මහ බැංකු වැටුප් වැඩි කිරීම යළි සලකා බලයි

69

මීට පෙර සිදුකළ මහ බැංකු වැටුප් සංශෝධනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් යළි සලකා බැලීමට තීරණය කර ඇතැයි මහ බැංකුව පවසයි.

මෙම වැටුප් සංශෝධනය මහජනයා අතර වඩාත් කතාබහට ලක්වූ බවත් එම තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ මහ බැංකු සේවකයන්ගේ බහුතරයක් සිය වැටුප් සංශෝධනය මෙසේ යළි සලකා බැලීමට සාමුහික තීරණයකට එළැඹුණ බවත් එම තීරණය 2024 මාර්තු 16 දින රාජ්‍ය මුදල් කාරක සභාව වෙත දැන්වූ බවත් මහ බැංකුව පවසයි.

මේ තීරණය රාජ්‍ය මුදල් කාරක සභාවට දැනුම් දුන්නේ, එම කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් ස්වාධීන නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ අතර රාජ්‍ය මුදල් කාරක සභාව විසින් මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ නැංවීම සඳහා ඇති මෙම සාමුහික ගිවිසුම්, ස්වාධීන කමිටුවක් සමාලෝචනය කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර එයට මහ බැංකුවේ සියලුම සේවක කාණ්ඩ ඇතුළත් වේ.

මහ බැංකුවේ පාලක මණ්ඩලය සහ මහ බැංකු වෘත්තීය සමිති නියෝජිතයන් අතර පවතින සාමුහික ගිවිසුමට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 – 2026 කාලසීමාව සඳහා මෑතදී මෙම වැටුප් සංශෝධනය සිදුකරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව පළපුරුදු වෘත්තීයමය කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇති අතර එහි පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාකිරීම සඳහා දැනට සේවය කරන පළපුරුදු කාර්ය මණ්ඩලය මහ බැංකුව තුළ රඳවා ගැනීමේ අරමුණින් මෑතදී මෙම වැටුප් සංශෝධනය සිදු කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment