ගාසා තීරයේ විශාලතම රෝහල සුසාන භූමියක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

563

ගාසා තීරයේ පවතින විශාලතම රෝහල වන ‘අල් ශිෆා’ රෝහල ආසන්නයේ ඊශ්‍රායල හමුදා හා හමාස් අන්තවාදීන් අතර හුවමාරු වන වෙඩි හා බෝම්බ ප්‍රහාරවලට මැදිව ඇති එම රෝහල මේ වන විට සුසාන භූමියක ස්වරූපයක් ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝහල ආසන්නයේ පවතින සටන් හේතුවෙන් රෝහල තුළ මෙන්ම පිටත මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩ ගැසීම හේතුවෙන් අල් ශිෆා රෝහල සුසාන භූමියක් වී ඇති බව සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

හමාස් සංවිධානයේ මෙහෙයුම් හා පාලන මධ්‍යස්ථානයක් අල් ශිෆා රෝහල යටතේ ක්‍රියාත්මක වන බව පවසමින් ඊශ්‍රායල හමුදා විසින් දිගින් දිගටම එම රෝහල ආසන්නයට පහර දෙමින් සිටින බව වාර්තා වී තිබේ. කෙසේ වුවද හමාස් සංවිධානයේ මෙහෙයුම් හා පාලන මධ්‍යස්ථානයක් අල් ශිෆා රෝහල යටතේ පවතින බවට එල්ල වී ඇති චෝදනා එම රෝහල් බලධාරීන් හා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊශ්‍රායල හමුදා හා හමාස් අන්තවාදීන් අතර හුවමාරු වන වෙඩි හා බෝම්බ ප්‍රහාරයන් රෝහලට ද එල්ල වීම හේතුවෙන් එහි විදුලිය සැපයුම සිමා වී ඇති බවත් ඒ හේතුවෙන් දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර අවශ්‍ය අලුත උපන් බිලිඳුන් තිස් ගණනක් හා ඩයලසිස් ප්‍රතිකාරය අවශ්‍ය වකුගඩු රෝගීන් 45 දෙනෙකුට නිසි ප්‍රතිකාර ලබා දීම අසීරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මේ අතර අල් ශිෆා රෝහල ආසන්නයේ පවතින සටන් හේතුවෙන් එම රෝහල ආරක්ෂා කරගත යුතු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති අතර ගාසා තීරයේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ඊශ්‍රායලය පියවර ගත යුතු බවත් හදිසි මානුෂීය ප්‍රවේශයක් ඇති කළ යුතු බවත් එංගලන්ත අගමැති රිෂි සුනක් අවධාරණය කර තිබේ. මේ අතර ගාසා තීරයේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානය යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ඊශ්‍රායල හමුදා හා හමාස් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ වැසියන් 11,000 කට අධික පිරිසක් මියගොස් ඇති අතර ඉන් 4500 කට අධික පිරිසක් ළමුන්ය.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment