අන්නාවිරාළ

97

පසුගිය දෙව්මැඳුර පිටුවේ අන්නාවි කොළම කියවා තිබූ සමහරෙක් පල්ලියේදී හමුවී ඇත්ත තමයි ඔයා කියා තිබුණේ යැයි පැවසූ විට මට හැඟුනේ දයාබර වූ හැඟීමකි. අපි කවුරුත් හරි අය කියා නොසිතමු. කොහොම හරි දෙවියන් වහන්සේ ඉදිරියේ හරි අපි වැරදි පිළිගෙන ඒවා හදා ගැනීමට උත්සාහ දැරීම, උන්වහනේසේට දක්වන මහා කරුණාවකි.

අන්නාවි තැන වශයෙන් මා විශේෂයෙන්ම වැරදි නොකරන පුද්ගලයකු විය යුතුමය. මගේ ගනුදෙනුව පියතුමා සමඟ මෙන්ම දෙවියන් වහන්සේ සමඟය. මා පල්ලි එන අයගේ වැරදි පෙන්වා දෙන්නේ වෛරී සිතකින් නොවේය. එම නිසා මේ පව්වලින්ද අප ගැලවිය යුතුය.

විශේෂයෙන්ම දිව්‍ය පූජාව පටන් ගත් විට පල්ලිය ඇතුළට පැමිණීම අපි දෙවියන් වහන්සේට දක්වන ගෞරවයකි. එසේම ශබ්ද නගා පූජාවට පිළිතුරු දීමද කතෝලිකයන් වශයෙන් අප කළ යුතුමය. එසේම පූජාවට පැමිණි විට පවුලක් වශයෙන් එකට වාඩිගෙන සිටීම හෝ එක ළඟ සිට පූජාවට සවන්දීම කතෝලික අපේ වගකීමකි.

එමෙන්ම මව, පියා, දූ දරුවන්ද සංවර ඇඳුමින් පැමිණීම කළ යුතුමය. දේව මෑණියන් එදා කාන්තාවක් ලෙස වන්දනා කළේ හිස ද රෙදි කඩකින් වසාගෙනය. ජනයාගේ පහසුව පිණිස එම ස්වභාවයන් මේවන විට ලිහිල් වෙමින් පවතී.

අන්නාවි තැන වශයෙන් දිව්‍ය පූජාව වේලාවේදී මා බලා සිටින්නේ අල්තාරය දෙසය.

කියැවීමට අල්තාරය වෙත ගොඩවන දෙවිදුනට හිස නමා, දණ නමා වන්දනා කර ඒවාට සම්බන්ධවීම බොහෝ අය සිදු කළද ඇතැමුන් එසේ නොකිරීම දකිනා විට අන්නාවි වශයෙන් මගේ සිත සැලේ.

මේවා පැවසීම ගැන මා හට සමාවෙන්න. අප මේ සුළු සුළු වැරිදි ක්‍රියා හදාගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ ගෞරවයෙන් පෙනී සිටිමු.

දිව්‍ය පූජාව නිමවූ පසු සුළු මොහොතක් පවුලක් වශයෙන් එකට හිඳ දණ ගසා දෙවිඳුන් යදින්න. පවුලේ ප්‍රශ්න, ආර්ථික අපහසුතා, ලෙඩ රෝග දෙවියන් සමඟ කතා කරන්න. සුවසේ මාවත, සතුටේ මාවත, නිතැතින්ම ඔබ පවුලට හිමිවේ.

මීසමේ සැමටම ජේසු පිහිටයි.

පල්ලියේ අන්නාවි තැන ලබන සතියේත් හමුවෙන්න බලමු

ලයනල් පී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment