ආයෝජන මණ්ඩලයේ විශ්ලේෂණ නෑ: – ක්‍රමෝපාය පනතට අනුමැතිය නෑ

112

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබානොදීම හේතුවෙන් අද (04දා) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකළ නියමයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි නොවිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (03දා) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන මෙම ගැසට් පත්‍රයේ සඳහන් මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12 ක බදු සහන ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එහි දී ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබාදීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළකළ කමිටු සභාපතිවරයා ඒ අනුව මේ මොහොතේ ඊට අනුමැතිය ලබාදිය නොහැකි බවත් පැවසීය.

මෙම බදු සහනය සම්බන්ධයෙන් හෝ මෙම සමාගම් සම්බන්ධයෙන් තමන් ඇතුළු කාරක සභාවට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙවැනි තීරණ ගන්නා විට එහි ආර්ථික බලපෑම පිළිබඳ දත්ත, තොරතුරු ඇතුළත් විධිමත් විශ්ලේෂණයක් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය. රටක ආර්ථික ප්‍රගමනය සඳහා පවතින ප්‍රධානතම ආයතනයක් වන ආයෝජන මණ්ඩලය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කාරක සභාව මෙහිදී පැවසීය.

මේ අනුව අද පෙ. ව. 9.00 පමණ වනවිට සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැැන් වූ කාරක සභා සභාපතිවරයා එහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි නම් අදාළ ගැසට් පත්‍රයට අනුමැතිය ලබාදීමට හැකියාවක් නොමැති බව ද පැවසීය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment