ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කොට ප්‍රධාන සමාගම් 12ක් හෝ ඊට වඩා සමාගම් ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට නියමිතය. ඊට අදාළ ගැසට් පත්‍රයද නිකුත් කර ඇත. ලංවිම වෘත්තීය සමිති මේ පිළිබඳ තීරණාත්මක සටන් පාඨ තෝරමින් සිටිති. විදුලි ගාස්තුවලින් හා බඩු මිලෙන් බැටකා ඉහ මොළ රත්ව සිටින ජනතාව පඹගාලක පැටලී සිටිති. තුන්වේල කන්නට නොහැකිව ලතවන මේ රටේ ජනතාව ශාප කරන්නේ පාලකයන්ටය. යකඩ හිත් ඇති පාලකයන්ට ජනතා දුක දැනෙන්නේ නැත. විදුලි සැර, බඩු මිල හමුවේ මණ්ඩලයේ කෙරුවාවෙන් අල්ප මාත්‍රයක් පිළිබඳ ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජේ. යූ. නිශාන්ත මහතා සමග කළ සාකච්ඡාවකින් සැකසූ ලිපියකි මේ.

මේ රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් ගණන ලක්‍ෂ හැත්තෑ එකකි. මෙම වසරේ විදුලි ගාස්තු තුන්වරක්ම සංශෝධනය කළ පසු මාසෙන් මාසෙට ලැබෙන විදුලි බිල්පත දකින පාරිභෝගිකයන්ට තරු පෙනෙන්නට පටන්ගෙන ඇත. විදුලිබල මණ්ඩලයේ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරය මේ වනවිට සත පහක්වත් ලබා නොදෙන නිසා මණ්ඩලයේ සියලු කටයුතු කරගන්නට සිදුව ඇත්තේ ඒ ආයතනයේම ආදායම් වලිනි.

එනිසාම රටපුරා විසිර සිටින ප්‍රාදේශීය ඉංජිනේරුවන් හැත්තෑදෙනා මාසයක් විදුලිබිල නොගෙවා පැහැර හැර සිටින පාරිභෝගිකයින්ට රතු බිල්පත් නිකුත් කරන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ හැත්තෑ එකෙන් ලක්‍ෂ පනහකට ආසන්න පිරිසකට රතුබිල ලැබෙන්නට පටන්ගෙන ඇතැයි ලංවිම ඉංජිනේරුවෝම හෙළිකර සිටිති.

ශී ලංකා විදුලි ඉල්ලුම සෑම වසරකදීම සියයට පහකින් ඉහළ යෑම සාමාන්‍යයකි. නමුත් 2021 වසරේ රටේ විදුලි ඉල්ලුම ඒකක මිලියන 16,715 කි. 2022 වන විට ඒ ඉල්ලුම විදුලි ඒකක මිලියන 15,942 දක්වා විදුලි ඒකක මිලියන 773 කින් පහළ වැටී ඇත. ඒ කියන්නේ විදුලි ඉල්ලුම සියයට පහකින් ඉහළ යෑම නැවතී විදුලි ඉල්ලුම වසරක් තුළ සියයට 4.63 කින් පමණ පහළ යෑමය. හේතුව විදුලි ගාස්තු දරාගත නොහැකි පාරිභෝගිකයන් විදුලි පාවිච්චිය අති විශාල ලෙස අඩුකරගෙන තිබීමය.

2023 දී ආර්ථිකය සියයට 3.1 කින් හැකිලී ඇත. කර්මාන්ත කඩා වැටීමේ ප්‍රතිශතය සියයට 11.5 කි. මේ අතර ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ වාර්තාවකට අනුව 2022 ඔක්තෝබර් සිට 2023 ඔක්තෝබර් දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 898 දක්වා පහළ වැටී ඇත. එය අපනයන ආදායම සියයට 14.6 කින් කඩා වැටීමකි. විදුලි ගාස්තු ඉහළ යෑම නිසා ඇඟලුම් කම්හල් ඇතුළු අනෙකුත් කර්මාන්ත වැසී යෑම රහසක් නොවේ. ආසියා රටවල් අතර වැඩිම විදුලි බිලක් ගෙවන්නේ ශ්‍රී ලංකාවේ අපිය. අපට උඩින් සිටින්නේ වියට්නාමය පමණකි. මෙම වසරේදී විදුලි ගාස්තු තුන් වතාවක්ම සංශෝධනය කළේ විදුලිබල පනතද උල්ලංඝනය කරමිනි. ඒ අනුව 2022 වසරේ අගෝස්තු 10 වැනිදා සිට 2023 වසරේ ඔක්තෝබර් 20 වැනිදා අතර කාලයේ විදුලි ගාස්තු සිව් වතාවක්ම සංශෝධනය කළේ ජනතාව පිළිබඳ කිසිදු අනුකම්පාවක් නොදක්වමිනි. ඒ අනුව 2022 අගෝස්තු 10 වැනිදා විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීය. 2023 වසරේ පෙබරවාරි 15 වැනිදා විදුලි ගාස්තු වැඩිකළේ සියයට 66.2 කිනි. 2023 වසරේ පෙබරවාරි 05 වැනිදා සියයට 14.12 කින් විදුලි ගාස්තු පහළ දමා 2023 ඔක්තෝබර් 20 වැනිදා සියයට 18 කින් යළි විදුලි ගාස්තු වැඩි කළේය. ඒ අනුව 2022 අගෝස්තු 10 සිට 2023 ඔක්තෝබර් 20 අතර කාලයේදී ලංවිම විදුලි ගාස්තු සියයට 157 කින් ඉහළ දමා ඇත. මේ රටේ වැඩකරන ජනතාවගේ වැටුප් සත පහකින්වත් ඉහළ නොදමා සිටි කාලයේ විදුලි ගාස්තු එකසියපනස්හතක ප්‍රතිශතයකින් වැඩිවන අතර ඉන්ධන මිල, බස් ගාස්තු, හාල්, සීනි, පරිප්පු ආදී සියලුම ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් සෑම භාණ්ඩයකම මිල ගණන් ඉහළ යද්දී මිනිසුන් මෙහෙම ජීවත්වන එක පිළිබඳ පුදුම විය යුතුය. මැති ඇමැතිවරුන්ට හා මේ රටේ ධනපති පන්තියට කෙසේ වෙතත් සාමාන්‍ය පොදු ජනතාවට නම් මේ තත්ත්වය දරාගත නොහැකිව ඇත. අප කනහැටි ළිපා දනී කීවා සේ අද බොහෝ පවුල්වල උදවිය එක්කෝ උදේට කන්නේ නැත. එක්කෝ දවල් ආහාරය මගහරති. රෑට කන කෑමද අතහැර සිටිති. වේලක් හැර වේලක් කා බඩවියත රැකගන්නා ඇතැමුන් කනවා නොව ලෙවකා බඩ වියත රැකගන්නා බව කීම අතිශයෝක්තියක් නොවනු ඇත.

කෑලි කැඩී බිඳී වැටෙන විදුලිබල මණ්ඩලය

රටේ විදුලිය හා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සමස්ත ආර්ථිකයටම කරන බලපෑම සුළුපටු නැත. අද වන විට කොළඹ හෝ නගරයේ රැකියාවකට ගොස් එන අයට මාසේ අන්තිමට අත ඉතිරිවන වැටුපක් නැති තරම්ය. පාසල් යන දරුවන් මහ පාරේ පොදු බස් රථයේ පාසල් යැව්වත් ඒ සඳහාද අති විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත. පාසල් අධ්‍යාපනය බිමට සමතලා කර ඇති කලක ටියුෂන් ගුරුවරු ගජරාමෙට මුදල් අයකර ගනිමින් දෙමාපියන්ගේ රීරි මාංශයම උරාබොන බවද ඇත්තකි.

මේ රටේ විදුලිය හා ඉන්ධන මිල ගණන් අඩු කළ යුත්තේ එහෙයිනි. නමුත් විදුලිබල මාෆියාව විසින් අඩු වියදම් බලාගාර ඉදිකිරීමට ඉඩ නොදීමේ විපාක සමස්ත ජනතාවගේ කරමත පතිතව ඇත.

මැදපෙරදිග තෙල් තිබෙන රටවල වුවත් ඩීසල් පුච්චා විදුලිය නිපදවන්නේ ස්වල්ප වශයෙනි. ඩීසල් ලීටරයක් පුච්චා නිපදවා ගත හැක්කේ විදුලි ඒකක (යුනිට්) හතරක් පමණකි. ඒ කියන්නේ ඩීසල් මගින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් සියයක් පමණ වැය කිරීමට සිදුවන බවය. මැදපෙරදිග රටවල් ගත් කල ඔවුනගේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් ඉන්ධන මගින් විදුලිය නිපදවා ගැනීම සියයට දෙකකටත් වඩා අඩුබව කිව යුතුය.

අපේ රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට හැටක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් නිපදවන බව පුරසාරම් ඇසෙන්නේ කලක සිටය. නමුත් මෙගාවොට් 1500 ක් පුනර්ජනනීය (සූර්ය, සුළං, කුඩා ජල බලාගාර) ව්‍යාපෘති පන්සියයක් පමණ විදුලිබල මණ්ඩලය සිරකරගෙන සිටිති. මෙම පුනර්ජනනීය ව්‍යාපෘති යෝජනා පන්සියයක් පමණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ලබාදී තිබුණත් ජාතික විදුලි පද්ධතියේ ඒ ව්‍යාපෘතිවලින් විදුලිය ගැනීමට ඉඩ නැතැයි කියමින් හමස් පෙට්ටියට දමා ඇත. මේ සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අයදුම්පත් සමග අයකරගෙන ඇති මුදල රුපියල් කෝටි තිහකට වැඩිය.

කෑලි කැඩී බිඳී වැටෙන විදුලිබල මණ්ඩලය

2011 වසරේදී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය (මෙගාවොට් 900) ඉදිනොකළේ නම් විදුලිය ගැන කියන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී එය ඉදිකරන්නට ගත්තේ බාධක පිට බාධක තිබෙන මොහොතකය. එම බලාගාරයේ සිව්වැනි අදියර (මෙගාවොට් 300) ක්‍රියාත්මක කරන්නට සියලු කටයුතු යොදා තිබියදී යහපාලනය එය නතරකර දැමුයේ අමනෝඥ ලෙසිනි. එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට ඉඩනොදී ඇඹිලිපිටිය, ගාල්ල, මාතර පිහිටි එස් පවර් නමැති පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්නට ලංවිම වලිකන්නේ එම ගනුදෙනුවෙන් ඇතැමුන්ට අතයට මුදල් ලැබෙන බැවිනි. මෙහි අතිශය වැදගත්ම දෙය වන්නේ අදාළ පුද්ගලික බලාගාරය සමග ඉකුත් මාස කිහිපයට පෙර ගිවිසුම් ගසා තිබුණත් ජලාශ පිරී ඉතිරී යන්නට වූ පසු ඒවායින් එකඟ වූ තරම් විදුලියක් මිලදී නොගැනීමය. නමුත් ගිවිසුමට ප්‍රකාරව ඉන් විදුලිය ගත්තත් නොගත්තත් මුදල් ගෙවීමට සිදුවී තිබීමය.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සුදුසුකම් සපුරා සිටින අධිකාරිවරු දෙසීයකට පමණ නිසි තැන නොදෙමින් කටයුතු කරගෙන යන බවද කිව යුතුය. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය 2011 වසරේදී ඉදිකළ පසු වසර දොළහක් ගතවී ඇත. නමුත් චීන ඉංජිනේරුවන් ඇතුළු චීන කාර්යමණ්ඩල වෙත මාස හයක කාලයකට ඩොලර් මිලියන තුනක වැටුප් හා දීමනා ගෙවමින් සිටිති. බලාගාරය ඉදිකර වසර දොළහක් ගතවී තිබුණත් දේශීය ඉංජිනේරුවන් යොදවා එම බලාගාරයේ කටයුතු කරගෙන යෑමට නොහැකිවී තිබීම පිළිබඳව ලංවිම පාලනාධිකාරිය ලැජ්ජාවට පත්විය යුතුය. ලංවිම පරිපාලන දුර්වලතා නිසා චීන ඉංජිනේරුවන් පෝෂණය කිරීමට මෙරට විදුලි පාරිභෝගිකයන්ට සිදුව ඇත.

මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීමත්, වර්ෂාපතනය වැඩිවී ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමත් නිසා මෙම වසර අවසානයේ ලංවිම රුපියල් බිලියන 40ක මෙහෙයුම් ලාභයක් ලබන බවට පුරෝකතනය කර ඇත. නමුත් පොදු මජහනතාවට සෙතක් නැත. මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරනය කරන බව කියමින් විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණ, බෙදාහැරීම, අලෙවිය සඳහා සමාගම් දහයකට වඩා කොටස් ප්‍රමාණයක් සැකසීමට අදාළ ගැසට් පත්‍රයද නිකුත් කර ඇත.

මේ දිනවල ලංවිම උසස්වීම් මාරු කිරීම් ආදියද නතර කර ඇත. මේ නිසා යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවන් ඇතුළු අධිකාරිවරු දෙසීයකට පමණ උසස්වීම් ආදියද අහිමි වී ඇත. එපමණක් නොව ලංවිමේ සිටින 22,000 ක් පමණ වන සියලු සේවකයන්ට සිදුවී තිබෙන අගතිය සුළුපටු නැත. ලංවිම කොටස්කර සමාගම් ස්ථාපිත කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ වෘත්තීය සමිති අතර බරපතළ කතිකාවක්ද නිර්මාණය වී ඇත. එම ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර නීතිමය උපදෙස් ලබාගෙන ඉදිරියේදී ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

නිසි කලට අඩු වියදම් බලාගාර ඉදිනොකර ලංවිම විනාශ කළේ කවුරුන්ද. ලංවිම සංචිත පාඩුව රුපියල් කෝටි 15,000 කි. ඒ මුදල් මේ ආකාරයට විනාශ වී යෑමට දෙන විසඳුම් ලංවිම ඈවර කර මෙය මුදලාලිලා අතට පත් කිරීමද? ඒ වැඩපිළිවෙළ හරහා විදුලි ගාස්තු පහළ යන්නේ නැත. පුද්ගලික සමාගම් ස්ථාපිත කරන්නේ සමාගම් පනත යටතේය. සමාගම් යනු ලාබ අපේක්‍ෂාවෙන් කටයුතු කරන ආයතනයන්ය. රජයේ පාලනය යටතේ තිබූ ලංවිම රුපියල් කෝටි 15,000ක් කා විනාශ කළ පසු එකම විසඳුම විකිණීම නම්, විකිණීමෙන් පසු විදුලි පාරිභෝගිකයන්ට සිදුවනු ඇත්තේ සමාගම්වල පදේට නටනවා හැර වෙන කුමක්දැයි සිතාගත නොහැකි දෙයකි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment