කෝලි බැංගලෝර් ජයග්‍රහණය කරා ගෙන යයි

146

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගය පෙරේදා (18 වැනිදා) රාත්‍රියේ පැවති අතර එහිදී හයිද්රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූයේය.

බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි පන්දු 63 කදී ලකුණු 100ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර එය කෝලි විසින් අයිපීඑල් තරගවලදී රැස් කරන ලද 6 වැනි ශතකය වූයේය.

ඒ සමගම අයිපීඑල් තරගවල වැඩිම ශතක ලාභියා ගේ වාර්තාවට ක්‍රිස් ගේල් සමග සම අයිතිවාසිකම් කීමට කෝලිට හැකි විය. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව මෙතෙක් සිව්වැනි ස්ථානයේ රැඳී සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට 5 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. බැංගලෝර් කණ්ඩායම තරග 13 කට ක්‍රීඩා කර තරග 7 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද තරග 13 කින් තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටී. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගෙන තිබේ. තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් ධරම්සාලා හී දී ඊයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment