කැනඩාවේදී 6ක් මැරූ ශ්‍රී ලාංකිකයා 28 දා තෙක් රිමාන්ඩ්

118

ඉකුත් මාර්තු 06 වැනිදා කැනඩාවේ ඔටාවා අගනුවර පිහිටි නිවසක දී පිහි ඇනුම් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකීය පවුලක සාමාජිකයන් හයදෙනකු මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකීය සිසුවකු වන ෆෙබි්‍රයෝ ඩි සොයිසා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව කැනේඩියානු මාධ්‍ය පවසයි.

ඝාතන චෝදනා එල්ලවී ඇති ෆෙබි්‍රයෝ පෙරේදා (14 දා) ඔටාවා නගරයේ අධිකරණයක් හමුවේ පෙනී සිට ඇති අතර ඔහුගේ නම හා උපන්දිනය විමසීමෙන් පසු ඔහු මෙම 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර, ෆෙබි්‍රයෝ ඩි සොයිසාගේ මානසික තත්ත්වය පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීම සඳහා තවත් මාස කිහිපයක් ගත වනු ඇතැයි අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇති ඔහුගේ නීතිවේදියා වන එවන් ලයිට්ල් ෆෙබි්‍රයෝගේ මානසික තත්ත්වය ගැන යමක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔටාවා නගරයේ පොලිසිය ද ශ්‍රී ලාංකීය පවුලක සාමාජිකයන් හය දෙනකු ඝාතනය කිරීමට බලපා ඇති හේතුව මෙතෙක් ප්‍රසිද්ධියේ හෙළි කර නොමැත. සැකකාර ෆෙබි්‍රයෝ ඩි සොයිසාගේ නීතිවේදියා වන ලයිට්ල් පවසා ඇත්තේ සිය සේවාදායකයාව තමන් මුහුණට මුහුණ ලා මෙන්ම වීඩියෝ මාර්ගයෙන් මුණගැසී කථාබස් කළ බවයි. ඔහුගේ දෙමව්පියන් ද මෙම ඝාතන සිද්ධිය නිසා කම්පනයට පත්ව සිටින බව පවසා ඇති ලයිට්ල් ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින බව පමණක් ප්‍රකාශ කර තිබේ.

ඝාතනයට ලක් වූ ඔටාවා නගරයේ බාර්හේවන්ග්‍රාමයේ පංදිචිව සිටි ශ්‍රී ලාංකීය පවුලේ සාමාජිකයන්ගේ අවසන් කටයුතු මෙම සති අන්තයේ සිදු කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඝාතනයට ලක්වූ පවුලේ මියගිය දරුවන්ගේ පියා පිහි ඇනුම් ප්‍රහාරයේ තුවාලවලින් සුවය ලබමින් සිටින බවත් ඔහුට සහය වීම සඳහා ඔහුගේ පියා හා සහෝදරයකු මේ වන විට ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට ගොස් ඇති බවත් වාර්තා වේ.

පිහි ඇනුම් ප්‍රහාරයෙන් මියගිය පිරිස 35 හැවිරිදි දර්ශනී ඩිලන්තිකා ඒකනායක හා ඇයගේ දරුවන් වන 07 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්වින් වික්‍රමසිංහ, 02 හැවිරිදි රින්‍යානා වික්‍රමසිංහ හා මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ හා 40 හැවිරිදි පවුලේ හිතවතෙකු වූ අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණි අමරකෝන් වශයෙන් හඳුනාගෙන තිබේ. මෙම පිහි ඇනුම් ප්‍රහාරයෙන් තුවාල ලැබ රෝහල්ගතව සිටිනුයේ ධනුෂ්ක වික්‍රමසිංහ නමැති අයෙකි. ඉකුත් සතියේ බදාදා රාත්‍රි 10.52 ට පමණ ඔටාවා පොලිසියට ලැබුණු හදිසි ඇමතුමකට අනුව සමූල ඝාතනය සිදු වූ නිවසට පොලිස් කණ්ඩායමක් ගොස් ඇති අතර සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකීය සිසුවා නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනයන්ට මුල් වූ හේතුව අනාවරණය වී නැත. ඝාතනයට ලක්වූ පවුලේ සාමාජිකයන් කැනඩාවට පැමිණ ඇත්තේ මෑතකදී බව පොලිසිය පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment