ජවිපෙ නායකත්වය ඉන්දියානු ආරාධනය ජාතික මැතිවරණයක් ඉදිරියේ පිළිගත්තේ ඇයි? බංකොලොත් ශ්‍රී ලංකාවේ තවදුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලන – ආර්ථික – සමාජීය අර්බුදය අතරේ ඉන්දියාව ජවිපෙ නායකත්වයට ඇරයුම් කළ යටි අරමුණ කුමක්ද? ඉන්දියානු මහා මැතිවරණය (ලොක් සභාවට මන්ත්‍රීවරුන් පත්කර ගැනීම) 2024 අප්‍රේල් – මැයි පැවැත්වීමට නියමිත බවද ශ්‍රී ලංකාවේ අවධානයට ලක් විය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක (AKD) ඉන්දියාවේ නිල ආරාධනාවකින් මෑතකදී කළ සංචාරය එම පක්ෂයෙන් ඉවත් වී පිහිටුවා ගනු ලැබූ ජාතික නිදහස් පෙරමුණ (ජානිපෙ) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි ලෙස විවේචනය කර ඇත. එහි කිසිදු වරදක් නැත.

නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමුවන (2005-2010) සහ දෙවන (2010-2014) ධුර කාලවලදී පිළිවෙළින් පිහිටුවූ ජානිපෙ සහ පෙරටුගාමී පක්ෂය, දේශපාලන අවස්ථාවාදීන් ඉතිහාසය වෙනස් කිරීමට දරන උත්සාහයන් ව්‍යාර්ථ කළ යුතුය. ජවිපෙට මෙන්ම එම පක්ෂ දෙකට ද ඉතිහාසය රැක ගැනීමේ දැඩි වගකීමක් ඇත. ඒ එම පක්ෂ දෙක නියෝජනය කරන්නේ ද පෙර ප්‍රබල ජවිපෙ ක්‍රියාකාරීන් නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දීය සංචාරය නිසා AKD ට එල්ලවන චෝදනා ගොන්නට ප්‍රති උත්තර බැඳීම ඔහුට භාර දී ජවිපෙ ඉතිහාසය රැක ගැනීමට එදා සහ අද එම පක්ෂය නියෝජනය කළ සියලු දෙනාටම පෙනී සිටිය හැක. අනුර කුමාර මන්ත්‍රීවරයා සමඟ ජවිපෙ ප්‍රබලයකු වූ මහාචාර්ය අනිල් ජයන්ත සහ ජනිපෙ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මෙම සංචාරයට එක්විය.

ජවිපෙ පාර්ලිමේන්තු ඉතිහාසයේ ස්වර්ණමය යුගය කෙටි වසර කීපයකට සීමාවිය. ඊට හේතු බොහෝය. 2004 මහ මැතිවරණයේදී ආසන 36 ජයග්‍රහණය කළ එම පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තිබුණ ගිවිසුම අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 හිමිවීමට නියමිත විය. නමුත් සන්ධානය මුහුණ දුන් ගැටලුවක් නිසා ස්ව කැමැත්තෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ජවිපෙ අතහැරියේය. අනෙකුත් පක්ෂවලට අපූරු ආදර්ශයක් ලබා දුන්නේය.

අද ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ මහජන නියෝජිතයන් තුනකි. එයින් දෙදෙනෙක් -AKD සහ විජිත හේරත් ඉන්දියාවේ සංචාරයට සහභාගි වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මැති සභයේදී තනිවම ජවිපෙ විරෝධයට මුහුණ දුන්නේය. කවුරු කවුරුත් කලබල වූයේ ජවිපෙ ලද ඉන්දීය ආරාධනය ශ්‍රී ලංකා දේශපාලනය උඩු යටිකුරු කළ නිසාය. මෑතකදී ජවිපෙ නායකයා චීනයේ සහ ඇමෙරිකාවේ කළ සංචාර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූයේ නැත.

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක (කොළඹ දිස්ත්‍රික්කය) මන්ත්‍රීවරයාට ඉන්දියානු රජයෙන් මෑතකදී ලැබුණ ආරාධනාව තරම් ආන්දෝලනාත්මක ඇරයුමක් කිසිදු පක්ෂ /විපක්ෂ මැති ඇමැතිවරයකුට ලැබී නැත.

ඉන්දියානු ආරාධනාව පිටුපස සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක බව පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත පක්ෂ විපක්ෂ කළ ප්‍රකාශ ජවිපෙ නායකත්වය දෙන ජාජබ පක්ෂයට ප්‍රබල තෙරපීමක් ඇති කළේය. එම තත්ත්වය ජනතාව තුළ යම්කිසි ආකාරයක සැකයක් ජනිත කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන ජවිපෙ නායකයා, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් ඇතුළු කණ්ඩායම ඉන්දියාවට යෑම උපහාසයට ලක්කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා නරි නාවන්නට දක්ෂ බව ප්‍රකාශ කරමිනි. එතුමා අවධාරණය කළේ ජවිපෙ සංචාරය වික්‍රමසිංහ – ඉන්දීය – අදානි වුවමනාවට සිදුවූ බවයි. ඒ කරුණු දැක්වීම අනුව සජබ නායක සජිත් ප්‍රේමදාසට නවදිල්ලියේ සංචාරය කළ නොහැක. සජබ නායකත්වය තමන්ද ජවිපෙට ලැබුණු ආකාරයේ තරු පහේ සැලකිල්ලක් ඉන්දියාවෙන් බලාපොරොත්තු වන බවට ඉන්දියාවට දැන්වූ බවට කැලුම් බණ්ඩාර පෙබරවාරි 09 වන දින ‘Daily Mirror’ පල කර තිබූ වාර්තාව කිසිවකු අභියෝගයට ලක් කර නැත.

මෙම සංචාරයට වික්‍රමසිංහ- රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදයක් නොමැතිනම් නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය හිටපු විදේශ ලේකම් ශේණුකා සෙනෙවිරත්න කිසිසේත් ජවිපෙ නායකයා සමඟ ඡායාරූපයකට පෙනී සිටින්නේ නැත. එසේ පෙනී සිටියත් ආණ්ඩුවේ මාධ්‍ය එම ඡායාරූපයකට සහ සමස්ත සංචාරයට මෙපමණ ඉඩක් ලබා දෙන්නේ ද නැත. කෙටියෙන් කිවහොත් ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන මාධ්‍ය ආවරණයක් ජවිපෙ ට ලබා දීම අහඹු සිදුවීමක් නොවේ. ඉන්දීය මාධ්‍ය අදහාගත නොහැකි ප්‍රචාරයක් මෙම සංචාරයට ලබා දුන් බව පැහැදිලිය.

ජවිපෙ නායකත්වය ඉන්දියානු ආරාධනය ජාතික මැතිවරණයක් ඉදිරියේ පිළිගත්තේ ඇයි? බංකොලොත් ශ්‍රී ලංකාවේ තවදුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලන – ආර්ථික – සමාජීය අර්බුදය අතරේ ඉන්දියාව ජවිපෙ නායකත්වයට ඇරයුම් කළ යටි අරමුණ කුමක්ද? ඉන්දියානු මහා මැතිවරණය (ලොක් සභාවට මන්ත්‍රීවරුන් පත්කර ගැනීම) 2024 අප්‍රේල් – මැයි පැවැත්වීමට නියමිත බවද ශ්‍රී ලංකාවේ අවධානයට ලක් විය යුතුය. ඉන්දියාවට අවශ්‍ය ජවිපෙ හිලෑ කර ගැනීමටද? වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයත් එයමද? නැතහොත් ජවිපෙ තර්ජනයක් ලෙස දකින එජාපය ඇතුළු සෑම පාර්ශ්වයකම වුවමනාව එම පක්ෂය අපකීර්තියට පත් කිරීමද?

ජවිපෙ ඉන්දීය සංචාරය අතරතුරේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා යහපාලන සමයේදී (2015-2019) තම පක්ෂය සමඟ ජවිපෙ කළගනුදෙනුව පෙබරවාරි 7 වන දින තම රාජාසන කතාවේදී සඳහන් කිරීම සහ එම පක්ෂයට තමන් සමඟ යළි එක්වීමට කළ ආරාධනය සමස්ත දේශපාලන උපාය මාර්ගයේ කොටසක් නොවන බවට සහතික කළ හැක්කේ කාටද?

නමුත් අවධාරණය කළ යුතු ඉතාමත් වැදගත් කාරණාවක් තිබේ. තරුණ ජීවිත දස දහස් ගණනාවක් විනාශ වූ 80 දශකයේ සිදුවූ දෙවන ජවිපෙ කැරැල්ල ඇතිවීමට හේතුව කිසිසේත්ම ඉන්දීය විරෝධය නොවේ. ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ කැරලි ගසා නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවේ ආරාධනාව පිළිගැනීම සම්බන්ධයෙන් ජවිපෙට පහර ගසන සැමට මතක් කළ දිය යුතු ඉතිහාසයක් තිබේ.

ජේ. ආර්. ගේ 5/6 බලය රැක ගැනීමේ උපාය මාර්ගය

ජනාධිපතිවරයා දක්ෂ නරි නාවන්න විතරද?

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 මහා මැතිවරණයේදී එජාපයට හිමිවූ 5/6 පාර්ලිමේන්තුවේ බලය රැකගැනීමට සහ ජවිපෙ ට ජනතාව ආකර්ෂණය වීම වැළැක්වීමට 80 දශකයේ ගනු ලැබූ තීන්දු තීරණ ජවිපෙ දෙවන කැරැල්ලට තල්ලු කළේය. එම කැරැල්ල මූලිකව ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමට එරෙහිව දියත් කළ ව්‍යාපාරයක් නොවේ.

එදා ජයවර්ධන ජනාධිපතිවරයා රෝහණ විජේවීරගේ ජවිපෙට එරෙහිව ඇතිකළ තත්ත්වය සහ 2022 අරගලයෙන් පසුව ජවිපෙ – ජාජබ අත්කර ගෙන ඇති ජනප්‍රසාදය සම්බන්ධයෙන් විමසා බැලීමේදී අනුර කුමාර දිසානායකට ලැබුණ ඉන්දියානු ආරාධනාව තේරුම්ගත හැකිය. නමුත් ජයවර්ධන ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දු තීරණ අවධානයට ලක් නොකර ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන අභියෝග තේරුම්ගත නොහැක.

එජාප නායක ජයවර්ධන 1982 ඔක්තෝම්බර් 20 වන දින ජනාධිපතිවරණය ජයග්‍රහණය කර විධායක බලය තව වසර 6 කට තමන්ට හිමි කරගත් වහාම පාර්ලිමේන්තුවේ 5/6 බලය දීර්ඝ කර ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වූවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ එකම ජනමත විචාරණය 1982 දෙසැම්බර් 22 පැවැත්වූ අතර 54% පාර්ලිමේන්තුවේ කාලය තව වසර 6 කින් දීර්ඝ කිරීමට තම ඡන්දය පාවිච්චි කළා. ඒ අනුව 1983 අගෝස්තු මාසයට පෙර පැවැත්වීමට තිබූ මහ මැතිවරණය 1989 පෙබරවාරි 15 දක්වා කල් දැමීම රට තුළ කැරැල්ලක් නිර්මාණය වීමට ප්‍රබල දායකත්වයක් දැක්වූවා.

ජයවර්ධන ජයග්‍රහණය කළ 1982 ජනාධිපතිවරණය පවත්වන අවස්ථාවේ ජවිපෙ නායක රෝහණ විජේවීර ආණ්ඩුවේ අත්අඩංගුවේ සිටි බවට අවධාරණය කළ යුතුය. ඒ 1971 කැරැල්ලට නායකත්වය දීම නිසාය. විජේවීරට 4.16 % ඡන්දය ලැබුණ අතර ජයවර්ධනට සහ හෙක්ටර් කොබ්බෑකඩුවට පිළිවෙළින් 52.91% සහ 39.07% ඡන්ද ලැබිණි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අනෙකුත් තරගකරුවෝ වූයේ කුමාර් පොන්නම්බලම්, කොල්වින් ආර් ද සිල්වා සහ වර්තමාන පොහොට්ටු මන්ත්‍රී වාසුදේව නානායක්කාරයි.

ජවිපෙ දෙවන කැරැල්ලට මූලික අඩිතාලම වන්නේ 1983 ජුලි සිද්ධීන් මත කිසිම පදනමක් නොමැතිව ජවිපෙ තවත් වාමාංශික දෙකක් සමඟ තහනම් කිරීමයි. යාපනය ප්‍රදේශයේදී හමුදාවට එල්ලවූ ප්‍රථම ප්‍රධාන ප්‍රහාරයෙන් සෙබළුන් 13 දෙනකු මියයෑමෙන් පසුව රට පුරා ද්‍රවිඩ වැසියන්ට විශේෂයෙන්ම ද්‍රවිඩ ව්‍යාපාරවලට කළ පහර දීම හේතුවෙන් සැලකිය යුතු අහිංසක පුරවැසියන් ප්‍රමාණක් මියගිය අතර ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහි විය. එවකට එජාප ආණ්ඩුවේ උසිගැන්වීම් සහ පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට නියෝග නිකුත් නොකිරීම හේතුවෙන් කළ විනාශය ජවිපෙ පිට පැටවිණි.

ජවිපෙ රහස් සංවිධානයක් බවට පත්වීම සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ අනීතික ක්‍රියාකලාපය තුළය. ජයවර්ධන ජනාධිපතිවරයා රට ගිනි තැබීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කළේය. අදටත් පළමුවන විධායක ජනාධිපතිවරයා ගනු ලැබූ අනීතික තීන්දු තීරණ දකුණේ සහ උතුරේ ත්‍රස්තවාදය එක්වරම පැතිරීමට හේතු වූ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නිසි අධ්‍යයනයක් කර නොමැත.

මීට පෙර ජවිපෙ ගනු ලැබූ දැඩි ඉන්දියානු විරෝධී ස්ථාවරය, විශේෂයෙන්ම ඉන්දියානු හමුදාවට එරෙහිව කළ උද්ඝෝෂණ පසුබිමේ ජවිපෙ නායක AKD ට පහර ගසන කණ්ඩායමට මතක් කර දිය යුතු යමක් ඇත.

ශ්‍රී ලංකාව මත බලහත්කාරයෙන් පැනවූ ඉන්දු -ලංකා ගිවිසුම යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකතු කළ අතර එම ප්‍රදේශයේ ස්ථානගත කර සිටි සියලුම පොලිස් සහ ත්‍රිවිධ හමුදාවන් කඳවුරු තුළට සීමා කළ බව අද බොහෝ අයට අමතකය. එම පළාත 1987 ජුලි සිට 1990 මාර්තු දක්වා ඉන්දීය හමුදාවේ අණසකට යටත්විය. එම කාලය තුළ එම පළාතේ පැවැත්වූ පළාත් සභා, ජනාධිපතිවරණය (1988 පෙබරවාරි 19) මහ මැතිවරණය (1989 පෙබරවාරි 15) ඉන්දීය හමුදාවේ අධීක්‍ෂණය යටතේ කළ බව ශ්‍රී ලංකාවට අමතක කළ හැකිද?

එවැනි තත්ත්වයක් යටතේ ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවෙන් පිටත් කිරීම එවකට ප්‍රධානම දේශපාලන පක්ෂ වූ එජාපයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිපයේ) මැතිවරණ වේදිකාවේ මූලිකම පොරොන්දුවක් විය.

ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාවූ ආර්. ප්‍රේමදාස (50.43%) සහ සිරිමාවෝ (44.95%) පොරොන්දු වූයේ ඉන්දීය හමුදා ඉවත් කිරීමටයි. එසේ කිරීමට ඔවුන්ව පෙළඹවූයේ ජවිපෙ කැරැල්ලයි. ඉන්දීය හමුදා ශ්‍රී ලංකාව ස්ථානගතවීම තම වාසියට හරවා ගැනීම සම්බන්ධයෙන් ජවිපෙට දොස් පැවරීම නිෂ්ඵලය. විදේශීය හමුදාවක් තම රට තුළ ස්ථිර ලෙස කඳවුරු බැඳීම මොනයම්ම තත්ත්වයක් තුළවත් පිළිගත නොහැක.

1989 අග භාගය වන විට ජවිපෙ නායකත්වය නැත්තටම නැතිකර තිබුණි. සෝමවංශ අමරසිංහ ආන්දෝලනාත්මක තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවෙන් පැන ගියේය. ඒ ගැන කතා බොහෝය.

එජාප – ජවිපෙ – TNA මෙහෙයුමක්

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙබරවාරි 7 දින කළ රාජාසන කතාවේ ජවිපෙ සහ එජාපය යහපාලන සමයේදී (2015-2019) ඇතිකර ගත් එකඟතාවයන් සම්බන්ධයෙන් සඳහනක් කළේය. නමුත් එම එජාප – ජවිපෙ සහයෝගිතාවය ඇතිවීමට පෙර 2010 ජනාධිපතිවරණයේදී විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා දිනවීමට එජාපය-ද්‍රවිඩ ජාතික සන්ධානය (TNA) -ජවිපෙ- ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) හංසයා ලාංඡනය යටතේ එකතු විය. ඉතිහාසයේ පළමුවරට ජවිපෙ සහ එජාප වෘත්තිය සමිති කොළඹ නිපෝන් හෝටලයේ මාධ්‍ය ඇමැතීය. ඒ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ පොදු සතුරා ලෙස විපක්ෂය නම් කළ තත්ත්වයක් තුළය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී සංවිධානය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස 2001 දී නම් කළ ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ එකතු වීම ඔය කිසිදු පක්ෂයක් ප්‍රශ්නයක් කර ගත්තේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලනය කිසි දිනක ප්‍රතිපත්ති මත ගොඩනැඟුනේ නැත. ඉදිරියටත් වෙනසක් බලාපොරොත්තු විය නොහැක.

ත්‍රස්තවාදීන්ගේ අතකොළුව වූ ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ජෙනරාල් ෆොන්සේකාට ඉහළින්ම ජයග්‍රහණය කර දුන් නමුත් අනෙකුත් පළාත්වල එජාපය සහ ජවිපෙ සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. එහි ප්‍රතිපලයක් ලෙස ජෙනරාල් ෆොන්සේකා වැඩි ඡන්ද මිලියන 1.8 කින් පරාජය විය.

2015 මහා මැතිවරණයේදී එජාප නායකත්වය දුන් එම කණ්ඩායම මෛත්‍රිපාල සිරිසේන දිනෙව්වේය. 2019 ජනාධිපතිවරණයේදී එම සන්ධානය සජිත් ප්‍රේමදාසට සහයෝගය දුන් අතර ජවිපෙ එම කණ්ඩායමෙන් ඉවත් වී ජනාධිපතිවරණයට තරග කළේය. ජවිපෙ අපේක්ෂක AKD ට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 418,553 (3.16%) පමණි. ඔහු තුන්වැනි ස්ථානය ලබා ගත්තේය. ඡන්ද 6,924,255 (52.25%) ලබා ගත් ගෝඨාභය රාජපක්ෂට උන්හිටි තැන් අහිමි කළ තත්ත්වය වෙනමම විමසා බැලිය යුතුය. නමුත් මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ එදා 3.16% ඡන්ද ප්‍රතිශතයක් ගනු ලැබූ AKD ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබීමට තරම් පසුගිය වසර දෙක තුළ කළ ක්‍රියාවලිය තහවුරු කර ගැනීමයි.

දෙවැනි කැරැල්ල මර්දනය කර අවසන් වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් ඉතිරි වූයේ අමරසිංහ පමණි. වසර 12 පමණ යුරෝපයේ ජීවත් වූ සෝමවංශ අමරසිංහ එවකට බලයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුව සමඟ ඇතිකර ගත් එකඟතාවයක් මත 2001 අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජවිපෙ නායකයන් සහ සාමාජිකයන් බුරුතු පිටින් ඝාතනය කරන තත්ත්වයක් තුළ අමරසිංහ ශ්‍රී ලංකාවෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට ගොස් ඊට පසුව යුරෝපයට ගිය බව රහසක් නොවේ. නමුත් 2001 නොවැම්බර් මාසයේ හතරවන සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අමරසිංහ ඊට දිනකට පසුව කළුතර ප්‍රසිද්ධ රැස්වීමකදී තමන්ගේ ජීවිතය බේරා දීමට ඉන්දියාවට සහ එවකට අග්‍රාමාත්‍ය වී. පී. සිං හට ස්තුති කළේය. ඉන්දියාවට අමතරව ඔහු එංගලන්තයට, ප්‍රංශයට සහ ඉතාලි රජයන්ටද ස්තුතිය ප්‍රකාශ කළේය. අමරසිංහගේ පැමිණීම සිදුවූයේ එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජවිපෙට 2002 දෙසැම්බර් 05 මහා මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබා දුන් නිසාය.

සෝමවංශ ප්‍රකාශ කළේ ඉන්දියාව මැදිහත්වීමක් නොකළා නම් තමන්ද එජාප ආණ්ඩුව විසින් මරා දමන බව නොවේද?

ජයවර්ධන ජනාධිපතිවරයා ජවිපෙ තම ආණ්ඩුවට එල්ල කර ඇති අභියෝගය සහ ඊට ආරක්ෂක අංශවල ප්‍රතිචාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදී මුද්‍රිත මාධ්‍යවේදීන් දැනුවත් කළේය. වසර දෙකක්වත් සම්පූර්ණ කර නොතිබුණු පුහුණු මාධ්‍යවේදියකු වූ මෙම ලියුම්කරුට එම ඓතිහාසික මාධ්‍ය හමුව වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුණේ ආණ්ඩුවේ හදිසි ආරාධනාව ලැබුණ අවස්ථාවේ පළපුරුදු වාර්තාකරුවන් ඒ අවස්ථාවේ කර්තෘ මණ්ඩලයේ නොසිටිය නිසාය. ජනාධිපතිවරයා සමඟ එවකට අමාත්‍යවරයකු වූ රනිල් වික්‍රමසිංහ සහ දකුණු පළාතේ නැසීගිය එම්. එස්. අමරසිරි මහා අමාත්‍යවරයාද විය.

ජවිපෙ මර්දනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බව අවධාරණය කළ ජනධිපතිවරයා තමන් ඊට ඇප කැපවී සිටින බවද පැවසීය. ජනාධිපතිවරයා ජවිපෙ අභියෝගය 1989 ජනවාරි වනවිට ජයගත හැකි බවට අනාවැකියක් ද පල කළේය. අනාවැකිය වැරදිනි. නමුත් 1989 දෙසැම්බර් වනවිට ජවිපෙ නායකත්වය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර තිබිණි.

ජවිපෙ 1971 (දින කීපයක අභියෝගය), 1987-1990 පසුකර තුන්වන මෙහෙයුම ජාත්‍යන්තරයේද විශ්වාසය ලබා ගනිමින් ආණ්ඩුවට සහ ප්‍රධාන විපක්ෂයට තර්ජනයක් වන ලෙසින් ඉදිරියට ගෙන ඒමට සමත් වී ඇත. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කණ්ඩායම, පොහොට්ටු පක්ෂය සහ සජබ කලබල වී ඇති බව එම පක්ෂවල හැසිරීමෙන් පෙනේ. ජවිපෙ අභියෝගය ජය ගැනීම පිණිස මේ වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 17 අතර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීම තොරොම්බල් කිරීම හරහා කරන උත්සාහය ජයවර්ධන ජනාධිපතිවරයාගේ 1983 මහා මැතිවරණය වසර 6 කින් කල් දැමීම සේම විනාශකාරී ප්‍රතිපල අත්කර දිය හැකිය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment