ඡන්දයට ඉඩ නොදෙන ජනපතිට ආණ්ඩුවට සංඝ ආඥාවක් පනවන්න

199

ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලති

මැතිවරණය කල් දැමීම ඔස්සේ ජනමතය මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ ගන්නා බවත් එය පරාජය කිරීමට සංඝ ආඥාවක් නිකුත් කරන ලෙසත් ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

ජනපති ප්‍රමුඛ ආණ්ඩුව රාජ්‍ය බලය යොදමින් මැතිවරණය නොපවත්වා ජනමතය යටපත් කිරීමට උත්සාහ දරන බවත් එය පරාජය කිරීම සඳහා සියලු ජන කොටස් ඒකරාශී විය යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණේ වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

උදිත හිමි ප්‍රමුඛ ජාතික භික්ෂු පෙරමුණේ නියෝජිත භික්ෂූන් වහන්සේලා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් ද අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමියන් ද බැහැදැක සංදේශයක් භාර දෙමින් මේ බව ප්‍රකාශ කර සිටියහ.

ජනමතය නිසි ලෙස ප්‍රකාශ වීමට ඉඩ හැරියහොත් පාලන බලය තමන්ගෙන් ගිලිහී යන බව දන්නා පාලකයන් තවදුරටත් බලයේ රැඳී සිටීමට ජන ඝාතන පවා සිදුකිරීමට පසුබට නොවන බව උන්වහන්සේ පැවසූහ.

එබැවින් මෙම තත්ත්වය ඇතිවීමට ඉඩක් නොතැබීම පිණිස ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් සංඝ සභා රැස්කොට මේ සම්බන්ධයෙන් උන් වහන්සේලා දැනුවත් කොට කඩිනමින් තීන්දුවක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවද වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment