සැප්තැම්බරයේදී පමණක් ළමා අපයෝජන 168ක් දැරියන් 22ක් ගැබිනියන් වෙලා

332

මුදල් කාරක සභාවේදී හෙළි වුණු ශෝකාන්තය

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත් ඉන් වයස 16ට අඩු ගැහැනු ළමයින් 22 ක් ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ඒ අනුව ළමයින් සඳහා ලිංගික අධ්‍යපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම ඉතාමත් කාලීන අවශ්‍යතාවක් බවට සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය පාසල් වියේ ගැහැනු ළමයින් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව ඇත. අයවැය යෝජනා තුළින් අවධානය අඩුවෙන් යොමුව ඇති එහෙත් පූර්ණ අවධානය යොමු විය යුතු අංශ ගණනාවක් කෙරෙහි සිවිල් සංවිධාන නියෝජිතයන් කාරක සභාව හමුවේ කරුණු පෙන්වා දී ඇත.

එහිදී කාන්තා සුබසාධනට යොමුව ඇති අවධානය අඩුවී ඇති බවත් ඒ මගින් ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ඔවුහු කාරක සභාව දැනුවත් කළහ. පාසල් සිසුවියන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව කාරක සභාවේ දීර්ඝව සාකච්ජා විය.

එමෙන්ම මෙරට වැඩිහිටි රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය වියයුතු බවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මානසික සෞඛ්‍ය වර්ධනය උදෙසා පවතින පැරණි පනත සංශෝධනය කරමින් වර්තමානයට ගැළපෙන අයුරින් සකස්වීමේ අවශ්‍යතාව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දී ඇත.

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත් මෙරට සකස්විය යුතු ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම ඇතුළු මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් සමග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විශේෂ සාකච්ජාවක් 21 දා පාර්ලිමේන්තුවේදී පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය. එම කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment