ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වය මෙන්ම මගේ ස්වාධීනත්වයත් වටිනවා – ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති කියයි

145

ක්‍රීඩා සංගම්වල ස්වාධීන අයිතිය පිළිබඳව තමන් අගය කරනවා සේම කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තමන්ටත් ඒ ස්වාධීනත්වය හිමිවිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (02 වැනිදා) පැවසීය.

“ඒ” හා “බී” ශ්‍රේණියේ ක්‍රීඩා සංගම් නිලධාරීන් ඊයේ (02 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවමින් ඇමැතිවරයා ඒ බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු අදාළ ක්‍රීඩා සංගම්වල සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු දරන විධායක නිලධාරීහු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පවසා සිටියේය.

“ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් ලෙස ඔබට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අයිතියට මම ගරු කරනවා. කැබිනට් ඇමැතිවරයෙකු විදිහට මටත් ස්වාධීනව වැඩ කරන්න තිබෙන්න ඕන. මම මගේ තනතුරේ ස්වාධීනත්වය අගය කරනවා සේම ඔබේ තනතුරේ ස්වාධීනත්වයත් මම අගය කරනවා. හැබැයි මගේ අතින් වැරැද්දක් වෙනවනං ජනාධිපතිට ඒ ගැන හොයල බලලා මාව අයින් කරන්න වුණත් අයිතිය තිබෙනවා.

ඒ නිසා බහුතරයකගේ සුබසිද්ධිය උදෙසා තීන්දු ගැනීමට තිබෙන අයිතියට අභියෝග කරනවාට වඩා හොඳයි ඔබ ඔබගේ කාර්යය නිසි ලෙස ඉටු කිරීම.

දැන් රගර් සම්මේලනය ගත්තොත් එක පුද්ගලයෙක් රකින්න ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත් වෙලා තියෙනවා. ක්‍රීඩා පනතත් ඉක්මවා යමින් ඔවුන් කටයුතු කරලා තියෙනවා. ජාත්‍යන්තර රග්බි සම්මේලනයත් කියන්නේ ඉල්ලියාස් සභාපති ඉවත් විය යුතු බවයි. මම ඉන්නෙත් ඒ මතයේ තමයි. ඒ වගේම සෑම ක්‍රීඩා සංගමයක් ම තමන්ගේ ගිණුම් වාර්තා නිසි ලෙස නියමිත දිනයට පෙර අනුමත කර තිබිය යුතුයි. එසේ ගිණුම් වාර්තා අනුමත නොකරන ක්‍රීඩා සංගම් මෙන්ම නමට පමණක් තිබෙන ක්‍රීඩා සංගම් පිළිබඳව ද අපි දැඩිව අවධානය යොමු කර තිබෙනවා. යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment