කොටි බල සුණු විසුණු කළ ආනන්දපුරම් සටන සිහිකිරීම

317

මීට වසර දහහතරකට පෙර එනම් 2009 අප්‍රේල් මුල් සතියේදී ඇතිවූ ගැටුමකින් කොටි සංවිධානය ලැබූ පරාජය ඔවුනගේ 33 වසරක ඉතිහාසයේ කිසි දිනක අත්විඳ නැත. සැබැවින්ම කොටි නැවත නොනැඟිටින ලෙස පරාජය වුණේ ප්‍රකට ‘ආනන්දපුරම්’ සටනේදීය. එය නූතන විජිතපුර සටන ලෙස දැක්විය හැකිය. ප්‍රභාකරන්ගේ මරණයට සති හයකට කලින් මේ දරුණු සටන ඇවිලී ගොස් කොටි සාමාජිකයන් 625 ක් මරණයට පත්වූ අතර ඔවුනගේ සිරුරුද හමුදාව අතට පත්විය. ආනන්දපුරම් පිහිටා ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මේ සටනේදී එල්ටීටීඊය ලැබූ ප්‍රමුඛතම පරාජය වූයේ කර්නල් තීපන්ගේ මරණයයි. වසර 25 ක් තිස්සේ එල්ටීටීඊය වෙනුවෙන් සටන් වැදුණු දක්ෂ යුද නායකයකු වූ හෙතෙම කන්දයියා බාලසේගරන් නොහොත් බාල්රාජ්ට පසුව එල්ටීටීඊය බිහි කළ හොඳම යුද නායකයායි. හමුදාවට එරෙහිව පස් බැමි තැනීමේ මූලිකයා වූයේ ඔහුය. රණමග ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථයේදී දින තුනක් තිස්සේ පැවැති පුදුකුඩිඉරිප්පු අවසාන සටන පිළිබඳ සටහනක් තබන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරන්නේ කරුණාගෙන් පසුව එල්ටීටීඊයේ බිහිවූ දක්ෂතම සටන්කරුවා වන්නේ තීපන් බවයි. තීපන් ඝාතනය වන්නේ ගුවන් සංක්‍රමණික බළකායට අයත් 6 වැනි ගජබා බලඇණියේ සෙබළුන් විසින් එල්ල කළ ප්‍රහාරයකිනි. කොටි සන්නිවේදන ජාලය විසින් තීපන්ට ලබාදී තිබූ සංකේත නාමය වූයේ ‘ටොන්ගො පාපා’ යන්නය. තීපන් හිටපු කොටි සාමාජිකාවක් හා විවාහ වී සිටි අතර ඔවුනට දරුවෝ නොවීය. තීපන් සමග මාලනී බළකායේ ප්‍රධානී විදුෂා, ඇගේ දෙවැනියා වූ කමලිනි ද සොතියා රෙජිමේන්තුවේ ප්‍රධානී දුර්ගා හා දෙවැනියා වූ මෝහනාද මරණයට පත්විය. ආනන්දපුරම් සටනේදී නැගෙනහිර සටන්කරුවන්ගෙන් සැදුම්ලත් දක්ෂ සේනාංකයක් වූ ජෙයන්තන් බළකායේ ප්‍රධානී කීර්ති හා නාගේෂ් ද මිය පරලොව ගොස් තිබිණි.

කලක් ප්‍රභාකරන්ගේ ශරීරාරක්ෂකයකු ලෙස කටයුතු කළ පසුව ඉම්රාන් පාන්ඩියන් බළකායේ ප්‍රධානියා වූ ගඩාෆි ද මේ සටනේදී මරුමුවට පත්විය. ඔහු කොටි සංවිධානයේ ආර්.ජී.පී. බළකායේද ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අයෙකි. ඉන්දීය රජය මගින් කොටි සාමාජිකයන් දස දෙනකුට ගුවන් නාශක අවි මෙහෙයවීම සඳහා පුහුණුවක් ලබාදුන් අතර ගඩාෆිද ඒ කණ්ඩායමට අයත් විය. කොටි සංවිධානය සෑම්-7 ගුවන් නාශක මිසයිල ලබාගත් පසු ගඩාෆි එම අවි උපයෝගී කරගෙන ගුවන් හමුදාවට අයත් යානා කිහිපයක්ම බිඳ දැමීය. මෙහිදී එල්ටීටීඊ විශේෂ බළකාය එනම් රාධා බළකායේ ප්‍රධානී සිලම්බරාසන් ද මරු දැකීය. චාල්ස් ඇන්තනී බළකායේ ප්‍රධානීන් වූ හොජිත් හා අමුතාබ් ඝාතනය වූයේ 2009 මාර්තු 31 රාත්‍රියේය. පනස්දහසකට අධික සෙබළ පිරිසක් වටකර පහර දෙද්දී කොටි නායකයන්ට කර කියාගත හැකි දෙයක් නොවීය. මේ සටන මෙහෙයවූයේ 58 වැනි සේනාංකයේ අධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා 53 වැනි සේනාංකයේ අධිපති වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන විශිෂ්ට හමුදා නායකයන් විසිනි. ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් ද ආනන්දපුරම්හි සිට ඇති නමුත් මේ සටන ඇවිළීමට පෙර මාර්තු 26 වැනිදා මොවුන් මේ ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබිණි.

ආනන්දපුරම්හි සිරවී සිටින කොටි නායකයන් බේරා ගැනීම සඳහා ලෝරන්ස්ගේ නායකත්වයෙන් 120 ක අතිරේක භට පිරිසක් මේ ප්‍රදේශයට පැමිණීමට උත්සාහ කළද මොවුන් ගමන් කළ බස් රථ දෙක හා ලොරිය හමුදා ප්‍රහාරවලින් අළු බවට පත්විණි. අප්‍රේල් 03 වැනිදා කොටි නායක භානු මේ ප්‍රදේශයෙන් එළියට ඒමට සමත් වුවද හෙතෙම තුවාල ලබා සිටියේය. භානු තමා සමග එන ලෙස තීපන්ට දැන් වුවද මේ කොටි යුද නායකයා එය ප්‍රතික්ෂේප කළේය. මම එන්නේ අපේ කොල්ලොත් එක්ක තමයි. එහෙම ආවේ නැත්නම් මම මෙතන උන් එක්කම මැරෙනවා යැයි තීපන් භානුට ප්‍රකාශ කර ඇත. මේ බව භානු විසින් පොට්ටු අම්මාන්ටද දැනුම් දී තිබිණි. තීපන් අප්‍රේල් 01 වැනිදා හා 02 වැනිදා ඇතිවූ සටන්වලින් තුවාල ලබා සිටියේය.

කොටි බල සුණු විසුණු කළ ආනන්දපුරම් සටන සිහිකිරීම

කොටි නායිකා විදුෂා පොට්ටු අම්මාන්ට කතා කරමින් අමතර භට පිරිස් ඉල්ලා ආයාචනා කරන අයුරු ද හමුදාව සිය ගුවන් විදුලි සන්නිවේදන උපකරණ හරහා ශ්‍රවණය කර තිබිණි. එහෙත් පොට්ටු අම්මාන්ට කළ හැකි දෙයක් නොවීය. කළ හැකි වූයේ බලාගෙන සිටීම පමණි. අප්‍රේල් 03 සහ 04 යන දිනවලදී සිරවී සිටි කොටි සාමාජිකයන්ට දරුණු ප්‍රහාර එල්ල විය. කොටි හිස මතටම ෂෙල් ප්‍රහාර පතිත වන්නට විය. අප්‍රේල් 5 වැනිදා වන විට ආනන්දපුරම් සටන අවසන්වී තිබුණු අතර හමුදාව මියගිය එල්ටීටීඊ සාමාජිකයන්ගේ සිරුරු එකතු කරන්නට විය. ආරක්ෂක අංශ මගින් සිරුරු හඳුනා ගැනීමෙන් පසු තීපන්ගේ හා විදුෂාගේ මළ සිරුරුවල ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තිබිණි. ආනන්දපුරම් සටන් අවසානයේදී මි.මී. 130 කාලතුවක්කු 03 ක් ඇතුළු ආයුධ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හමුදාවට හැකි විය. එල්ටීටීඊයට නැවත නොනැගිටින ලෙස දරුණු පරාජයක් අත්කර ගත්තේ ආනන්දපුරම්හිදීය. එය ලක් යුද ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවකි.

ප්‍රභාකරන්ගේ සිහින ඊළම දෙදරා ගියේ ආනන්දපුරම් පරාජයෙන් අනතුරුවය. මේ සටනේදී 1996 දී පුලූකුණාවෙන් පැහැරගත් මිලි මීටර් 85 ප්‍රහාරක අවියක්ද සොයා ගැනීමට හැකිවිය. ඇත්තෙන්ම ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, සුසෙයි ඇතුළු පිරිසක් මෙහි කොටුවී සිටියා නම් ඊළාම් යුද්ධය අවසන් වන්නේ 2009 අප්‍රේල් මුල සතියේදීය. එවිට සිදුවන ජීවිත හානිය තවදුරටත් අඩුකර ගැනීමට හැකි වන්නේය. නමුත් ප්‍රභාකරන්ගේ පණ තවත් සති හයකට දික්වී තිබිණි.

මේ සටනේදී මරුමුවට පත්වූ තීපන් බි්‍රගේඩියර් නිලයට උසස් කිරීමටත් ප්‍රභාකරන් පියවරගෙන තිබිණි. ඒවා දැන් ඉතිහාසයට එක්වී හමාරය. නන්දිකඩාල් කලපුවේ මැරි වැටී සිටි ප්‍රභාකරන්ගේ අළුද මුහුදට එක්කර වසර 14ක් ගතවී හමාරය. කවරක් නමුත් අප මේ යුද අතීතය කිසි විටෙක අමතක කළ යුතු නැත. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් දෙමළ නාසිවාදය පරාජය කළ සෙබළුන් සැමදා සැමරිය යුතුය. එමෙන්ම මේ සටනට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙන්ම මනාව යුද්ධය කළමනාකරණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිහි කළ යුතුය එදා නම් ගෝඨා ගෝ හෝම් කියන්නට පිරිසක් බිහිව සිටියේ නැත. ප්‍රභාකරන් පරලොව යැවීම නිසා කරන්නට සාමකාමී රටක් බිහිව තිබිණි. මේවා වෙනම කතා කළ යුතු කාරණාවන්ය. අරගලය නිසා සිදු වූයේ ස්ථාවර රට අස්ථාවර වීමයි. එය සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් විය.

කවරක් නමුත් 2006 වසරේ ජුලි 21 වැනිදා මාවිල්ආරු සටනින් ආරම්භ වූ හතරවැනි ඊළාම් සටන අවසන් වන්නේ ප්‍රභාකරන්ගේ මරණයෙනි. 2006 – 2007 – 2008 වසරවලදී සිලාවතුර – යෝධවැව – මන්නාරම – වාකරේ – කිලිනොච්චි – වවුනියාව – අම්පාර- ත්‍රිකුණාමලය – මඩකළපුව ප්‍රදේශවල මෙහෙයුම් කරමින් කොටි පරාජය කිරීමට අපේ යුද, නාවික, ගුවන් හමුදා කටයුතු කළහ. ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු අනුව 2006 – 2009 කාලයේ අපේ ත්‍රිවිධ හමුදාවේ විශාල දියුණුවක් ඇති විය. 2006 සිට 2009 දක්වා යුද හමුදාවට පමණක් අලුත් සෙබළුන් 121141 ක් බඳවාගෙන තිබේ. ඒ අනුව 2006 – 2007 අතර කාලයේ අලුත් බළඇණි 100 ක් පමණ බිහිකර ඇත. ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවූ යුද, ගුවන්, නාවික, සෙබළුන් මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සියලු සාමාජිකයන් මේ අවස්ථාවේ අභිමානයෙන් සිහිපත් කළ යුතුය. සමස්තයක් ලෙස වසර තිහක් පැවති යුද්ධයේ කුරිරු බව කියා පානුයේ ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් 29000 ක් පමණ මවුබිමේ ඒකීයභාවය රැකීම උදෙසා දිවි පුදා තිබීම ය. එමෙන්ම 2006 වසරේ සිට 2009 දක්වා යුද්ධයේදී දිවි පිදු සෙබළුන් ගණන 5900 කට ආසන්නය. ඒ කැපකිරීම අද සමහරුන්ට අමතක වීම සැබවින්ම කනගාටුදායකය. අපි අකෘතඥ ජාතියක් විය යුතු නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment