‘ලවණ බාධකය නිවැරදි කරන තෙක්, බණ්ඩත්තර වැලි වැටිය ඉවත් කරන තෙක්, ඕලන්ද ඇළ විවෘත කරන තෙක්, කුඹුරු වගා කළ හැකි වන තෙක්, දරුවන්ට පාසල් යෑමට හැකි වන තෙක්, ගංවතුරෙන් මංමාවත් යට නොවන තෙක්, අද දෙන්නම් හෙට දෙන්නම් කියා නොගෙවූ වගා හානි වන්දි ගෙවන තෙක් අන්ධයන් බිහිරන් සේ නොසිට දේශපාලන භේදයකින් තොරව 2024 ජනවාරි 23 උදෑසන නවයට මාතර බෝධිය අසලට එන්න.’

ඉහත ආයාචනය මීට මාස එකහමාරකට පමණ පෙර මාතර ගොවි ප්‍රජාව වෙත යොමු කළ එකකි. පෙබරවාරි මුල මාතර නගරය උණුසුම් කළ සිදුවීම්වලට මුල වූයේ මේ ඇරයුමය.

ඒ ඉල්ලූ විදියටම ගොවීන් එක් විය. දින 11ක් තිස්සේ උදේ 8 සිට සවස 6 දක්වා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ඉදිරිපිට ගොවි සත්‍යග්‍රහය පැවතුණි.

සත්‍යග්‍රහය ඉවත් කරන්නට උසාවි නියෝගයක් ගන්නට ආණ්ඩුව උසාවි ගියේය. පොලිසිය අධිකරණයට කීවේ මේ සාමකාමී සත්‍යග්‍රහයෙන් ‘මහජනයාට අවහිර’ වන බවය. මහජනතාවගේ සත්‍යග්‍රහයක් මහජනයාටම අවහිර බව කීම ඇස් රතුවෙන විහිළුවකි. උසාවිය පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පොලිසිය, විශේෂ කාර්ය බළකා යොදවා බය කරන්නට තැත් කළේය. එය ව්‍යර්ථ විය.

අන්තිමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතරට පැමිණෙද්දී, එයට පහසුකම් සලසන්නට වහා මැදිහත්වී එම සත්‍යග්‍රහය ඉවත් කිරීමට ආණ්ඩුව මැදිහත් වී තිබුණි. ඒ පොරොන්දු රැසක් ලබා දෙමිනි. ඒ පොරොන්දු අතරත්, ප්‍රශ්නය සීයට සීයක් විසඳන පොරොන්දු නැත. ඇතැම් ගොවීන්ට ඇත්තේ සැකයකි. ගොවීන් මේ ඉඩ දී ඇත්තේ තාවකාලිකව ආණ්ඩුවට තමන්ගේම වැරදි නිවැරදි කරගන්නට පමණි.

‘අපි අරගලකාරයන් නෙවෙයි. ඇත්තටම අපි අරගලය කියන වචනය පාවිච්චි කළේත් නෑ. අපි ගොවියෝ. අන්තිම ක්‍රියාමාර්ගයක් විදියටයි මේ විදියට අපි පාරට ආවේ.‘ මෙසේ කීවේ බන්දුල කෝමංගොඩ මහතාය. ඔහු ගොවි සංවිධාන නායකයෙකි.

ඉතින්, බන්දුල මහතා වැනි ගොවීන්ට විරෝධතා දක්වන්නට තරම් ආණ්ඩුව කර ඇති වරද මොකක්ද? නිශ්චිත සැලසුම් නොමැතිව, තිබෙන සැලසුම් පවා උල්ලංඝනය කරමින් මාතර ගඟේ සෑදූ ලවණ බාධකයකි. ඒ නිසා ජලය අධික වන මොහොතකදී වතුර බැස යන්නේ ජනතාවගේ හිස් මතින්ය. ජනතාවගේ ජීවිත මතින්ය. ගොවිතැන් විනාශ කරමින්ය.

මේ ගැන ගොවි ජනතාවම ලියූ සටහනක මෙසේ සඳහන් වේ.

‘නිල්වලා ගංගා මිටියාවතේ ජීවත් වන ඔබ අප සියලුදෙනා කෙත් වතු වගා කර ගනිමින් දෑත දෙපය වෙහෙසවමින් දාඩිය මුගුරු වගුරවමින් ධාර්මිකව හරි හම්බ කර ගනිමින් බෙදා හදාගෙන කිසිවෙකුටත් අත නොපා සාධාරණව ජීවත් වුණ අභිමානවත් අදීන ගොවි ජනතාව වෙමු. තම තමන්ගේ ගමන බිමන මංමාවත් තුළ නිදහසේ ගමන් කළ පිරිසකි. අපගේ දුවා දරුවන් නිදහසේ ඉගෙනගත් දරු පිරිසකි.

ඒත් මේ සියල්ල 2018 පසු අපට අහිමි කරමින් ප්‍රායෝගිකත්වය නොදත්, විභාග සමත් ඉංජිනේරුවන් හා නිලධාරීන් එක්ව කෑමට බත සහ අනෙකුත් සියලුම අවශ්‍යතාවන් පයින් පාගා බීමට වතුර ගැන පමණක් සිතා අවිධිමත් සහ අසාර්ථක ලෙස ලවණ බාධකය ඉදිකිරීම නිසා සැමගේ ජන ජීවිතය විනාශ මුඛයට පත් කර ඇත.

ගොඩ මඩ, කුඹුරු, එළවළු කොරටු, පලා කොරටු, තේ, කුරුඳු, කොස්, කෙසෙල්, ගස් ඇතුළුව අක්කර විසි දහසකට වඩා විනාශ වී ඇත.

ගංගාව ගොඩ වී පිටාර ගලමින් පවතී. දරුවෙකුට පාසලකට යෑමට නොහැකිය. රැකියාවකට යෑමට නොහැකිය. කුලී වැඩකට යෑමට නොහැකිය. බෙහෙතක් හේතක් ගෙන ඒමට උයා පිහා ගැනීමට වැසිකිළියකට, කැසිකිළියකට යෑමටවත් නොහැකිය. කිඹුලන් ගහනය ප්‍රදේශය පුරා පැතිරී යෑම සිදුව ඇත.

ඇස් දෙක පියාගෙන රැය පහන් කළ නොහැක. අවම වශයෙන් මෘත දේහයක් වළ දා ගැනීමටවත් නොහැක.

හේතුව අත්තනෝමතිකව නිවැරදි නොවන වාර්තා සකස් කොට සියලු දෙනා රවටා ඉදි කළ ලවණ බාධකයයි. ඉදිකිරීම් සඳහා අවබෝධතා ගිවිසුමේ එකඟ වී ඇති ආකාරයට ඉදිකිරීම් කටයුතු නොකිරීම නිසා මෙවන් තත්ත්වයක් මතු වී ඇත.

ලවණ බාධක නොමැතිව ගුරුත්වය භාවිත කර අතුරු ඵල ලෙස ජල විදුලියද උපදවා පහළින් ජලය ගන්නා විට එන බැර ලෝහ සහ රසායනික ද්‍රව්‍ය ඇතුළු මෙකී නොකී අපද්‍රව්‍යවලින් පෝෂිත අපවිත්‍ර වූ ජලය වෙනුවට පිරිසිදු පානීය ජලය ඉහත්තාවෙන් ලබා ගැනීමට පෙර සිටි ඉංජිනේරු මහත්ම මහත්මීන් සකස් කර තිබූ සැලසුම් පයින් පාගා දමා ඇත. එම ඉහළින් ලබා ගත හැකි නැවුම් පිරිසිදු පානීය බීමට ජනතාවට ලබා දීමට ජල සම්පාදක මණ්ඩලය ඉක්මනින් කටයුතු කළ යුතුව ඇත.

අදටත් කුඹුරුවල වතුර,, කන්න දහයක්ම විනාශ වී ජන ජීවිතය අඩාල වී, වන්දි මුදලක් හෝ නොලබා අපි ඉවසුවා ඇති. රට කරවන පාලකයන්ටත්, ඉදිකිරීම කළ ඉංජිනේරුවරුන්ටත් සියල්ල යට ගසමින් කිසිවක් නොවූවා සේ බලා සිටින නිලධාරීන්ටත් එරෙහිව එකා මෙන් එකමුතුව අපේ නැති කළ නිදහස් නිවහල් ජීවිතය ඉල්ලා පාරට බහිමු.‘

අරමුණ

මෙම ලවණ බාධකයේ අරමුණ ලෙස 2013 අප්‍රේල් 24 වැනිදා බුද්ධික පතිරණ මහතාගේ ප්‍රශ්න විමසීමකට ප්‍රතිචාර වශයෙන් එවකට ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා තිබුණේ මෙසේය.

‘වියළි කාලගුණික තත්ත්වයන් පවතින විට මුහුදු ජලය නාදුගල, කද්දූව හා බලකාවල පිහිටුවා ඇති තුළුමං ළිං තුළට ගලා ඒම වැළැක්වීම, මෙම ලවණ බාධක ඉදි කිරීමෙන් පසුව ලවණ ජලය ගලා ඒම වැළකෙන බැවින් දැනට ලවණ ජලය නිසා අසාර්ථකව ඇති කුඹුරු අක්කර 5000ක් නැවත වගා කිරීමට අවශ්‍ය පරිසර සාධක වර්ධනය වීම, තවද කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයේ සමතුලිතතාව බිඳීම නිසා සිදු විය හැකි කාලගුණ විපර්යාසයන් හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් මුහුදු ජල මට්ටමට වැඩි වීම පාලනය කිරීමටද ලවණ බාධකය ඉදි කිරීම ඉවහල් වෙනු ඇත.‘

එනම්, පානීය ජල සම්පාදන ව්‍යාපෘතිවලටත්, ගොවිතැනටත් ලවණ ජලය ගලා ඒම වැළැක්වීම ප්‍රධාන අරමුණක් විය. අරමුණ අයහපත් නැත. අරමුණ ඉටු කරන්නට මෙම ව්‍යාපෘතිය බුද්ධිමත් නොවේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ, කුමකට අප වඩාත් දක්ෂ වීදැයි විමසුවොත් එහි ඉහළින්ම ඇත්තේ වාරිමාර්ග සැලසුම් යන්න විය හැක. විශ්වකර්ම වාරිමාර්ග හැකියාවන් ගැන අපි ආඩම්බර වෙමු. වසර දහසකට එහා ගොසිනුත් නොනැසී පවතින වාර්මාර්ග ක්‍රම ගැන අපට ඇත්තේ ආඩම්බරයකි. එහෙත්, පසුගිය දශක කිහිපයක් තිස්සේ අප දකින්නේ ණය ලබාගෙන කරන ලද අමනෝඥ වාරිමාර්ග ව්‍යාපෘතිවලින් සිදු වූ විනාශයන්ය. දහස් ගණන් පැවති පැරණි වාරි ව්‍යාපෘතිවල ප්‍රධානම අංගයක් වන්නේ ගොවියාත්, පරිසරයත්, අනෙකුත් අරමුණුත් එකට පැවතිය හැකි ලෙස නිර්මාණශීලීව ඉදි කළ ව්‍යාපෘතීන්ය. මාතර ලවණ ජල ප්‍රශ්නයටත් එවැනි නිර්මාණාත්මක විසඳුම් රාශියක් තිබුණි. එහෙත්, පාලන බලය හිමි කාබාසිනියාතුමන්ලාට ගොවියන්ට සිය ඉංජිනේරු දැනුමෙන් කොකා පෙන්වන්නට ඕනෑ විය.

ගොවියන්ගේ කැමැත්ත නැතිව ව්‍යාපෘති කළේය.

ගොවියන්ගේ විරෝධතා ගැන ගුණවර්ධන මහතා මෙසේ කියා තිබුණි.

ජීවිත වැනසූ,මාතර කැලඹූ නිල්වලා ලවණ බාධකය

‘2003 වසරේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් බණ්ඩත්තර ප්‍රදේශයේ ලවණ බාධකයක් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ නමුත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවි සංවිධානවල විරෝධතා හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත.‘

එහිදී, ‘බණ්ඩත්තර ප්‍රදේශයේ ලවණ බාධකයක් ඉදි කිරීම නිසා විශාල ගොවි බිම් ප්‍රදේශයක වගා හානි වන බවට ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරන්නේද?‘ යනුවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසා තිබුණි. එයට ප්‍රතිචාර ලෙස එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා තිබුණේ, ‘ප්‍රාදේශීය ගොවි සංවිධාන සහ මහජන නියෝජිතයන්ගේ චෝදනා සැලකිල්ලට ගෙන බණ්ඩත්තර ප්‍රදේශයේ ලවණ බාධකය ඉදි කිරීම සඳහා වූ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී.‘ යනුවෙනි.

ඇත්තෙන්ම සිදුව තිබුණේ, ඒ මොහොතේ ව්‍යාපෘතිය තුළින් සිදුවිය හැකි හානිය පිළිබඳ ගොවීන් පෙන්වූ කරුණු මත එම ව්‍යාපෘතිය තාවකාලිකව කල් දමා, මුලින් සැලසුම් කළ ස්ථානය වෙනුවට වෙනත් තැනක එම ව්‍යාපෘතියම ඉදි කිරීමය. දැන් සිදුව ඇත්තේ මිලියන 3000ක පමණ වියදමකින් සිදු කළ ව්‍යාපෘතිය ඉවත් කරන්නත් නොහැකිව, එයින් සිදු වන විනාශය වළක්වාගන්නත් නොහැකිව ආණ්ඩුව කල් මැරීමය.

මේ ගැන 2022 විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ මෙසේ සඳහන් වීය.

‘නිල්වලා ගඟ සඳහා අලුතින් සාදන ලද ලවණතා බාධකය සැලසුම් කිරීමේ අදියරේදී හඳුනාගෙන නොතිබූ ගංවතුර හේතුවෙන් වගා හානි සඳහා ගොවීන් වෙත වන්දි වශයෙන් රුපියල් 7,921,891ක් ගෙවා තිබුණි. තවද ඇළ සංවර්ධනය කිරීමට සහ බාධකය හේතුවෙන් ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ජලය පොම්ප කිරීමට අවශ්‍ය ඩීසල් සඳහා ගෙවීමට තවත් රු. 11,075,000ක් වෙන් කර තිබුණි.‘ මෙයින් මනාව පැහැදිලි වන්නේ, සිදු වන්නට නියමිත විනාශය කල් තියා දැකීමට ඉංජිනේරුවන් අසමත් වූ බවය.

හානිය

රවීන්ද්‍ර ලියනගේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ දකුණු පළාත පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරිකයාය.

ගොවි අයිතීන් වෙනුවෙන් කාලයක් තිස්සේ වැඩ කරන ඔහු, මේ වෙද්දී සිදුව ඇති හානිය විස්තර කළේය.

‘ග්‍රාම නිලධාරී වසම් 65ක් පුරාවට පැතිර ගිය විශාල අර්බුදයක් මේක. මේක දේශීය මා වී වගා කරන ගොවීන් ඉන්න ප්‍රදේශයක්. අවුරුද්දට එක කන්නයයි වගා කරන්නේ. මේ ප්‍රදේශය ඒ වගාවන්ට ආවේණිකයි. ඊට අමතරව මැටි කර්මාන්තයේ යෙදෙන අයත් ඉන්නවා. කිරි ගොවීන් ඉන්නවා. කොරටු තිබෙනවා. කීර, පලා වගා කරන අය ඉන්නවා. මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන අය ඉන්නවා.

නිල්වලා ගඟ දිගේ පහළට එන වතුර පාලටුව ප්‍රදේශයෙන් නැවැත්වීමට තමයි ලවණ බාධකය හැදුවේ. වතුර ඇතුළට එන නිසා. දැන් කන්න දහයක් තිස්සේ බහුතරයක් ගොවීන්ට පාඩු වෙලා තියෙනවා ලවණ බාධකය නිසා. පහුගිය මැයි මාසයෙන්, ජුනි මාසයෙන් පස්සේ දවස් 45ක් එකදිගට ගෙවල්, කුඹුරු, පාරවල් ඇතුළු හැමදේම යටවෙලා තිබුණා. වතුර බැස නොයෑම නිසා කිඹුලන්ගේ තර්ජන තිබුණා. කිඹුලන් එනවාද කියලා අඳුනගෙන පහරදීලා තමයි කිඹුලන්ගේ තර්ජනය පාලනය කරගත්තේ. ඇතැම් අයට ගාමන්ට්වල රස්සා නැති වුණා. පාසලට යන්න බැරි වුණා. ප්‍රවාහනය අඩාල වුණා බස් නැති නිසා. මිනිස්සුන්ට හැමතැනම කුඹුරු තිබුණා. කන්න හාල් තිබුණා. දැන් ගෙදර හාල් ඇටයක්වත් නැති, කඩෙන් හාල් ගන්න බැරි තැනට පත් වුණා.

පුළුල් අර්ථයෙන් මේ ක්‍රියාවලිය සංවර්ධන යෝජනාක්‍රමවලට මේ වගුරුබිම් ආශ්‍රිත ඉඩම් කොල්ලකෑමේ වුවමනාව මත සිදු වන්නක් බව පේන්න තියෙනවා. ඇතැම් අවස්ථාවල ගොවීන්ට යෝජනා ඇවිල්ලා තියෙනවා අක්කර 12000ට සල්ලි ගෙවලා ගන්නම්, අයින් වෙන්න කියලා. ගොවීන්ගේ වුවමනාව නැති කරලා, ගොවි බිම් අයින් කරන්න තමයි මේ උත්සාහය.

පහුගිය කාලෙ බොහෝ තැන්වල. වැල්ලෙතොට වගේ තැන්වල බොහෝ දෙනා ඉතා කුණුකොල්ලෙට ගොවිබිම් විකුණලා ගිහින් තියෙනවා.‘

ඇත්තටම රවීන්ද්‍ර පෙන්වා දෙන්නේ ජාතික මට්ටමින් දකින්නට ඇති අනතුරකි. පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉඩම් වෙළෙඳපොළ නිදහස් කිරීම ගැන ආඩම්බරයෙන් කරුණු කීය. ජනාධිපතිවරයා උරුමය නමින්, ගැමි-ගොවි ඉඩම් නිදහස් කිරීම ගැන කියයි. ගොවියාට වගා කරන්නත්, ජීවත් වෙන්නත් බැරි තැනට ක්‍රමානුකූලව එම ඉඩම් පත්වෙද්දී ඔප්පුව අතට ලැබුණු සැණින් විකිණීම හැර අන් විකල්පයක් ගොවීන්ට නැත. ඒ ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතට යනු ඇත්තේ, තමන්ගේම ඉඩම්වල ගොවීන් කම්කරුවන් කරමිනි.

සුජීව ලියනගේ මාතර ගොවි සංවිධාන ක්‍රියාකාරිකයෙකි.

ජීවිත වැනසූ,මාතර කැලඹූ නිල්වලා ලවණ බාධකය

‘අපට මේක දැනුණේ 2019 දී. අපේ ගෙවල්, ඉඩකඩම් ඔක්කෝම නිල්වලා ගඟ අයිනේ තියෙන්නේ. කලිනුත් ගංවතුර එනවා. අවුරුද්දකට මැයි මාසයේදී වගේ ගංවතුර එනවා. 2017 දී අන්තිමට ගංවතුරක් ආවා. සාමාන්‍යයෙන් උපරිම මට්ටමට ඇවිල්ලා, දෙණියායට පැය 24ක් වගේ කාලයක් තුළ මිලිමීටර් 300ක් විතර වැස්සොත් ගලනවා. 2017 ගංවතුර සතියක් ඇතුළත බැහැලා ගියා. වපුරලා යටවෙලා තිබුණත් හානියක් නෑ. 2019 ගංවතුරක් ආවා. එච්චර ලොකු ගංවතුරක් නෙවෙයි. ඒත් ඒකේ වතුර බහින්නේ නැතිව තිබුණා මාසයක් විතර. කුඹුරු විනාස වුණා. අපි බැලුවා වතුර බහින්නේ නැත්තේ මොකද කියලා.

ඒක හොයා බලනකොට තමයි, ජල සම්පාදන මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලවණ බාධකය හදන බව දැනගන්නේ. ගඟේ බාගයක් වහගෙන ලවණ බාධකය හදන බව දැක්කා. කිසි තොරතුරක් අපට දීලා තිබුණේ නෑ. හොයාගෙන යනකොට වාර්තා, පරිසර වාර්තා ආදිය ගත්තාට පස්සේ දැනගන්න ලැබුණා හරිහැටි සැලසුම් කරපු විදියටත් නෙවෙයි මේක හදන්නේ කියලා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මොහොතේ කීවා මේක සම්පූර්ණයෙන් හැදුවොත් තත්ත්වය හරියනවා කියලා. කොහොමහරි වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට අප ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඔවුන් පිළිගත්තා මෙතැන වරදක් තියෙන බව. නිවැරදි සැලැස්මක් හදලා ඉදිරිපත් කරනතුරු ඉදිකිරීම් නවත්වන්න කීවා. නමුත් ඒකත් නොතකා, ඉක්මනටම හදලා ඉවර කළා.

මුල් සැලසුම් අනුව ගඟ පතුලේ ඉබේ වැහෙන්න ජලය බැස යන දොරවල් සහිතව ව්‍යාපෘතිය යෝජනා කරලා තිබුණාට, එහෙම නොමැතිව, ජලය අවහිර වෙන විදියට හදලා තියෙනවා. මේ වෙනකොට කන්න 11ක් කුඹුරු අක්කර 12500ක විනාශ වෙලා තියෙනවා.

වගා කරගන්න බැරි වෙලා. කපන්න ඔන්න මෙන්න තිබුණ ගොයම් සම්පූර්ණ විනාශ කරලා තියෙනවා. ඕක නිවැරදි කරන්න ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වුණා නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා.

ගංවතුර එක්ක මාස කිහිපයක් තිස්සේ සම්පූර්ණ ජන ජීවිතය අඩාල වුණා.‘

සත්‍යග්‍රහය ඉවත් කිරීම

එම අර්බුදය දරාගත නොහැකි තැන ගොවීන් සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගවලට පිවිසුණි. මුලින් සත්‍යග්‍රහය රාත්‍රියේ පවත්වන්නට නියමිත වුණත්, පොලිසියේ ඉල්ලීම් මත දවල් වරුවේ පමණක් එය පැවැත්වීමට ගොවීන් එකඟ විය. අවසානයේ පෙබරවාරි 02 වැනිදා රනිල් වික්‍රමසිංහ මාතරට පැමිණීම සමග සත්‍යග්‍රහය ඉවත් කිරීමට යෝජනා විය. ඒ ගැන රවීන්ද්‍ර මෙසේ කීය.

‘පෙබරවාරි 02 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාතරට ආවා. තරු නිලධාරීන් ඇවිත්, හමුදාවේ ගිනිඅවි අරගෙන ඇවිල්ලා කිසිම අනන්‍යතාවක් නොපෙන්වා, තමන් අයිතිවෙන බි්‍රගේඩ් එක නොපෙන්වා හිටියා. උදේ ඉදන් කීවා රනිල් එන නිසා නවත්වන්න කියලා. සාකච්ඡාවක් අරන් තිබුණා කංචන විජේසේකර, විෂය භාර ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක සහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් අතර සාකච්ඡාවක් තිබුණා. මිලියන 20 බැගින් විමධ්‍යගත අරමුදල් මිලියන 40ක් වෙන් කරන්නම් කියලා.

ඒ විදියට පොරොන්දු වූ ලියුම් ගණනාවක් ගොවි නායකයන්ට ලැබෙන්න ඇති. කොහොමහරි සටන නවත්වන්න ගොවීන් පිරිසක් තීන්දු කරලා තිබුණා. දැන් ගොවීන් බලා ඉන්නවා බණ්ඩත්තර වැලි වැටිය අයින් කරනතුරු. මේ වෙද්දී ඇළ කැපීම ගැන දිස්ත්‍රික් ලේකම්ගේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් ඇති කරගෙන තියෙනවා.

අපගේ තක්සේරු අනුව ලොකු වර්ෂාවක් ආවොත් මාතර නගරය හානි වේවි. ඒකෙන් තමයි බරපතළකම අඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ කන්නයත් පාඩු වේවි.‘

ඒ පිළිබඳ බන්දුල කෝමංගොඩ මහතා කීවේ මෙසේය.

‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාතරට ආ මොහොතේ ලොකු පීඩනයක් දැම්මා. පොලිසිය, කැරලි මර්දන ඒකක, කඳුළු ගෑස් ආදිය අරගෙන ආවා. එයින් පසු දිසාපතිතුමා සාකච්ඡාවකට කතා කළා. එතකොට ඒකෙදී අපි නියෝජිතයන් 10 දෙනකු ගියා. ඒකෙදී අපට කීවා විමධ්‍යගත අරමුදල්වලින් මිලියන 40ක මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒක මේ වැඩේට යොදා ගන්න පුළුවන් කියලා. ඒකට ගිය මාසේ 22 වාරිමාර්ග එකේ ඇමැතිතුමියයි, ලේකම්තුමායි අධ්‍යක්ෂ ජෙනරාලුයි ඇතුළු නිලධාරී කණ්ඩායමකුත්, ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරී කණ්ඩාමකුයි සාකච්ඡාවක් පවත්වා කීවා අපගේ ඉල්ලීම් තුනකට කැබිනට් අනුමැතිය ඕනෑ බව.

එතකොට වන්දි ගෙවීම හැර, වැලි බාධකය ඉවත් කිරීම සහ ඕලන්ද ඇළ සුද්ධ කිරීමට අවසර දෙන්නම් කීවා. මුදල් ලැබෙනවා නම් ඇමැති, මන්ත්‍රීවරුන් එක්ක එතැනට ඇවිත් ලිඛිත පොරොන්දුවක් දෙන්න කියල ඉල්ලුවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළේ කතා කරලා ඉල්ලීම් දෙන්න කීවා.

වැලි වැටිය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කුණුඇළ කඩන එකට අනුමැතිය ලැබිලා තියෙනවා. මැනුම් කටයුතු කරනවා. ඇස්තමේන්තු හදන්න වැඩ කරගෙන යනවා. එතකොට ඒකෙදී අඩුවක් විදියට තවම පේනවා. කෙටිකාලීනව ඔය ටික කළොත් එන කන්නයේ කුඹුරට බහින්න පුළුවන් කියලා අපි දකිනවා. ගඟේ බාධා ඉවත් කරලා අතුරු ඇළ පුළුල් කළාම ලොකු වරුසාවක වතුර බහින්න පුළුවන් කියා හිතනවා. දීර්ඝකාලීන විසඳුම් විදියට ලවණ බාධකයේ ආකෘතිය ගැන අධ්‍යන කරලා, ගේට්ටු දාලා පියවර ගත යුතුයි.‘

සුජීව ලියනගේ මහතා වැඩිදුරටත් කීවේ මෙසේය.

‘ඒ පසුබිමේ වතුර බස්සවාගන්නට අතුරු ඇළක් කප්පවාගන්න අපට පුළුවන් වුණා. ඒත් ඒක අඩි 40යි. අපි ඉල්ලුවේ අඩි 150කට වැඩි ඇළක්. ඒ අනුව දැන් තියෙන ඇළ ප්‍රමාණවත් නැහැ. දැන් ආණ්ඩුව එකඟ වී තිබෙනවා අඩි 40 සිට අඩි 100 දක්වා වනතුරු තවත් අඩි 60ක් දක්වා ඇළ කැපීමට. මේ වෙද්දී තියෙන අඩි හැටක් වන ෂීට් ෆයිල් ගලවලා තමයි අතුරු ඇළ කපන්නේ. ඒ සඳහා දිසාපතිවරයාට ටෙන්ඩර් කැඳවූවාට බලය පැවරිලා නැහැ. එළැඹෙන සඳුදාගෙන් පස්සේ තමයි අපට එහි අලුත් තත්ත්වය කියන්න පුළුවන්‘

සත්‍යග්‍රහය අවසන්, ප්‍රශ්නය අවසන්ද?

මෙම අර්බුදයේදී දිගින් දිගටම මැදිහත් වූ විටියල බටහිර ගොවි සංවිධානයේ එරන්ද මැද්දෙගොඩ මහතා ඉන්නේ පොරොන්දු ඉටු වනු ඇතිදැයි යම් අවිශ්වාසයකිනි.

‘හිතන්න බැහැ පොරොන්දු ඉෂ්ට කරයි කියලා. ආණ්ඩුව රැවටීමක් කළා කියලා හිතනවා. ජනාධිපතිවරයා එන වෙලාවේ අපව ඉවත් කරන්න පොරොන්දුවක් දුන්නා. හරියට බැලුවොත් වැලි වැටිය ඉවත් කිරීම හැර අන් කිසිවක් සිදුවන බවක් පේන්නේ නැහැ.

අපි දන්නවා දැන් ලවණ බාධකය ඉවත් කරන්න බැහැ. මිලියන 3000ක් වියදම් කරලා හදපු එකක්. ඇත්තටම ඉංජිනේරුවන් තීන්දු කළ යුතුයි ඒක තියා ගන්නවාද, අයින් කරනවාද කියලා.

ඒත්, වතුර බැස යන ක්‍රමවේදයක් නිසියාකාරව සැකසිය යුතුයි. අපි කාණුවක් ගොඩ දාන්නේ, කාණුවෙන් වතුර බහින්න ඕනෑ නිසා. මේ ආකාරයට වතුර බැස්සවීමයි කරන්න ඕනෑ.

මිනිස්සු බත් උයාගෙන ගෙනත් දීලා, පාරට බැහැලා ප්‍රශ්නය විසඳාගැනීමට කළ හැකි ඔක්කෝම කළා. ආණ්ඩුව තමයි පොරොන්දු වුණේ ප්‍රශ්නය විසඳන්න. දැන් මෙයට මැදිහත් වූ අයට වගකීමක් තියෙනවා පොරොන්දුව ඉෂ්ඨ කරවාගන්නට. මම නම් කැමතියි, ගොවි නියෝජිතයනුත් එක්ක ආණ්ඩුව එක්ක සාකච්ඡාවට ගිහින් ගොවියන්ගේත් අදහස් අරගෙන කරන්න පුළුවන් වුණා නම්. හැබැයි මේ විදියට තමයි සත්‍යග්‍රහය අවසන් වුණේ.’

ඒ අනුව, ගොවියන් අතරම ඇති මේ අවිශ්වාසය දුරලීම ආණ්ඩුව සතු වගකීමකි.

බන්දුල මහතා බලා සිටින්නේ ආණ්ඩුවේ පොරොන්දු ඉටු වන තුරුය. සත්‍යග්‍රහය නැවැත්වීමේදී මැදිහත් වුණේ ඔහුය. දැන් ඔහුගේ කර මත වගකීමකි. ඔහුගේ විශ්වාසය, ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතුය.

‘තාවකාලිකව ඉවත් වෙමු කියන යෝජනාව මම කළේ. ඒක තාවකාලිකයි. අපි හැමදාම රැවටුණ එකත් ඇත්ත. සති දෙකක් ඇතුළත විසඳුමක් ලැබේවිද කියන එක බලනවා. වැඩේ වෙනවාද, නොවෙනවාද කියන තීන්දුව සති දෙකක් යද්දී බලාගන්න පුළුවන්.’ බන්දුල මහතා කීය. ඇත්තෙන්ම ආණ්ඩුව දුන් පොරොන්දු පවා, ලවණ බාධකය ඇති කිරීම නිසා ඇති වූ සියලු ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන පොරොන්දු නොවේ. අඩි 100 දක්වා ඇළ කැපීම ප්‍රමාණවත්දැයි විශ්වාස නැත.

ගොවියන්ට වන්දි ගෙවීම කැබිනට් අනුමැතිය ඕනෑ බව කියමින් දින නියම නැතිව කල් දමා ඇත. අනුන්ගේ නොසැලකිලිමත්කම්වලට ගොවීන් ජීවන පැවැත්මෙන්ම වන්දි ගෙවා හමාරය.

තරිදු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment