තියෙන අර්බුදය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් නතර කරන්න බෑ

183

දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර

උවිඳු විජේවීර ශ්‍රී ලාංකීය දේශපාලනයට පිවිසෙන්නේ රටේ දේශපාලනයේ අර්බුදකාරි සමයකය. උවිඳු, ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පුත්‍රයා වුවද ඒ මඟ තෝරාගත්තේ නැත. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ‘දෙවන පරපුර’ නම් නව පක්‍ෂයෙනි. ඒ මීට වසර ගණනාවකට පෙරය. මේ වත්මන් දේශපාලනය ගැන උවිඳු සමග කළ කතාබහකි

ප්‍රශ්නය:- ඔබ කුඩා කල සිට තරුණ විය දක්වා කඳවුරු ජීවිතයක් ගත කරල පසුකාලීනව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්න සමත් වුණා. මේ වෙනකොට පක්‍ෂයේ ක්‍රියාකාරිත්වය කොහොමද?

පිළිතුර:- මීට වසර හය හතකට කළින් තමයි දෙවන පරපුර නිර්මාණය කරන්නේ, අපට ඒ උත්සාහය පිළිගත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කරන්න හැකි වීම පිළිබඳව ඇත්තේ විශාල සතුටක්, ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් කැප වුණා, මහන්සි වුණා.

ළමා වියේ සිට තරුණ විය දක්වාම කඳවුරු ජීවිතයක් ගත කරල බොහෝ අහිමි වීම් අභියෝග මැද්දේ ජීවිතය ජයග්‍රාහී තැනකට ගෙනත් රටට අවශ්‍ය මොහොතක නව දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය ලබා දෙන්න පුළුවන් වීම ගැන අවංක සතුටක් දැනෙනවා, එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ අතර ළාබාලතම නායකයා මම විය යුතුයි, මේ හැම ජයග්‍රහණයක් එක්කම රටට උපරිම සේවයක් ලබා දීම තමා අනාගත බලාපොරොත්තුව සේම අප මුහුණපා ඇති අභියෝග සියල්ල ජයගන්න අපට පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා, ඒ හැකියාව අප රට සතුයි.

අනෙක අප රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ බොහෝ විට නිර්මාණය වුණේ පක්ෂ කැඩිලා හෝ පක්ෂ එකතු වෙලා, රාජ්‍ය බලය හුවමාරු වුණේ ඒ පිරිස අතර. නමුත් අපි විශ්වාස කරනවා ඉන් එහාට ගිය දැක්මක් සහිත නව දේශපාලන ප්‍රවාහයක් රටට අවශ්‍යයි කියලා.

ප්‍රශ්නය:- පළාත් පාලන මැතිවරණය සඳහා ඔබ පක්ෂය තරග කිරීමට කටයුතු කර නෑ, ඒ ඇයි?

පිළිතුර:- අපි විශ්වාස කරන්නේ නෑ, මේ අර්බුදය පළාත් පාලන මැතිවරණයක් තුළින් සමනය කරන්න පුළුවන් කියලා. අසරණ මිනිස්සු බෙහෙත් නැතිව රෝහල්වල දුක් විඳිනවා රටේ ජනතාවට කන්න අඳින්න නෑ, දරුවන්ගේ අවශ්‍යතා ඉටුකරන්න නොහැකි තත්ත්වයට බොහෝ දෙමව්පියෝ පත්වෙලා, ඒ වුණාට දේශපාලන පක්ෂවලට මැතිවරණවලට වියදම් කරන්න ඇති තරම් මුදල් තිබෙනවා. ප්‍රධාන පක්ෂ සියල්ල මෙවැනි මැතිවරණයකට පවා කොතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කරනවාද, ඒ අයට අවශ්‍ය බලය විතරයි, ඇත්ත කථාව ඒක, අප රටේ මිනිස්සු පාරට බැහැල අරගල කරල ජනාධිපතිවරයා, අගමැතිවරයා ගෙදර යැව්වේ රටේ පාලන වෙනසක් අවශ්‍ය නිසා.

ඒ අවස්ථාවේ දෙවන පරපුර ලෙස අපිත් පැහැදිලි යෝජනා මාලාවක් යොමු කළා පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම පක්ෂවලට.

ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් සියලුදෙනා එම ධුරවලින් ඉවත්ව ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන විද්වත් මඬුල්ලක් වෙත යෝජිත කෙටි කාලීනව පාලන බලතල ලබා දී පැවැති තත්ත්වය සමනය කර ඉක්මනික් මැතිවරණයක් කරා යන්න. නමුත් අවාසනාවට ඒ යෝජනා ක්‍රියාත්මක වුණේ නෑ. එසේ වූවා නම් වත්මන් ජනාධිපතිවරයාට එම ධුරය ලැබීම කෙසේ වෙතත් පාර්ලිමේන්තු අසුන පවා අහිමි වෙනවා.

දැන්වත් හැකි ඉක්මනික් ආණ්ඩුව රටේ විධායකය, ව්‍යවස්ථාදායකය නැවත තෝරාපත් කර ගන්න ජනතාවට අවස්ථාව ලබා දීම සිදු කළ යුතුයි.

ප්‍රශ්නය:- රටේ පවතින ආර්ථික අර්බුදය බොහෝ පහළ මට්ටමේ ජීවන තත්ත්වයක් හිමි ජනතාවට දරාගත නොහැකියි. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත් පෙනෙන්නට නෑ නේද?

පිළිතුර:- ආණ්ඩුවේ සියලු වැරදිවලට අද වරදකරුවන් වෙලා තියෙන්නේ රටේ මහ ජනතාව. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කිසිවක් අඩු කරන්න ඔවුන් කථා කරනවද? නෑ. එතනදී පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකට ඉන්නවා.

පහළ මට්ටමේ ජීවන තත්ත්වයක් හිමි ජනතාව මෙවන් අර්බුදයක් තුළදී පළමුව ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි. ඒ අයගේ පාරිහෝජන වටපිටාව සහ ආදායම් මාර්ග අන් සියල්ලටම කලින් සුරක්ෂිත කළ යුතුයි. මොකද මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්න අවශ්‍ය ආර්ථික සුරක්ෂිතභාවය අහිමිම පිරිස ඔවුන්.

ප්‍රශ්නය:- රට මුහුණපා ඇති වත්මන් අර්බුද සඳහා වගකිව යුතු පිරිස්ම මේ රට අදටත් පාලනය කරනවා නේද?

පිළිතුර:- වෙනත් රටක නම් මෙවැනි අර්බුදයක් නිර්මාණය කරපු අය දේශපාලනයෙන් සමුගන්නවා හෝ වැරදිවලට දඬුවම් ලබනවා. නමුත් අවාසනාවට අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති කරන්න පාලකයෝ කිසිදු ඉඩක් හිමි කර දී නෑ. කොතරම් වූ චෝදනා තිබෙන අය අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවාද, ඇමැතිකම් දරනවාද ඔවුන් සියලුදෙනාම මේ වත්මන් අර්බුදයට වගකිව යුතුයි.

ප්‍රශ්නය:- ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සාධනීය සහයක් මෙතරම් අසීරු මොහොතක පවා අප හිමිවන බවක් පෙනෙන්නට නෑ. ඒ ගැන අදහස කුමක්ද?

පිළිතුර:- ජනතාව ප්‍රතික්ෂේප කළ දූෂිත බංකොලොත් පාලකයෝ ලෝකය විසින් පිළිගනීවිද. ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාවට ඔවුන් පිළිබඳව විශ්වාසයක් නෑ. ඒ නිසා කොහොමද රටට අරමුදල් හෝ සහන සලසන්නේ ආයෝජන දිරිමත් කරන්නේ. ඒවා නැවත ඔවුන් පිල්ලි ගසාවි යන බිය ජාත්‍යන්තර ප්‍රජාවට ඇති. රටේ දේශපාලන අස්ථාවරභාවය සහිත ජන බලය අහිමි පාලන ක්‍රමයකට ජාත්‍යන්තර ප්‍රසාදය හිමි කර ගත නොහැකියි.

ප්‍රශ්නය:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ලෝක බැංකුවට අප රටේ වත්මන් අර්බුදය විසඳිය හැකිද?

පිළිතුර:- කිසි විටකත් බෑ. රටේ ගැටලුව වඩාත් සංකිර්ණයි. එය දිගුකාලීනව විසඳුම් සෙවිය යුතු තත්ත්වයක්. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව මඟින් පවතින තත්ත්වයට කෙටිකාලීන පිළිසරණක් ලබාගන්න පුළුවන් වේවි. නමුත් ඔවුන් යෝජනා කරන කොන්දේසි පිළිබඳවත් අප සැලකිලිමත් විය යුතුයි. කෙසේ වෙතත් මේ වත්මන් අර්බුදය නිර්මාණය වීමට පෙර රජයට එවැනි කෙටි කාලීන විකල්ප අවස්ථා තෝරන්න තිබ්බා.

මේ අර්බුදය අපේ නම් එයට විසඳුම් සොයන්න වෙන්නෙත්, විසඳුම් අවශ්‍ය වන්නෙත් අපටම තමයි. ඒ සඳහා සේවා, කෘෂි, කාර්මික, අංශ සියල්ල නියෝජනය වන ශක්තිමත් නිෂ්පාදන අර්ථ ක්‍රමයක් ගොඩනඟා ගත යුතුයි, ඒ හැර රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙනත් විකල්ප නෑ.

අනෙක අප රටට දීර්ඝකාලීන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි, පාලකයො වෙනස් වුවත් ඒ වැඩපිළිවෙළ ඉදිරියට වසර පහළොවක් විස්සක් වැනි කාලයක් දක්වා ක්‍රියාත්මක කළ යුතුයි.

ප්‍රශ්නය:- ඔබ දැනට රුසියාවේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන කෙනෙකු ලෙස මේ අවස්ථාවේ රුසියානු රජයෙන් අප රටට යම් අස්වැසිල්ලක් ලබා දෙන්න කටයුතු කළොත් එය වැදගත් වේවි නේද?

පිළිතුර:- අනිවාර්යයෙන් එහි මූලික පියවරක් වශයෙන් රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ දක්ෂ දරුවන්ට නොමිලේ අවස්ථාව ලබා දෙන්න දෙවන පරපුර අපට හැකියාව ලැබිල තිබෙනවා. ඒ සඳහා මේ දිනවල අවශ්‍ය කටයුතු සිදුකරනවා. න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳව උපාධි පාඨමාලා පවා එයට ඇතුළත්. කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මෙවැනි අවස්ථා අප රටට මීට පෙර හිමිකර දී නෑ.

අනාගතේ දී අප රට නැවත ගොඩ නැගීමට ජාත්‍යන්තර සබඳතා තුළින් ලබාගත හැකි සියලු සහය ලබාගන්න උත්සහ කරනවා. රටේ දරුවෝ ලෝකය දිනන්න ලෝකය දකින්න ඕන. එයට ඒ අයගේ ආර්ථික සමාජ මට්ටම දේශපාලන භාවිතාව බලපාන්න බෑ. දක්ෂතාව හැකියාව තමයි මූලික වෙන්න ඕනේ. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉන්නේ එතන.

ප්‍රශ්නය:- රටේ පවතින වත්මන් ආර්ථික සමාජ දේශපාලන අර්බුදය ඔබ පක්ෂය දකින්නේ කුමන ආකාරයකින්ද?

පිළිතුර:- නිදහසින් පසු නිවැරදි මාවත තෝරගන්න අපේ පාලකයෝ අසමත් වුණා. රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන කර්මාන්ත බිහි කළේ නෑ. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි ක්‍ෂේත්‍ර ඇති අපට ලෝකයේ ප්‍රබල රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන්න. ලෝකයේ භූගෝලීය පිහිටීම අනුව අපේ රට ලොව ප්‍රධාන පෙළේ වෙළඳ මධ්‍යස්ථානයක්. නමුත් මේ ගැන පාලකයෝ කල්පනා කරල තියෙනවද?

අපට චින්තනමය වෙනසක් නොමැතිව රටට දිගු ගමනක් යන්න බෑ, නිර්මාණශීලි පරපුරක් බිහිවෙන්න ඕන. කුඩා කල පටන් දරුවන්ගේ යහපත් ආකල්ප ගොඩ නැන්වීම අවශ්‍යයි. නැහැ බැහැ වෙනුවට පුළුවන් කියන අදහස් තුළින් සමාජය පෝෂණය කළ යුතුයි.

ප්‍රශ්නය:- මේ ආර්ථික අර්බුදය රටේ අනාගතයට මෙන්ම අපේ දරු පරපුරේ හෙට දවස කෙරෙහි කෙසේ බලපාවිද?

පිළිතුර:- ඉතා කනගාටුදායක තත්ත්වයක් රට බංකොලොත් කළ උදවිය කෙටි කලකින් මිය යාවි. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙන්නේ අනාගත පරපුරට. මේ අර්බුදය විසින් අප රටේ අනාගතය භයානක අවිනිශ්චිත තත්ත්වයකට පත්කර අවසන්. අදටත් කාටවත් උත්තර නෑ අනාගතය වෙනුවෙන් ගත යුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව. මේ දුර්වල ආර්ථිකය නිසාම දරුවෝ මානසික කායිකව දුර්වල වෙනවා කියන්නේ ඔවුන්ගේ අනාගතය විතරක් නොවේ, රටේ අනාගතයත් විනාශ වෙනවා කියන එකට.

ප්‍රශ්නය:- අපට රටක් ලෙස නැවත නැගී සිටිය හැකිද? ඒ සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග කවරේද?

පිළිතුර:- කෙටිකාලීන විසඳුම් සොයන්න ඕන රටේ විදෙස් සංචිත ප්‍රමාණය වැඩි කරගන්න. ඒ සඳහා ලෝකයේ බලවත් රාජ්‍යවල සංවිධාන සහය මේ මොහොතේ අවශ්‍යයි. නමුත් ඒ සඳහා නැවුම් දේශපාලන කඳවුරක් රට තුළ ස්ථාපිත වෙලා ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කර ගන්න ඕන. ඉන්දියාව, ඇමරිකාව චීනය වගේ රටවල් කිහිපයකට පමණක් අපි සීමා නොවී ලොව බලවත් රාජ්‍යයන් සියල්ල සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැනීම කළ යුතුයි. ඔවුන්ගේ ද සහයත් ඇතිව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි.

අද බංග්ලාදේශය පවා රුසියාව වැනි රටවල්වල සහාය ලබාගෙන ලොව නවීන තාක්ෂණය සහිතව තමන්ගේ බලශක්ති අර්බුදවලට විසඳුම් සොයා ගෙන අවසන්. ශ්‍රී ලංකාව කියන්නේ ජලය, සුළං, මුහුදු රළ, සූර්ය බලය වැනි කොතරම් බලශක්ති උත්පාදන මාධ්‍ය හිමි රටක් ද, නමුත් කෝ අපට සැලසුම්.

විදෙස් මුදල් රටට ගලා එන කර්මාන්ත නඟා සිටුවන්න කටයුතු කරන්න ඕන. අපනයන අභිමුඛ කර්මාන්ත ගොඩ නැගීම වගේම ඒ සඳහා විදෙස් වෙළඳපොළ නිර්මාණය කළ යුතුයි.

ප්‍රශ්නය:- රජය විසින් වෘත්තිකයන්ගේ වැටුප් මත පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය තුළින් ඔවුන් දැඩි ලෙස පීඩනයට පත්වීම හා රටේ වත්මන් බදු ප්‍රතිපත්තිය ගැන අදහස?

පිළිතුර:- රටක් ශක්තිමත්ව ගොඩ නැගීමට ඉදිරියට ගෙන යෑමට ආදායම් විෂම ව්‍යාප්තිය අවම කර දිළිඳු ජනතාවට සහන දෙන්න සේම රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීමට ගුණාත්මක බදු ක්‍රමයක් පැවතිය යුතුයි. ලෝකයේ සාමාන්‍ය ක්‍රමවේදය එයයි.

නමුත් අප රටේ පාලකයෝ කරපු වැරදි නිසා ඔවුන්ගේ දුර්වල තීරණ නිසා සිදු වූ ආර්ථික කඩා වැටීම සමනය කරන්න දවසින් දවස අසරණ වන මිනිස්සු සහ වෘත්තිකයන් මත මහා බදු බරක් පැටවීම අනුමත කරන්න බෑ. බොහෝ ඉහළ වැටුප් ලබන පිරිස් පවා තම ජීවන වටපිටාව නිර්මාණය කර ගෙන සිටින්නේ ආදායමට සරිලන ලෙස ණය හෝ වෙනත් මූල්‍ය පහසුකම් ලබාගෙන. නමුත් මෙවැනි විශාල බදු බරක් එකවර පැනවුණාම මේ ජීවන වියදම සමග ඒ අයට පවා තම ජීවිතය පවත්වා ගෙන යෑම පහසු නෑ.

ප්‍රශ්නය:- වෘත්තිකයන් උගතුන් තරුණ ප්‍රජාව රට අතහැර විදෙස් රැකියා සඳහා බහුල වශයෙන් යොමු වීම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර:- රටක වගකිව යුතු බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් උගතුන් හා හැකියාව ඇති පිරිස් ඒ ක්ෂේත්‍රවලින් එකවර ඉවත් වුණාම ඒ සියල්ල කඩා වැටෙනවා. බොහෝ විට රටේ තරුණ පරපුර උසස් අධ්‍යාපනයට යොමු නොවී රට අතහැර යාවි. ඒ අනුව රටේ ආර්ථික ක්‍රියාවලිය සඳහා අවැසි වෘත්තිකයන් සොයා ගැනීම පවා අපහසු වේවි. ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍ර බොහෝ විට අනාගතයේ දී බිඳ වැටේවි.

කෙසේ වෙතත් තරුණ පිරිස මෙන්ම රටේ උගතුන් විද්වතුන් රට හැර යෑම ඉතා කනගාටුදායක තත්ත්වයක්.

ප්‍රශ්නය:- අප රටේ පසුගිය කාලයේ සිදු වූ ජනතා නැගිටීම පිළිබඳව ඔබ පක්ෂයේ මතය ඉදිරිපත් කළොත්?

පිළිතුර:- මිනිස්සු තමන්ට ජීවත් වෙන්න අපහසු වෙනකොට රටේ ගැටලු දවසින් දවස උග්‍ර වෙනකොට ජනතාවට දරා ගත හැකි සීමාවක් තියෙනවා. පසුගිය කාලයේ පෝලිම්වල මිනිස්සු මිය ගියා. රැකියා අහිමි වුණා. බොහෝ අයගේ ආදායම් මාර්ග බිඳ වැටුණා. මිනිස්සු එවැනි අවස්ථාවල නැගිටිනවා ඉතිහාසයේ එවැනි දේ සිදුවුණා. දකුණේ 71 කැරැල්ල, 88/89 අරගලය වැනි සිද්ධි වගේම රටේ තරුණ පිරිස ඒ තත්ත්වයට පත්වන්නට ජනතා බලාපොරොත්තු බිඳ දැමූ මර්දනකාරී පාලන ක්‍රම ඉවහල් වුණා. එමෙන්ම යාපනය පුස්තකාලය විනාශ කිරීම, 1983 ජන සංහාරය වැනි සිද්ධි අප රටේ බෙදුම්වාදී ගැටුම මහා යුද්ධයක් දක්වා වර්ධනය කළා. නමුත් එවැනි දෑ නැවත සිදු නොවීමට පාලකයෝ කටයුතු කළ යුතුයි.

පාලකයෝ සිටින්නේ ජනතාවට යහපත් නිදහස් රටක් නිර්මාණය කරන්න. ඔවුන්ගේ ජීවිත නඟා සිටුවන්න. ඒක ඔවුන්ගේ වගකීම.

ප්‍රශ්නය:- තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත කරළියට ඇවිත් නේද?

පිළිතුර:- ඉතා දීර්ඝ වශයෙන් කථා කළ යුතු මාතෘකාවක් නමුත් මේ මොහොතේ ජනතාව බුද්ධිමත් විය යුතුයි. ආණ්ඩුව රටේ මෙතරම් ගැටලු තියෙද්දී ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරවන්න හදන්නේ. වසර තිස් ගණනකට පෙර ගෙනාපු ඔය සංශෝධනය ගැන පක්ෂ විපක්ෂව එකල පාර්ලිමේන්තුව නියෝජනය කළ පිරිසම අදත් කථා කරනවා. හෙටත් කථා කරාවි.

අනෙක අය සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනසක් නෑ. බොහෝ අය මේ රට විතරක් නොවේ තමන්ගේ කියන සියලු දේ අතහැරලා වෙනත් රටවල්වලට යනවා ජීවත් වීම වෙනුවෙන්. බෙදී වෙන් වෙලා ගැටලු විසඳන්න බෑ. පළමුව රටක් ලෙස සියලුදෙනා මේ අවස්ථාවාදී දේශපාලන ක්‍රමය පරාජයට පත් කළ යුතුයි. කොහොමත් ප්‍රායෝගිකව මෙවැනි කුඩා රටක පොලිස් බලතල, ඉඩම් බලතල පළාත් සභාවලට ලබා දීම තවත් විශාල ගැටලු ප්‍රමාණයක ආරම්භයක් වේවි.

කුමන අයුරකින් වුවත් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබාදීම මෙරට නව දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප කිසි විටෙකත් අනුමත කරන්නේ නෑ.

වැදගත් වන්නේ සියලු ජාතීන් අතර විශ්වාසනීය ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික බැඳීමක් ඇති කර ගැනීම. එමඟින් අපට රට විතරක් නොවේ ලෝකය පවා දිනිය හැකියි.

ප්‍රශ්නය:- ඔබ පක්ෂයේ අනාගත දේශපාලන භාවිතාව කෙසේ වේද සක්‍රීය ලෙස දේශපාලන ප්‍රවාහයට යොමු වෙනවද?

පිළිතුර:- පක්ෂයක් ලෙස මෙරට දේශපාලනයට සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෙදී වෙන් නොවී රටක් ලෙස සියලු ජාතීන්ගේ අරමුණු ඉටු කරන “ලාංකීය මාවත” වැඩපිළිවෙළ ඉදිරියට ජනගත කරනවා. එය මේ රටේ මිනිස්සුන්ට සැබෑ අස්වැසිල්ලක් වේවි. උගත්, විද්වත්, නිර්මාණශීලී, විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන දක්ෂ පිරිසක් සමඟ රටට අවශ්‍ය වෙනස සිදු කිරීමට දෙවන පරපුර ලෙස අප බලාපොරොත්තු වෙනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිනි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment