ඩොලර් හිඟයෙන් ඖෂධ හිඟයකුත්  අත ළඟ

201

දැනට ප‍්‍රමාණවත් බෙහෙත් තොග රජයේ රෝහල්වල හා වෛද්‍ය සැපයුම් අංශයේ බෙහෙත් ගබඩාවල පැවතිය ද රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉදිරි සතිවලදී රෝහල්වල උග‍්‍ර බෙහෙත් හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ ඖෂධවේදීහු පවසති.

මේ වන විට රජයේ රෝහල්වල ඇතැම් බෙහෙත් වර්ගවල අඩු සැපයුමක් පැවතියද එය රෝගීන්ට විශාල බලපෑමක් එල්ල කර නොමැත. බෙහෙත් සැපයුම තවත් සීමා වුවහොත් ඉදිරියේදී රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක් වනු ඇතැයි ඖෂධවේදීහු කියා සිටිති.

‘‘තවමත් රජයේ ප‍්‍රධාන රෝහල්වල ජීවිතාරක්ෂක බෙහෙත් ඇතුළු අනෙකුත් බෙහෙත් තොග පැවතිය ද ඉදිරියේදී එය වෙනස්වීමට ඉඩ ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. මේ අතර ඖෂධ ආනයනකරුවන් විසින් පවතින ඩොලර් අර්බුදය හමුවේ බෙහෙත් ආනයනය සීමා කර තිබීම හේතුවෙන් පෞද්ගලික ඔසුසල්වලට සපයන බෙහෙත් ප‍්‍රමාණය සීමා කිරීමට පියවර ගෙන තිබේ. මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් නොයෙදුවහොත් ඉදිරියේදී පෞද්ගලික ඔසුසල්වලද උග‍්‍ර බෙහෙත් හිඟයක් මතුවන ලකුණු පහළ වී ඇති බව ඔසුසල් හිමිකරුවෝ පවසති.

පවතින ඩොලර් අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල මිල ගණන් වැඩි කරන්නැයි ඖෂධ ආනයනකරුවන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එයට අදාළ නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment