සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – බස්නාහිර පෙරමුණ ගනී

183

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සිව් වැනි දිනය (05වැනිදා) වූ ඊයේ දිනය නිමා වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත සමත් විය. එකී දෙවන ස්ථානය මධ්‍යම පළාතට හිමිවන අතර වාරයේ වයඹ පළාත තෙවැනි ස්ථානයේ පසු විය.

සමස්ත බාලක ශූරතාව දිනා ගැනීම උදෙසා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර තියුණු තරගයක් නිර්මාණය වී තිබුණු අතර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල සමස්ත බාලිකා පාසල් අතරේ පෙරමුණ ගෙන සිටී.

එකී දෙවන ස්ථානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ද තෙවැනි ස්ථානය කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල ද ස්ථාන ගතව සිටී. සිව් වැනි දිනය වූ ඊයේ (05දා) දහවල් වන විට නව පාසල් තරඟ වාර්තා 17 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනි.

දිවයිනේ පළාත් 09 ම නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4700 කගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා (02) පෙරවරුවේ සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ සමාප්ති උත්සවය අද (06දා) පස්වරු 3.00 ට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

අවුරුදු 18 න් පහළ බාලක මීටර් 100 ඉසව්ව තත්.10.69 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සහ මීටර් 200 ඉසව්වේදී තත්.21.73 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ දිනෙත් ඉඳුවර විරරත්න නව තරග වාර්තා 02 ක් බිහි කරමින් මෙවර තරගාවලිය ආශ්‍රිතව ක්‍රීඩකයන් අතරේ කැපී පෙනුණි.

ඊට නොදෙවනි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් අවුරුදු 14 න් පහළ බාලක මීටර් 100 ඉසව්ව ජය ගැනීමට සමත් වූ හම්බන්තොට කණුමුල්දෙනිය ජාතික පාසලේ එච්.ජී.ටී. තුෂාන් කුමාරනායක (තත්. 11.85) ඊයේ දිනයේදී තම උපරිමයට ළඟා වෙමින් මීටර් 80 ඉසව්ව ජය ගත්තේ තවත් තරග වාර්තාවක් බිහි කරමිනි. ඒ සඳහා ගත වූ කාලය තත්.9.64 කි.

ක්‍රීඩිකාවන් අතරේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූ මහනුවර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඩී.එම්.අයි.ඩී. කරුණාරත්න අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්ව තත්.54.22 නිමා කරමින් සහ මීටර් 800 ඉසව්ව මිනිත්තු 2.08.16 කින් අවසන් කරමින් නව තරග වාර්තා ද්විත්වයකට හිමිකම් කීවාය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment