තවත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා විදුලි බිල 37%කින් අඩු කරන්න – ජාජබ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ

41

විදුලි බිල 37%කින් අඩු නොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා කියලා ඇමතිවරයාට අවධාරණය කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ජාතික ජන බලවේගය ඊයේ (27දා) පැවත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය .

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ අපි සහ තවත් සංවිධාන කිහිපයක් මහජන උපයෝගී කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගත්තා. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මුලින් ප්‍රකාශ කළේ 3.34%කින් පමණක් බිල අඩු කළ හැකි බවයි. 2023 ඔක්තෝබර් මාසයේදී නීති විරෝධීව 18%කින් විදුලි බිල වැඩි කළා. අවුරුද්දකට දෙවරක් සංශෝධනය කළ යුතු වුවත් අනාගතයටත් බලපාන ලෙස තුන්වරක් සංශෝධනය කළා. විදුලි බල ඇමැති දැන් කියන්නේ ඔක්තෝබර් මාසයේ තිබුණු මිල ගණන්වලට නැවත ගෙනයන බවයි. ඔවුන් කියන කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ මුළු ආදායම රුපියල් බිලියන 710ක් වන විට මුළු වියදම බිලියන 688ක් බව කීවා. සියලු‍ වියදම් පියවා ගත්තාම බිලියන 23ක අතිරික්තයක් තිබෙන බවත් ඒ අනුව 3.34%කින් මිල අඩු කළ හැකි බවත් කීවා. නමුත් අපි මහජන උපයෝගීතා කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කරමින් විදුලි ධාරිතාවේ පිරිවැය බිලියන 50ක සිට බිලියන 133ට වැඩිකර තිබෙන බවත්, බෙදා හැරීමේ පිරිවැය 150%කින් පමණ ඉහළ දමා ඇති බවත් පෙන්වා දුන්නා. බැංකුවලින් ගෙන තිබෙන ණය පොලිය ලෙස රුපියල් බිලියන 53ක් ගෙවිය යුතු බව මණ්ඩලය කියා තිබෙනවා. නමුත් වර්තමාන පොලිය අනුව ගෙවීමට වෙන්නේ රුපියල් බිලියන 45ක් පමණයි.

පාරිභෝගිකයා සූරාකමින් ජාවාරම්කාරී ජඩ අරමුණු වෙනුවෙන් ඇමැතිවරයා සහ නිලධාරීන් ක්‍රියාකරන බව අප මහජන උපයෝගීතා කොමිසමට පෙන්වා දුන්නා. 2023 විදුලි බල මණ්ඩලයේ ලාභය බිලියන 48ක් බව ඔවුන් කීවා. විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අලු‍තින් ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව වියදම බිලියන 93කින් අඩු කළ හැකි බව කියා තිබෙනවා. ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව විදුලි බල මණ්ඩලයේ මිල තීරණය කළ යුත්තේ ලාභ ලැබීමේ අරමුණෙන් නොව, වියදම් පියවා ගැනීමේ අරමුණෙන්. තවත් බිලියන 14කින් ලාභය වැඩිවී තිබෙනවා. පොලිය සඳහා වැඩියෙන් ඇතුළත් කර තිබුණු බිලියන 08කින් ලාභයට එකතු වී රුපියල් බිලියන 70ක අමතර ලාභයට විදුලිය ජනනය සහ බෙදාහැරීමේ වියදම් ලෙස වැඩිපුර එකතු කර තිබූ බිලියන 140ක් තිබෙනවා. මේ අනුව විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 210කට වැඩි අමතර මුදලක් ගිණුම් අතරේ සඟවා තබා ඇති බව පැහැදිලියි. මුළු වියදම බිලියන 680ක් බව පෙර සඳහන් කර තිබුණත් ඒ වියදමින් බිලියන 210ක් අඩු වුණාම 470ක් දක්වා වියදම අඩු වෙනවා. ඒ අනුව විදුලි බිල 37%කින් අඩු කරන්න පුළුවන්.

මහජන උපයෝගීතා කොමිසම කංචන විජේසේකර ඇමතිගේ නොව මේ රටේ ජනතාවගේ කොමිසමක් බව අපි ඒ නිලධාරීන්ට ප්‍රකාශ කළා. ඇමැතිගේ මනදොල සම්පූර්ණ කිරීම, ඉහළ නිලධාරීන්ගේ ජාවාරම් ආරක්ෂා කිරීම, කොමිසමේ කාර්යභාරය නොවෙන බව පැහැදිලි කර දුන්නා. මේ මිල අඩුනොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි ඇමැතිවරයාට අවධාරණය කරනවා. අපි කරන ලද කරුණු දැක්වීමට ඇහුම්කන් දීම පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමට ස්තුතිවන්ත වෙනවා. මෙයට පෙර හැසුරුණු ආකාරයට හැසිරෙන්නේ නැතිව මහජනතාවගේ අදහස් ලබාගෙන, නැවත විදුලි බල මණ්ඩලයෙන් දත්ත ලබාගෙන කටයුතු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. නැවත මේ රැස්වී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් සිට තීරණය ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටිනවා. විදුලි බල මණ්ඩලයේ වියදම බිලියන 210කින් අඩු කළ හැකි බව අපි පෙන්වා දුන්නේ අවම වශයෙන් කළ හැකි මට්ටමයි. තවදුරටත් ජනතාව පීඩාවට පත්කරමින් සූරාකන ජාවාරමට උදව් නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇමැතිවරයා සහ මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අත්තනෝමතික ලෙස සැඟවීමට උත්සාහ කළ වියදම් හෙළි වී තිබෙන බව අවධාරණය කරනවා. පසුගිය 15වැනිදා මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ ඉතිහාසයේ පළමු වතාවට අපි කරුණු ඉදිරිපත් කළ පසුව ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. නැවත ඇමැති කාංචනගේ හස්තයට යටනොවී සත්‍ය ලෙස 37%කින් අඩු කළ හැකි විදුලි බිල සම්බන්ධයෙන් පියවර ගත හැකි අවස්ථාව මඟනොහරින ලෙස අවධාරණය කරනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

මහජන උපයෝගීතා කොමිසම පිහිටුවා තිබෙන්නේ මේ රටේ පුරවැසියන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්නයි. 2002 මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සම්මත කරගෙන කොමිසම පිහිටුවා තිබෙන්නේ විදුලි ගාස්තු සංශෝධනයකදී මහජනතාවගෙන් අදහස්වලට ඇහුම්කන් දෙන්නයි. විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය විසින් මේ කොමිසමට ඉදිරිපත් කර තිබූ 3.34%ක විදුලි බිල අඩු කිරීම ඒ ආකාරයෙන්ම පිළිගන්න කොමිසමට නොහැකි වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අපිත් තවත් පාර්ශ්වයනුත් ඉදිරිපත් කළ කරුණු අනුවයි. තව පැත්තකින් පරාටේ නීතිය අනුව ඉහළම රෝහල් පවා බැංකුවලට සින්න වී තිබෙනවා. අනෙක් පැත්තෙන් සාමාන්‍ය පාරිභෝගිකයන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට විදුලි බිල ගෙවා ගත නොහැකිව විදුලිය විසන්ධි කර තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment