තුන්වැන්නාගේ සිනමාව සහ සනත්

201

සමන්ත කුමාර සෙනෙවිරත්න විසින් රචිත තුන්වැන්නාගේ සිනමාව හෙවත් සනත් ගුණතිලක සිනමාලංකාරය නම් සිනමා කෘතිය මේ වනවිට මුද්‍රණයෙන් නිකුත් වී ඇත. සිංහල සිනමා වංශය තුළ සනත් ගුණතිලක භූමිකාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ඇතුළත් එම කෘතිය පිළිබඳ එහි කර්තෘ සමන්ත කුමාර සෙනෙවිරත්න සමග සිදුකළ කතාබහක් පහත පළ වේ.

කෘතියේ අන්තර්ගතය පිළිබඳ යමක් සඳහන් කරනවා නම්

සනත් ගුණතිලකයන් කියන රංගවේදියාගේ සිනමා ජීවිතය මේ කෘතියේ අන්තර්ගතයි. ඒ වගේම ඔහුගේ සිනමා ජීවිතය පිළිබඳව මෙතෙක් කිසිදු මාධ්‍යයක සඳහන් නොවූ යම් යම් සිදුවීම් පවා මෙම කෘතියට ඇතුළත් කරන්න මට පුළුවන්කම ලැබුණා. එම නිසා කලාත්මක සිනමාව මෙන්ම වාණිජ සිනමාවත් එකසේ ජය ගන්නට සමත් වූ සනත් ගුණතිලක පිළිබඳ පුළුල් කියවීමක් මේ කෘතියේ අන්තර්ගතයි.

තුන්වැන්නාගේ සිනමාව සහ සනත්

සමන්ත කුමාර සෙනෙවිරත්න

මෙවැනි කෘතියක් රචනා කිරීමට යෑමේදී ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලකගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?

ඇත්තටම ඔහු මේ කටයුත්ත පිණිස මුලදී යම් අකැමැත්තක් ප්‍රකාශ කරනවා. කෘතිය රචනා කරන්න පෙර සනත් ගුණතිලකයන්ව මුණගැසෙන මම, කෘතියේ අන්තර්ගතය සහ කෘතිය සඳහා යොදාගත් නම සඳහන් කළාට පස්සෙ ඔහු මගෙන් විමසනවා කවුද පළමුවැන්නා සහ දෙවැන්නා කියලා. ඒ වෙලාවෙ මම පිළිතුරු දෙනවා පළමුවැන්නා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා දෙවැන්නා විජය කුමාරතුංග කියලා. එතැනදී සනත් ගුණතිලක බොහොම සද්භාවයෙන් කියනවා එහෙනම් ඔවුන් දෙදෙනා පිළිබඳවත් වෙනම පරිච්ඡේද දෙකක් මේ කෘතියට ඇතුළත් කරලා ඊට පසු ඔහු ගැන සඳහන් කරන්න කියලා. ඒ කොන්දේසිය මත තමයි මේ කෘතිය රචනා කරන්න ඔහුගේ අනුමැතිය හිමි වෙන්නේ.

ඔබ ඒ කොන්දේසි මත පිහිටමින් ද කෘතිය රචනා කරන්නේ

ඔව්. ගාමිණී සහ විජය කියන අපේ රටේ අග්‍රගණ්‍ය රංගනවේදීන් දෙදෙනා පිළිබඳව මේ කෘතිය ඇතුළෙ වෙන වෙනම කතා වෙනවා. ඔවුන් කලාත්මක සිනමාව සහ වාණිජ සිනමාව එකසේ ජයගත් ආකාරය, ඔවුන් රංගනයෙන් දායක වූ චිත්‍රපට මොනවාද කියන කාරණය, ඒ වගේම රසික සමාජය ඔවුන් පිළිබඳ දරන මතය ආදී කරුණු කාරණා රැසක් මීට ඇතුළත් වෙනවා. එපමණක් නොවෙයි විජය කුමාරතුංගයන් තුළ පැවැති මානව දයාව ආදී කරුණුත් සාකච්ඡාවට බඳුන් වෙනවා.

සනත් ගුණතිලක පිළිබඳ සඳහන් කිරීමේදී ඔබ වඩාත් විමසිලිමත් වූවේ මොන වගේ කරුණු පිළිබඳව ද?

සනත් ගුණතිලකයන් සිනමාවට ප්‍රවේශ වීමේ සිට බොහෝ කරුණු කාරණා පිළිබඳ මෙහි සඳහන් කරල තිබෙනවා. ඔහුගේ හොඳම චිත්‍රපට ගැන, ඒ වගේම කලාත්මක හා වාණිජ සිනමාව ඇතුළෙ ඔහුගේ භූමිකාව මොන වගේද ආදී කාරණා සහ ඔහුගේ විශිෂ්ටතම රංගනයක් දැක බලා ගැනීමට ලැබෙන ‘විරාගය’ චිත්‍රපටය පිළිබඳ වෙනම පරිච්ඡේදයක් මේ කෘතියේ අන්තර්ගතයි. තිස්ස අබේසේකරයන් ඔහුව අරවින්දගේ චරිතයට තෝරා ගත් පසුව සිනමා විචාරකයන් ඒ තීරණයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම් ආදියත් ඊට ඇතුළත් වෙනවා.

සනත් ගුණතිලක පිළිබඳව මීට පෙර රචනා කර ඇති කෘතීන් අතරින් මේ කෘතිය වෙනස් වන්නේ කුමන කාරණා මතද?

ඔහු ගැන මීට පෙර පළවූ කෘතීන් දෙස බලද්දී පේන දෙයක් තමයි ඒ හරහා කතා කරන්නෙ ඔහුගේ කලාත්මක සිනමාව ගැන පමණයි කියන එක. නමුත් සනත් ගුණතිලක නළුවෙක් විදිහට වාණිජ සිනමාවත් ඉහළින්ම ජය ගන්නවා. මම ඒ පිළිබඳව කතා කරනවා. නමුත් අපේ රටේ සිනමාව පිළිබඳ විමසිල්ලෙන් පසුවන අය ඊට අමතරව විචාරක පාර්ශ්ව ද වාණිජ සිනමාවෙන් බැහැර වෙලා තමයි සිනමාව ගැන කතා කරන්නේ. අපේ රටේ සිනමා කර්මාන්තය යම් තරමකට කඩාවැටීමටත් ඒක බලපෑවා. ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට එන්නෙ ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න නොවෙයි.

සිනමාව කියන්නෙ එක්තරා අන්දමක විනෝද මාධ්‍යයක්. යම් වින්දනයක් ලබා ගැනීමේ අරමුණින් තමයි ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට එන්නේ. නමුත් අපේ රටේ විචාරකයො මේක දැක්කෙ නෑ.

ඔබ සඳහන් කරන පරිදි සනත් ගුණතිලක කලාත්මක සිනමාව වගේම වාණිජ සිනමාවත් එකසේ ජයගත් රංගන ශිල්පියෙක් ද?

ඔහු රගපෑ ‘සත්වෙනි දවස’ චිත්‍රපටය තුළ තනිවම නළුවෙක් විදිහට සාර්ථක වෙනවා. “ගඟ අද්දර” චිත්‍රපටය තුළත් ඔහු ඒ සමත්කම දක්වනවා. එතැන් සිට කලාත්මක සිනමාව තුළත්, වාණිජ සිනමාව තුළත් ඔහු අතිශය සාර්ථක රංගන පෞරුෂයක් බවට පත් වෙනවා. එතැන තිබෙන තවත් විශේෂත්වයක් තමයි විජය කුමාතුංග රංගනය තුළ සිටින අවධියේ තමයි සනත් ගුණතිලකත් විජය තරමටම ජනප්‍රියත්වයට පත් වන්නේ. ගාමිණී ෆොන්සේකාට එහෙම අභියෝගයක් තිබුණෙ නෑ. නමුත් විජය කුමාරතුංග අවධිය වනවිට අමරසිරි කලංසුරිය, තිස්ස විමලසුරේන්ද්‍ර ඔහුට යම් අභියෝගයක් කරන්න පුළුවන් රංගන ශිල්පීන් බවට පත් වුණා. නමුත් සනත් ගුණතිලක සිනමාවට පිවිසි 80 දශකය වනවිට ඔහුට වෙනත් වෙනත් අභියෝග පවා තිබුණා. ඒ වෙද්දී 70 දශකයට සාපේක්ෂව සිනමාව යම් කඩාවැටීමකට ලක්වෙලා. තවත් පැත්තකින් ඉන්දියානු සිනමාව මෙරට ආක්‍රමණය කරලා. ඊට අමතරව ඔහුගේ සමකාලීනයන් ලෙස ජීවන් කුමාරතුංග, සශී විජේන්ද්‍ර, රන්ජන් රාමනායක ආදීන් ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටියා. නමුත් මේ සියලු දේ යටපත් කරමින් සනත් ගුණතිලක ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කර ගන්නවා. ඒක කලාත්මක සිනමාවේ වගේම වාණිජ සිනමාව තුළත් කැපී පෙනෙන ලක්ෂණයක් බවටත් පත් වුණා.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment