරු පෙදෙසට අයත්ව පිහිටා තිබෙන චුලිපුරම් ගම්මානය මෙලෙස චූලවංශික පරපුරට දායාද කළ ගම්මානයක් විය. බෝධීන් වහන්සේ රෝපණය කරන ලද්දේ එහිය. බෝධිය රෝපණය කොට තැනූ විහාරස්ථානයත් එයට යාබද ජල පොකුණත් නිසා එහි විශේෂත්වයක් තිබේ. මෙම විහාරය ලන්දේසි සමයේදී විනාශයට පත්වන්නට ඇත. පසුව මෙම ස්ථානය අසල මඩමක් නොහොත් අම්බලමක් පැවති බවට සාධක හමුවෙයි. ඊට හේතුව මනා ජල පහසුවක් තිබීමත් කාරතිව් හරහා යාපනයේ නැගෙනහිර දෙසට ගමන් කිරීමේ මාවත් මේ හරහා පිහිටීම නිසාත්ය. 1940 දශකයෙන් පසුව පරාලෙයි යනුවෙන් වර්තමානයේ දක්වන මෙම පෙදෙස තුළ පිහිටි බෝධිය අසළ ඝනදෙවි කෝවිලක් ඉදිකර තිබේ. ඉන්පසු 1950 දශකයේ දී යටකී මඩම ආශ්‍රිතව මුරුගන් කෝවිලක් ස්ථාපිත කර වැඩිදියුණු කර තිබේ.

මෙම මුරුගන් කෝවිලේ සිටි බලගුරු සාමි නම් පූජකවරයා මේ මෑතකදී මියගිය අතර ඔහු හොඳින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා හැසිරවූ තැනැත්තෙකි. ඔහු මෙම ස්ථානය පිළිබඳ කියා ඇත්තේ මෙවැනි අදහසකි. ‘ඉස්සර දකුණේ අය නයිනතිවු යන්න කරත්ත වලින් එනවා. ඇවිත් ඉස්සරම මෙතැනට වඳිනවා. භාර වෙනවා. ඊට පස්සේ නයිනතිවු යනවා. ඔවුන් කීවේ සංඝමිත්ත බෝධිය කියලයි. මුරුගන් කෝවිල අතුගාලා පිරිසිදු කළ අම්මා කෙනෙක් ඉන්නවා. මේ අම්මාට පිළිකාවක් තිබෙනවා කියා දොස්තරලා කීවා. මේ අම්මා හැමදාම බෝධිය ළඟ අතුගාලා පහන් පත්තු කරනවා. පස්සේ ඒ පිළිකාව සනීප වුණා. ඒ වගේ හාස්කම් තිබෙනවා. යුද්දෙන් පස්සෙ දකුණේ අය එන්නේ නෑ. ඔවුන්ට එන්න කියන්න. මේතැන ඔවුන්ට වැදගත් තැනක්.’

යාපන අර්ධද්වීපයේ සැඟ වුණු ඓතිහාසික බෞද්ධ උරුමයේ වැදගත්ම තැනක් ලෙසට දෙමළ ජනතාව විසින්ද සළකන මේ ඓතිහාසික බෝධිය 2022 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්මාරකයක් ලෙසට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සිද්ධිය ආරංචි වූ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ධරන් එයට විරෝධය පළ කොට ජනපතිවරයාට කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වී තිබේ. ලන්දේසි සමයේ පැමිණ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අතර පදිංචි වුවද බෞද්ධයාගේ වන්දනා මානය ගැන උපේක්ෂා සහගතව සිතන සාමාන්‍ය දෙමළ ජනතාවට වඩා මේ දේශපාලනඥයන් බලන්නේ වෙනත් කෝණයකි. ඔවුහු තමන්ට නැති උරුමයක් මවා පාමින් දෙමළ තරුණයන් අවුස්සා ත්‍රස්තවාදයට පොළඹවති. එසේත් නැති නම් ජාත්‍යන්තරයට ගතු කියති. ශිවසේනා නාග සේනා වැනි ඉන්දීය බළල් අත් බවට පත් වී සංහිඳියාව නැති කරති. වෙසක් පොසොන් සමයේ යාපනයේ ජනතාව බලා සිටින්නේ අතීතයේ මෙන් යළිත් දන්සැල් විවෘත වන තුරුය, වන්දනා නඩ පැමිණෙන තුරුය. ඒ ඔවුන් අත තිබෙන යමක් විකුණා යමක් හරි හම්බ කර ගැනීමටය. දෙමළ ජාතිවාදී අන්තවාදී දේශපාලඥයන්ට මේ සංස්කෘතිය වහකදුරුය. තමන්ගේම ජනතාව කුල හීනයන් ලෙසට සළකා පිළිකෙව් කරන ඔවුහු මානව හිමිකම් ගැන පැමිණිලි කිරීමට ජිනීවා යති.

අපට සංඝමිත්තා බෝධිය වැදගත් වන්නේ බුදුදහම මෙරටට පැමිණි පසු ඇති වූ වැදගත්ම සිද්ධිය වන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමෙන් ඇතිවූ ප්‍රබෝධය ට හේතු වූ බැවිනි. ඒ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ අතරින් අග්‍ර ඵලය රෝපණය කළ ඒ ශුද්ධ භූමිය තවමත් බෞද්ධයන් වෙනුවෙන් විවෘතව තිබේ. දෙමළ ජනතාව සමග ඒ මිතුදම අලුත් කරගන්නට මේ බෝධීන් වහන්සේ උපස්ථම්බක වේනම් එය කෙතරම් වාසනාවක්ද.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment