තනිකම හා ‘ඩිමෙන්ෂියාව’ ඇති වැඩිහිටියන් වැඩි වෙලා – මානසික රෝග වෛද්‍ය මල්ෂා ගුණතිලක

512

තනිකම හා ‘ඩිමෙන්ෂියාව’ යන රෝග තත්ත්වයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවතීම හේතුවෙන් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව මානසික රෝග වෛද්‍ය මල්ෂා ගුණතිලක මහත්මිය පවසන්නීය.

මෙරට වැඩිහිටියන්ගෙන් සියයට 6 ත් 7ත් අතර ප්‍රතිශතයකට ‘ඩිමෙන්ෂියා’ රෝගය පවතින බවත් රට හැර යන දූ දරුවන් හේතුවෙන් තනිකම යන තත්ත්වයෙන් පෙළෙන වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බවත් ඇය සඳහන් කළාය. මෑතකදී හික්කඩුව ප්‍රදේශයේ සිදු කරන ලද සමීක්ෂණයකදී එම ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් සියයට 48ක්ම තනිකම යන තත්ත්වයෙන් පසු වන බව හෙළි වූ බව පෙන්වා දෙන වෛද්‍ය ගුණතිලක මහත්මිය මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ගෝලීය ජනගහනයෙන් ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය හා ශ්‍රී ලාංකීය ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය සමාන වීම නිසා රජයේ වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර එම තත්ත්වයන්ට පිළියම් යෙදිය යුතු බව ද අවධාරණය කළාය.

මෙරට වැඩිහිටි ජනගහනය අතර වැඩිවෙමින් පවතින ඩිමෙන්ෂියා රෝග තත්ත්වය සම්බන්ධයෙන් මෙරට අවසන් වරට සමීක්ෂණයක් සිදු කරන ලද්දේ වසර 20කට පමණ පෙර බවත් ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ පැවැත්වීම අවම වීම හා එවැනි රෝගයකින් පෙළෙන වැඩිහිටියන් රැක බලාගැනීමේ පහසුකම් අවම වීම කාලීන ගැටලුවක් බවත් ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් පෙරේදා (04 දා) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ගුණතිලක පැවසුවාය.

ඇය වැඩිදුරටත් මෙසේද කීවාය. “ශ්‍රී ලාංකීය වැඩිහිටියන් අතර” ‘ඩිමෙන්ෂියාව’ වැඩි වීම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි, මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ අමතක වීමයි. සිතීමේ හැකියාව නැති වීම, කථාබහ කිරීමේ ගැටලු මතු වීම, වචන සිර වීම පවසන දේ තේරුම් ගැනීමට නොහැකි වීම, යම් යම් දේවල් සොයා ගැනීමට නොහැකි වීම සෙසු රෝග ලක්ෂණ වේ. මෙම රෝග තත්ත්වය වර්ධනය වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් විය හැකි නිසා වගකිවයුතු අංශ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නිවසේදී රැක බලාගත නොහැකි එවැනි රෝගීන් රැක බලා ගැනීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.”

මෙහිදී අදහස් දැක්වූ පවුල් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ශ්‍යාමලී ඒකනායක මහත්මිය පැවසුවේ වැඩිහිටියන් රූපවාහිනිය ඉදිරිපිට වැඩි කාලවේලාවක් ගත කිරීම මානසික ආතතිය මෙන්ම කායික ගැටලු වැඩි වීමට බලපා ඇති බවයි. මේ නිසා ඔවුන්ගේ කායික ක්‍රියාකාරිත්වය හා සමාජය හා අන්තර් ක්‍රියා කිරීම අවම වීමෙන් රෝග රැසකට එය මුල් වන බව ඇය සඳහන් කළාය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment