ටෙලිකොම් පෞද්ගලිකරණයේ අලුත්ම කථාව

148


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවත් පැවසීය.

කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බවත් ඔහු පෙන්වා දුන්නේය.ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේද සඳහන් කළේය.

වර්තමානය ගැන නොදැනුවත්කමත්, අතීතය ගැන නොදැනුවත්කමක් තමයි මෙයට මූලික හේතුව. 90 දශකයේදී අපි විවිධ සමාගම්වලට එන්න කිව්වා. එදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකථන ජාලයක් තිබුණේ නැහැ. මොබිටෙල් හි කොටසක් තිබුණත්, කළමනාකරීත්වයේ අයිතිය තිබුණේ ඔස්ට්‍රේලියානු සමාගමකටයි. ආණ්ඩුවේ සාම්ප්‍රදායක් තිබුණා මොබිටෙල් සමාගමෙන් සේවාවන් ලබා ගන්න. ඒ කොටසක් ටෙලිකොම් සමාගමට අයිති නිසා. නමුත් ‍මොබිටෙල් සමාගම ටෙල්ස්ටා ආයතයනය විසින් තමයි එහි කළමනාකාරීත්වය සිදුකළේ. ටෙලිකොම් කළමනාකාරීත්වය තිබු‍ණේ ජපන් සමාගමකටයි. ටෙලිකොම්හි සභාපති විදිහට ලංකාවේ කෙනෙක් හිටියත් මූලික තීන්දු තීරණ ගත්තේ ජපන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින්.

යුද්ධයක් තිබූ කාලයේදිත් ජංගම දුරකථන සමාගම් හතරක් සහ ස්ථාවර දුරකථන සමාගම් තුනක් රටේ තිබුණා. ඩයලොග් සමාගමේ පමණයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට හිටියේ. ඒකත් සියයට සියයක් මැලේසියාවට අයිති වෙලා තිබුණේ. ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව මන්තරයක් වගේ කියව කියව යනවා. සමහරු සටන් පාඨයක් කරගෙන.
ටෙලිකොම් ආයතනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට අයිති වෙලා තිබූ කාලයේ සියලු‍ම ජාත්‍යන්තර ඇමතුම් ගියේ කොළඹ ලෝටස් පාරේ පිහිටි ටෙලිකොම් මූලස්ථානයෙන්. ඒකට යම්කිසි හානියක් වුණොත් ලංකාවම ජාත්‍යන්තරයෙන් වෙන් වෙනවා. වයර් සහ සැටලයිට්වලින් වුණත් මෘදුකාංග පද්ධතියට හානි වුණොත් සමස්ත ජාලයම ඇනහිටිනවා. මුළු මෘදුකාංග පද්ධතියට විකල්ප ක්‍රමවේදයක් නැහැ.

ආණ්ඩුව ටෙලිකොම් පාලනය කරද්දිත් එහෙම තර්ජනයක් ජාතික ආරක්ෂාවට තිබුණා. එදා එල්ටීටීඊ සංවිධානය අවස්ථා දෙකකදී බෝම්බ ප්‍රහාර එල්ල කළා. පෞද්ගලිකකරණයෙන් පසුව අපි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ජපන් සමාගමට උපදෙස් දුන්නා. ඔවුන් වහාම අවශ්‍ය ආයෝජනය කරලා විකල්ප ක්‍රමවේදයක් වෙනත් ස්ථානයක ස්ථාපිත කළා. සියයට සියයක් ආණ්ඩුවට අයිති කාලයේත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂාව ගැන එදා පාලකයන් නොසලකා හැරියා. අවදානම් තැන අපි එදා හඳුනා ගත්තා. ඒ නිසයි ජපන් ආයෝජනය යටතේ විකල්ප ස්ථානයක බැකප් සයිට් එක හැදුවේ.

ශ්‍රී ලංකාව තුළ ඩේටා මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා. එකක් ටෙලිකොම් සමාගමට. අනිත් එක ‍ඩයලොග් සමාගමට. මේවාවල රජයේ දත්ත ගබඩා කිරීම සඳහා කුළියට අරන් තිබෙනවා. හරියට බැංකුවක තිබෙන ආරක්ෂිත සේප්පුවකින් කිසියම් කෙනෙක් කොටසක් කුළියට ගන්නවා වගේ. එතකොට ඒ සේප්පුව පාලනය කරන්නේ කවුද? අදාළ බැංකුව ද? නැහැ. ඒ සේප්පුව කුළියට කෙනා ගාව තමයි යතුර තිබෙන්නේ. ඒ වගේ රජයේ දත්ත ගබඩාවලටත් පිවිසෙන්න පුළුවන් අදාළ නිලධාරියාට විතරයි. ජාත්‍යන්තර ක්‍රමය තමයි එය.

ෆයිල් කියන්නේ පරණ චින්තනයක්. දැන් තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කරගෙන තිබෙනවා. ආරක්ෂාව තර කර ගැනීමට පිටපතක් ලංකාවෙන් පිට තිබීමෙන් තමයි වැඩි ආරක්ෂාවක් තිබෙන්නේ. නමුත් එයට ප්‍රවේශ විය හැක්කේ අපට පමණයි.
රජයේ ආයතනවලට දේශපාලනඥයන්ගේ සහෝදරවරුන්, ඥාතීන් දා ගන්නවා. අයථා වැඩ සිදුවෙන්නේ ඊට පසුවයි. සාමාන්‍යයෙන් ආංශික කාරක සභාවක සිටිය යුත්තේ දැනුම් තේරුම් අයයි. වෙනත් රටවල්වල එහෙම කොහොමද කරන්නේ කියලා සොයා බැලිය යුතුයි. හුදෙක්ම හිතළුවලින් පමණක් මේය සකස් කර තිබෙනවා. එවැනි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන කනගාටුවක් තිබෙනවා. විශේෂඥ දැනුම ඇති අයගෙන් දත්ත අරගෙන වාර්තාවක් හදන්න තිබුණා. නමුත් මේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව තමයි මේ වාර්තාව සකස් කරලා තිබෙන්නේ.


advertistmentadvertistment
advertistmentadvertistment