කීබෝඩ් වාදනයේ පෙරළිකාරයා – දිනේෂ්

87

ටෙලි නාට්‍ය 17ක සංගීත අධ්‍යක්‍ෂණය කළා

ඔහු නමින් දිනේෂ් දිසානායක. ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමට පසුගිය කාලයේ එකතු වුණු මේ අලුත් සාමාජිකයා මෙරට ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණ කලාවේ වෙනස්ම පෙරළියක් ඇති කරපු චරිතයක්.

නාඩගම්කාරයෝ” බොනිකර තරු” හාරකෝටිය ඇතුළු ටෙලි නාට්‍ය රැසක සංගීත අධ්‍යක්‍ෂවරයා දිනේෂ් ය. මෑත කාලයේ කීබෝඩ් වාදන කලාවෙන් ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ වෙනස් පෙරළියක් ඇතිකරපු චරිතයක්. ඒ නිසාම අපි මෙවර ‘මීවිත. ට දිනේෂ් දිසානායකව සම්බන්ධ කරගන්න හිතුවා.

කීබෝඩ් වාදනයේ පෙරළිකාරයා - දිනේෂ්

● දිනේෂ් ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂවරයෙක් විදිහට හරි ජනප්‍රිය චරිතයක්?

මම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය ආරම්භ කළේ කළු කුරුල්ලා කියන ටෙලි නාට්‍යයෙන්. ඒ සඳහා මට ආරාධනා කළේ චාමර සමරවික්‍රම කියන නිෂ්පාදකවරයා. මට චාමරව මුණගස්සවන්නේ උද්දික ප්‍රේමරත්න. උද්දික ප්‍රේමරත්න කියන්නේ මම ළඟින්ම ආශ්‍රය කරන සහෝදරයෙක්. එතැනින් පටන් ගත්තු ගමනේදී මේ වෙනකොට ටෙලි නාට්‍ය 17 ක් අධ්‍යක්‍ෂණය කරලා තිබෙනවා. ඉදිරියේදී තව ටෙලි නාට්‍ය දෙකක් විකාශය වීමට ද නියමිතයි.

● මෑත කාලයේ ඔබ සංගීත අධ්‍යක්‍ෂණය කළ ‘නාඩගම්කාරයෝ. ටෙලි නාට්‍යය හරි ජනප්‍රිය වුණා?

මේ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂණය කරන්න මුල් කොටස් ටික ලැබෙනකොට මටත් හිතුණා මේක නම් මිනිස්සු අතරට යන ටෙලි නාට්‍යයක් කියලාත්. ඒක ගොඩක් කාලය අරගෙන කරපු වැඩක්. මොකද මමත් සෑහෙන්න මහන්සි වුණා ඒ නිර්මාණය වෙනුවෙන්.

කීබෝඩ් වාදනයේ පෙරළිකාරයා - දිනේෂ්

● මේ ටෙලි නාට්‍ය 17 න් ඔබ වඩාත්ම කැමති?

මම ඇත්තටම වැඩිපුරම කැමති නාඩගම්කාරයෝ එකට තමයි. ඊට අමතරව මම රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ලබාගත්තු ‘දූවිලි අහස. වගේම මුලින්ම සංගීත අධ්‍යක්‍ෂණය කළ ‘කළු කුරුල්ලා. කියන ටෙලි නාට්‍යයටත් ගොඩක්ම ආසයි.

● ඔබේ සංගීත අධ්‍යක්‍ෂණය කියන කතාව ගොඩක් දෙනෙක් දැනගත්තේ නාඩගම්කාරයෝ හරහා නේද?

ඇත්තටම ඔව්.

● දිනේෂ්ට මතකද සංගීත අධ්‍යක්‍ෂණය කරපු ටෙලි නාට්‍ය 17?

පටන් ගත්තේ කළු කුරුල්ලගෙන්. ඊට පස්සේ හාරකෝටිය” කෝටිපතියෝ” නාඩගම්කාරයෝ” ආගන්තුකයා” හුළං ගෙදර” දූවිලි අහස” දිව්‍යාදරී” මැස්සා වගේ රැසක් තිබෙනවා.

කීබෝඩ් වාදනයේ පෙරළිකාරයා - දිනේෂ්

● කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර කීබෝඩ් වාදන ශිල්පියෙක්?

පාසල් යන කාලේ තමයි මම පොල්ගහවෙල හොරයිසන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ. අයිටීඑන් රන්තරු සංගීත වැඩසටහනේ ප්‍රථම ස්ථානය හිමි වුණේ අපේ බෑන්ඩ් එකට. ඒ වෙලාවේ කීබෝඩ් ප්ලේ කළේ මම. ඉස්කෝලෙ යන කාලේ හොරයිසන් එකෙන් පටන් ගත්තු ගමන ඊට පස්සේ ග්ලැක්සීස්” සන්ෆ්ලවර්” ෆ්ලෑෂ් බැක් කියන සංගීත කණ්ඩායම්වල සාමාජිකයෙක් විදිහට වැඩ කළා.

● ෆ්ලෑෂ් බැක් එකට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

මගේ පෞද්ගලික හේතුවකට තමයි සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට එකතු වුණේ. මොකද මම ඒ කාලයේ විදේශගත වුණා. ඊට පසුව තමයි මට ෆ්ලෑෂ් බැක් එකේ ආරාධනාවක් ලැබුණේ. මම ඉස්සර ඉඳන් ආස කරපු තැනක් තමයි ෆ්ලෑෂ් බැක් කියන්නේ. එතැනින් ආරාධනාවක් ලැබුණාට පස්සේ මම ඒක ප්‍රතික්‍ෂේප කළේ නැහැ.

● සන්ෆ්ලවර්ස් දාල ගිහිල්ල කොච්චර කාලෙකට පස්සෙද ලංකාවට ආවේ?

අවුරුද්දයි මාස අටකට පසුව තමයි ලංකාවට ආවේ. ලංකාවට ඇවිත් දවස් දෙකකට පස්සේ තමයි පළමු ප්‍රසංගයට සහභාගි වුණේ. ගිරිඋල්ලේදී තමයි පළමු ප්‍රසංගයට සහභාගි වුණේ.

● ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම අද ඉන්න තත්ත්වය ගැන ගොඩක් සතුටුයි.

● රොෂාන් අයියා මොනවද කිව්වේ?

රොෂාන් අයියා මාව ඉස්සර ඉඳලා දන්නවා. අනික ඉස්සර ඉඳලා ලොකු හිතවත්කමකුත් තිබුණා. කලින් තිබුණ අන්‍යොන්‍ය අවබෝධයත් එක්ක අපිට වැඩ කරන්න ලෙහෙසි වුණා. අද වෙනකොට රොෂාන් අයියගේ පැත්තෙන් වගේම රසිකයන්ගේ පැත්තෙන් ලොකු ප්‍රතිචාරයක් තිබෙනවා.

● මෑත කාලයේ දෙපැත්තෙන් කීබොඩ් දෙකක් ප්ලේ කරලා ඔබ ලොකු අවධානයක් දිනා ගත්තා?

විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්න ඕනෑ රොෂාන් අයියාව. එයා තමයි මට මේ අවස්ථාව හදලා දුන්නේ. ඉතිං එයාගේ අදහසකට අනුව තමයි ඒක සිද්ධ වුණේ. අනික ලොකු වියදමක් යන වැඩක්. මට ලබාදුන් අභියෝගය මම බොහොම සතුටින් භාර ගත්තා. අද වෙනකොට මට ඒක නැතිවම බැරිවෙලා තිබෙනවා.

● ඔහොම ප්ලේ කරනකොට වරදින අවස්ථා නැතිද?

අපි මිනිස්සුනේ. වරදින අවස්ථා තිබෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් වරදින අවස්ථා අවම කරගන්න ඕනෑ. අලුත් දෙයක්” අලුත් විදිහක් ඒකට මම හුරුවෙලා හැඩගැහිලා තියෙන්නේ.

● දිනේෂ් ඇස් පියාගෙනත් කීබෝඩ් වාදනය කරනවා?

ඒක ඇත්තටම” මම හුරුවෙලා තියෙන විදිහ. ඒක මම කාලයක් තිස්සේ ගොඩනගාගත්තු විදිහ. මම ප්ලේ කරන හැම අවස්ථාවකදීම මම ඒක විඳිනවා.

● පරණ බෑන්ඩ්වල කට්ටිය කතා කරනනේ නැතිද?

හැමෝම හිතවත්. අපි තවම සහෝදරයෝ වගේ ඉන්නවා. ඔවුන්ටත් සතුටුයි මම අද ඉන්න තත්ත්වය ගැන.

● ප්‍රසංග වේදිකාවේ වගේම ටෙලි නාට්‍ය කලාවේ වෙනස දැනෙන්නේ කොහොමද?

ඇත්තටම ඒ දෙක විෂයයන් දෙකක්. ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය කියන්නේ අලුතින් නිර්මාණ බිහිකරලා රසිකයන්ට තිළිණ කිරීම. ස්ටේජ් එකක ප්‍රසන්ට් කරනවා කියන්නේ තව එකක්. අරකෙදී දකින්නේ නිර්මාණය විතරයි. කීබෝඩ් වාදනයේදී අපි රසිකයෝ ළඟට යනවා. වැඩිපුර රසිකයන්ගෙන් ආදරය ලබන්න පුළුවන් වෙන්නේ ප්ලේයර් කෙනෙක් විදිහට. අද මම ඉන්නවා ලංකාවේ ඉහළම තැනක. ඒ ප්‍රතිචාර මට නොඅඩුව ලැබෙනවා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයෙන් මා ඇතුළේ ඉන්න නිර්මාණකරුවාවත් නැතිවෙන්න දෙන්නේ නැහැ. ඉස්සරහටත් ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණ කටයුතු කරගෙන යනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment