ඒ පෙන්ෂන් වගේද මේ පෙන්ෂන්…මොකක්ද මේ ‘දායකත්ව විශ්‍රාම’ වැටුප

256

එහෙම වුණොත් රජයේ සේවයට එන එක නතර වෙයි?

රාජ්‍ය සේවයට දායකත්ව විශ්‍රාම වැටුපක් ලබාදීම පිළිබඳ නැවතත් කතාබහ කරලියට පැමිණ ඇත. ඒ සඳහා වන මූලික අනුමැතිය ලබා ගැනීම පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය නිවේදන නිකුත් විය. සුපුරුදු පරිදි මේ සඳහා විරුද්ධ වන පිරිස්ද,මෙම යේජනාවට ද විරුද්ධව මාධ්‍ය සාකච්ඡා අරඹා ඇත. ඉදිරි දිනවලදී උද්ඝෝෂණ ද කලඑළි බසිනු ඇත. මෙය රජය පැත්තෙන් යෝජනා වුව ද බොහෝ වෘත්තිය සමිති ඒ සඳහා තම විරෝධතා සංවිධානය කිරීම ඉදිරි කාලයේදී දැකගත හැකි වනු ඇත. එය ලංකාවේ වෘත්තිය සමිතිවල සාම්ප්‍රධායික විරෝධතා ක්‍රියාමාර්ග සඳහා තවත් අත්වැළක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයා සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් පැවතිනි. මෙයට අමතරව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක්ද ඇත. රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන්ට හා පෞද්ගලික අංශයේ සේවකයන්ට අදාළ වන්නේ වෙනත් දායකත්ව සේවක භාරකාර අරමුදල් ක්‍රමය යටතේ ක්‍රියාත්මක ආරක්‍ෂක ක්‍රමයකි.

රජයේ විශ්‍රාම වැටුප් හිමි සේවක ප්‍රමාණය ඉතා සීමිත පිරිසකි. මෙය දායකත්ව ක්‍රමයක් යටතේ නොවූවත් එය මහා භාණ්ඩාගාරයට අතිශය බරකි. මේ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200 ක් පමණ මහජන මුදලක් වැය වේ. රජයේ සේවකයාට වැටුප් ගෙවීම හා විශ්‍රාමිකයාට විශ්‍රාම වැටුප් ගෙවූ පසු භාණ්ඩාගාරය හිස්වන ආර්ථිකයක් ඇති රටක මෙම ක්‍රමයන් පිළිබඳව නැවත සිතා බැලීම අත්‍යාවශ්‍ය මෙන්ම කාලෝචිත වේ. එය එසේ සිදුවිය යුත්තේ විශ්‍රාම වැටුප් ගෙවීම සැබැවින්ම මහා භාණ්ඩාගාරයට දැනෙන වැය බරක් වීම නිසාවෙනි.

රජයේ සේවයටම අයත් සංස්ථා මණ්ඩල සේවක සේවිකාවන් සඳහා ක්‍රියාත්මක සේවක භාර අරමුදලේ ක්‍රමය යටතේ සේවකයාගේ හා සේව්‍යයාගේ දායකත්වය යටතේ දායකත්වය ලැබේ. එය සියයට 8% හා 12% ක් වශයෙන් දායකත්ව අරමුදලට බැරවෙන අතර ඒ සඳහා සේවක භාරකාර අරමුදල යටතේ අරමුදල් කළමනාකරණය සිදු වේ. සාමාන්‍යයෙන් වසර 30 ක් පමණ සේවයෙන් පසු විශ්‍රාම ගිය පසු ලැබෙන සේවක භාරකාර අරමුදල් පාරිතෝෂිතය බොහෝ නිලධාරීන් රජයේ හෝ පෞද්ගලික බැංකුවක ආයෝනය කිරීමෙන් ලැබෙන පොලිය මාසිකව ලබා ගැනීම එක්තරා ආකාරයකට මාසික විශ්‍රාම වැටුපකට සමාන වේ. බොහෝ අවස්ථාවල බැංකු පොලී අනුපාතයන් ඉහළ පහළ යාම මත මාසිකව ලැබෙන පොලී මුදල ඉහළ පහළ ගියද එය සැබැවින්ම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයකි. විශ්‍රාම ගිය පසු ලැබෙන පාරිතෝෂිතය තම සිතැඟි පරිදි ආයෝජනය කිරීමද මේ ක්‍රමය යටතේ නිදහසක් ඇත. 2015 යහපාලන රජය යටතේ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ බාලගිරි දෝෂයක් බලපාන ලදි. රජයේ සේවය සඳහා බඳවා ගැනීමේදී ඔහුට හෝ ඇයට විශ්‍රාම වැටුප් හිමි බව තම පත්වීම් ලිපියේ සඳහන් වේ. එහෙත් 2016න් පසු මෙම හිමිකම පත්වීම් ලිපියෙන් ගිලිහී ගොස් ඒ සඳහා වෙනත් සඳහනක් පත්වීම් ලිපියට පැමිණෙන ලදි. එනම් ‘ඔබ ඉදිරියේදී ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප් ක්‍රමයනට හිමිකම් ලැබෙනු ඇත’ යන්නයි. දැනට මේ සඳහා වසර 8 ක් වීමට ගියත් එය කුමන විදියේ විශ්‍රාම වැටුප් ක්‍රමයක්ද යන්න රජයේ සේවකයාට පැහැදිලි නොවූයේ විශ්‍රාම වැටුප් සමග පවතින දේශපාලන සබඳතාවය නිසාවෙනි.

ශ්‍රී ලංකාව බොහෝ බැරි දේවල් හා බැරි වගකීම් කරට ගෙන අමාරුවේ වැටුනු රටකි. සියලුම දේ නොමිලයේ හා සහභාගීත්ව ක්‍රමයකින් තොරව ප්‍රතිලාභ ලබාදීම මත නිතරම හිස්වූ භාණ්ඩාගාරයකට උරුමකම් කීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. එම තත්ත්වයන් යටතේ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය වීම කාලෝචිතව සිදුවිය යුතුව ඇත. මේ සඳහා විවේචන ඇතත් විශ්‍රාම වැටුප් මෙන්ම වෙනත් බොහෝ සහනාධාර ක්‍රමයන් රජයට බරක් නොවන ලෙස සංවිධානය වීම අවශ්‍යයෙන්ම කළ යුතු වේ. ලෝකයේ බොහෝ රටවල රජයේ මෙන්ම පෞද්ගලික අංශ සේවක සේවිකාවන් සඳහා පවතින්නේ දායකත්ව සුභ සාධක හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් වේ. ඒවා ඉතා ශක්තිමත් මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් යටතේ රජයට බරක් නොවන ලෙස කළමනාකරණය සිදුවන අතර ඒ සඳහා කිසිදු විරෝධතාවයක්ද නොවේ.

ලෝකයේ ඉතා දියුණු ආර්ථිකයක් සහිත කැනඩාවේ පවතින්නේ දායකත්වය විශ්‍රාම වැටුප් හා ආරක්‍ෂක ක්‍රමයකි. විශ්‍රාම වැටුපට අමතරව වෙනත් සමාජ ආරක්‍ෂණයන් සඳහාද දායකත්ව ක්‍රම ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වේ. රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුපට දායක විය යුතුය. කැනඩාවේ පවතින්නේ විවෘත රාජ්‍ය සේවයකි. ඕනෑම වේලාවක රජයේ සේවයෙන් ඉවත්ව පෞද්ගලික හෝ වෙනත් රැකියාවකට යා හැකි අතර නැවත අවස්ථාව හා හැකියාව පවතීනම් රජයේ සේවයට ඇතුල් විය හැක. පෞද්ගලික හෝ රජයේ සේවයන් සඳහා ඇතුල් වූ පසු එකම විශ්‍රාම වැටුප් ක්‍රමයකට දායක වීම සිදු වේ. එයට අමතරව ජීවිත රක්‍ෂණ ක්‍රමයටද දායක විය යුතුය. එනම් රැකියාව අහිමිවූ පසු වෙනත් රැකියාවක් සොයා ගන්නා තෙක් කලින් රැකියාවේ වැටුප් රක්‍ෂණ ක්‍රමයන් යටතේ ගෙවීමයි. ඒ සඳහා සේවකයන් දායකත්වය දිය යුතුය. කිසියම් හේතුවක් නිසා රැකියාව අහිමි වන්නේ නම් ඔහුට ජීවිතය ගෙන යාම සඳහා මාසික වැටුප රක්‍ෂණ ක්‍රමයෙන් ආවරණය ලබාදී ඇත. තමන්ට අමතරව කිසියම් කෙනෙකු යම් කිසි පෞද්ගලික ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් කරන්නේ නම් ඔවුන් සඳහාද දායකත්ව සමාජ ආරක්‍ෂණ ක්‍රමයක් ඇත. මේ අනුව විවිධ ආකාරයෙන් ඉතා ශක්තිමත් දායකත්ව සමාජ ආරක්‍ෂණ ක්‍රමයක් කැනඩාව වැනි දියුණු රටවල පවතී.

දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයකදී අරමුදල් කළමනාකරණය විශේෂ වැදගත් කමක් ඇත.

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය හා බැඳි වැන්දඹු අනත්දරු අරමුදල දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් වන අතර මෙම අරමුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙන අතර ඒවා එදිනෙදා වියදම් සඳහා යොදා ගැනේ. ඒ පිළිබඳ කිසිදු අරමුදල් කළමනාකරණයක් හෝ දායකත්ව තොරතුරු පවා ලබා ගැනීමේ තොරතුරු පද්ධතියක්ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නොමැත. රජයේ සේවකයකු විශ්‍රාම යාමේදී අදාළ තොරතුරු නිවැරදිව ලබා ගැනීමේ විධිමත් ක්‍රමයක් නොවන නිසා අදාළ විශ්‍රාම ප්‍රතිලාභ ලබා ගැනීමේ ප්‍රමාදයක් සාමාන්‍යකරණය වී ඇත. දායකත්ව විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනත්දරු දායකත්ව මුදල් කිසියම් විධිමත් අරමුදල් කළමනාකරණයකට යොමු කරන්නේ නම් වසරක් වැනි කෙටි කාලයකින් ඊළඟ වසරේ සිට විශ්‍රාම යන පිරිසට විශ්‍රාම වැටුප් ගෙවීමට අරමුදලට හැකියාව ලැබෙනු ඇත. අරමුදලේ කළමනාකරණය පිළිබඳ පවතින දැඩි වෘත්තීය සමිති විරෝධයක් වන්නේ මෙම අරමුදල් දේශපාලන ඇඟිලි ගැසීම් මත වංචා හා දූෂණයට ලක්වන බවයි. ඔවුන්ගේ කාර්ය වන්නේ සේවක භාරකාර අරමුදල් විවිධ ආකාරයෙන් ගසාකෑමේ මාර්ග දේශපාලන සබඳතා මත පවතින බවයි. විවිධ දූෂිත ගනුදෙනු සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ වැනි ආයතනවල අරමුදල් ප්‍රයෝජනය කිරීම හරහා සේවක අරමුදල් සුවිශාල ලෙස වංචා කිරීම ශ්‍රී ලංකාවේ සිදුවන බවත් දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල් කළමනාකරණයද එබඳු ඉරණමකට ගොදුරු විය හැකි බවත් ඔවුන්ගේ පුරෝකථනයයි.

දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් බොහෝදුරට සේවක භාරකාර අරමුදල් ක්‍රමයට සමාන වන බැවින් මෙය එක් අරමුදලක් කළමනාකරණයකට හෝ සේවක අභිමතය පරිදි ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමයකට ද පරිවර්ථනය කළ හැක. එනම් ඕනෑම ප්‍රතිලාභියකුට විශ්‍රාම යෑමේදී තම දායකත්ව මුදල එකවර එකවර ගැනීමට හෝ එය විශ්‍රාම වැටුපක් ලෙස ලබාගැනීමේ අභිමතය ලබාදීමයි. මෙය සේවක අරමුදල් ක්‍රමය යටතේ ලියාපදිංචිවී ඇති සේවක සේවිකාවන් සඳහා ද ලබාදිය හැකි අයිතමයකි. ඒ අනුව බොහෝ දියුණු රටවල මෙන්ම විවිධ ප්‍රතිලාභ හා සහන ලබාදිය හැකි පුළුල් අරමුදල් කළමනාකරණයක් මගින් සේවක සමාජ ආරක්‍ෂාව ලබාදිය හැක.

2015 යහපාලන රජයේදී මේ පිළිබඳ පුළුල් කතාබහක් හා මෙබඳු ක්‍රමවේදයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් වුවත් විවිධ දේශපාලන කරුණු යටතේ මෙය නොසලකා හරින ලදී. සේවක භාරකාර අරමුදල් හා විශ්‍රාම වැටුප් අරමුදල් කළමනාකරණය මගින් අදාළ ද්විත්ව ආකාරයේ ප්‍රතිලාභ ක්‍රමයක් ලබාදීම තුළ රජයේ හා පෞද්ගලික අංශ සඳහා වන සමාජ ආකල්ප වෙනස් කිරීමේ ඉඩකඩ හා හැකියාව පවතී. දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල් කළමනාකරණය හා සේවක භාරකාර අරමුදල් කළමනාකරණය හා ප්‍රතිලාභ ලබාදීම සමාන්තර ක්‍රමයක් හරහා සිදුවන්නේ නම් රජයේ හා පෞද්ගලික අංශයන් සඳහා පවතින සමාජ ආකල්ප හා තදබදය අවම කරගත හැකිවනු ඇත.

මේ සඳහා 2015 රජය යටතේ අදාළ අංශ හා වෘත්තීය සමිති දායකත්වය යටතේ ඇතිවූ සංවාදවලදී දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සමස්ත සමාජය සඳහාම හඳුන්වාදීමේ හැකියාව හා අවශ්‍යතාවය ද සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රවල නියුක්ත පිරිස් සඳහා දේශපාලනික ප්‍රචාරාත්මක විශ්‍රාම වැටුප් ක්‍රම හඳුන්වා දී ඇති අතර ඒවා ඉතා අසාර්ථක අත්දැකීම් වේ. ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය, කලාකරුවන් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය වැනි ඒවා බොහෝදුරට භාවිත විශ්‍රාම වැටුප් ක්‍රමයන් වේ. දායකත්ව විශ්‍රාම වැටුපකට දායකවීමත්, සමාජයේ ඕනෑම වයස 18 වැඩි පුරවැසියෙකුට හිමිකම ලබාදිය හැක. ඒ සඳහා අවම විශ්‍රාම වැටුප් දායක මුදලක් සඳහා දායකවීමේ ඉඩකඩ හා ඊට වැඩි ප්‍රතිලාභ සඳහා දායකවීමේ හැකියාව හා මනාපය මත දායකත්ව මුදල් ගෙවීම විවෘත කළ හැක. ස්වයං රැකියා ලාභීන්ට හෝ එදිනෙදා ආදායම් ලබන අයට පවා රජයේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකවීම සඳහා විවෘත කිරීම තුළ ඉතා ශක්තිමත් දායකත්ව සමාජ ආරක්‍ෂණ ක්‍රමවේදයක් මේ යටතේ හඳුන්වා දිය හැක.

රජයේ සේවාවක නිරතවූ අය අනිවාර්ය දායකත්ව විශ්‍රාම වැටුපකට යටත්වන අතර ඕනෑම පුරවැසියෙකුට තම මනාපය පරිදි දායකත්ව සමාජ ප්‍රතිලාභ ක්‍රමයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. මෙබඳු පිරිස් සඳහා වසර 10 ක් පමණ රක්‍ෂණ ක්‍රමයකට අඛණ්ඩව දායකවීමේ ඉඩකඩ ලබාදී වසර 10 න් පසු ස්ථිර විශ්‍රාම වැටුපක් සහතික කළ හැක. ඒ අනුව සාමාන්‍ය පුරවැසියෙකුට වුවද වයස 60 වූ පසු අවම හෝ තම දායකත්වය මත විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හිමිකම ලබාදිය හැක. මෙය එක්තරා දුරකට සුළු මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම ස්වයං රැකියාවල නියුක්ත වූවන් සඳහාද පුළුල් සමාජ ආරක්‍ෂණ ක්‍රමයක් වනු ඇත. ලෝකයේ බොහෝ දියුණු සමාජයන්හී පවා පවතින්නේ දායකත්ව සමාජ ආරක්‍ෂණ හා සුභ සාධන ක්‍රමයන් වේ. ඒ අනුව ශ්‍රී ලංකාව වැනි නොදියුණු ආර්ථිකයක් පවතින රටකට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් කාලීන අවශ්‍යතාවයකි. මේ සඳහා යම් යම් විවේචන පැවතියද විශ්‍රාම වැටුප් මහජන මුදලින් ගෙවීම සර්ව සාධාරණ සමාජ ආරක්‍ෂණ ක්‍රමයක්ද නොවේ. එබඳු ප්‍රවේශයකින් ඇතිවී ඇති සමාජ ගැටලු ද විසඳීම සඳහා දායකත්ව සමාජ සුභ සාධන ප්‍රවේශයන් වෙත යොමුවීම කාලෝචිත ප්‍රවේශයකි.

දායකත්ව සමාජ ආරක්‍ෂණ ක්‍රමයක් මගින් පුළුල් වූ සමාජ සුභ සාධන හා සමාජ කළමනාකරණයක් වෙත ප්‍රවේශ වීමේ ඉඩකඩ ද පවතී. සමස්ත සමාජය වෙළාගෙන ඇති සහනාධාර හා රජයෙන් යැපීමේ සමාජ මානසිකත්වය අවම කිරීම, දායක වූ සාමාජිකයන් සඳහා විවිධ වරප්‍රසාද හා ප්‍රතිලාභ ක්‍රමයන් හරහා වෙනත් සමාජ ආර්ථික සංවර්ධන ප්‍රවේශයන් සඳහා අවස්ථාව ඇති කර ගැනීමේ හැකියාවද ඇත. මේ පිළිබඳ පුළුල් කළමනාකරණ සංවාදයක් සමාජය තුළ ඇතිවීම ද අවශ්‍ය කරුණකි. ක්‍රමෝපායන් වෙනස් කිරීම පිළිබඳ සමාජ ඉල්ලීම වෙත ප්‍රවේශ විය හැක්කේ බොහෝදුරට විරෝධතා මැද අවශ්‍ය දෙය කිරීම තුළ පමණී.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment