ග්‍රහ නීචත්වයේ ශුභාශුභ

414

සෞරග්‍රහ මණ්ඩලයේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු සහ කේතු යන නවග්‍රහයින් ඒ ඒ රාශින්හි උච්ච භාවයට පත්වන්නා සේම උච්ච රාශියෙන් හත්වැනි රාශිය ඒ ඒ ග්‍රහයාගේ නීච රාශිය වන්නේය.

රවි ග්‍රහයාට මේෂ රාශිය උච්ච රාශිය වන අතර තුලා රාශිය නීච රාශිය වේ.

චන්ද්‍ර ග්‍රහයාට වෘෂභ රාශිය උච්ච රාශිය වන අතර වෘශ්චික රාශිය නීච රාශිය වේ.

කුජ ග්‍රහයාට මකර රාශිය උච්ච රාශිය වන අතර කටක රාශිය නීච රාශිය වේ.

බුධ ග්‍රහයාට කන්‍යා රාශිය උච්ච රාශිය වන අතර මීන රාශිය නීච රාශිය වේ.

ගුරු ග්‍රහයාට කටක රාශිය උච්ච රාශිය වන අතර මකර රාශිය නීච රාශිය වේ.

ශුක්‍ර ග්‍රහයාට මීන රාශිය උච්ච රාශිය වන අතර කන්‍යා රාශිය නීච රාශිය වේ.

ශනි ග්‍රහයාට තුලා රාශිය උච්ච රාශිය වන අතර මේෂ රාශිය නීච රාශිය වේ.

රාහු ග්‍රහයාට වෘෂභ රාශිය උච්ච රාශිය වන අතර වෘශ්චික රාශිය නීච රාශිය වේ.

කේතු ග්‍රහයාට වෘශ්චික රාශිය උච්ච රාශිය වන අතර වෘෂභ රාශිය නීච රාශිය වේ.

  1. රවි ග්‍රහයා නීච භාවයට පත්වන්නේ තුලා රාශියේ දීය.

රවි ග්‍රහයාගේ නීචවීම සාමාන්‍ය මිනිසාගේ දියුණුවට හේතුවක් වන බවත් රාජ රජ මහා මාත්‍යාදීන්ගේ පිරිහීමට හේතුවක් වන බවත් දැන ගත යුතුය. රවි ග්‍රහයා නීචව උපන් කිසිම අයෙක් යම්කිසි තත්ත්වයකින් උසස් නොවී පවතින්නේ කලාතුරකිනි. එවැනි අයට තමාගේ රටේ පමණක් නොව පිටරටවල පවා නමක් තබා ගැනීමට හැකි වේ.

රවි ග්‍රහයා නීච වී ඇති අය කිසි කෙනෙකු තරහ කර නොගනියි. තමා ළඟට පැමිණි කෙනෙකුගේ හිත දිනා ගැනීමේ හැකියාව ඇත. තමාගේ අදහස ඉෂ්ට කර ගැනීමට ඕනෑ වූ විට තමාට වඩා පහත් අයෙකුට වුව ද හිස නැමීම කිසිම අමාරුවක් නැතිව කළ හැකිය. ස්වාර්ථ සිද්ධිය පිණිස යොදන උපක්‍රමයෙහි අති දක්ෂයෙකි. සහජයෙන්ම නිරහන්කාරය. සිනිඳු සෞම්‍ය ගුණයක් පෙන්වා කතාබහ කිරීමට උපන් හපනෙකි.

  1. චන්ද්‍ර ග්‍රහයා නීච භාවයට පත්වන්නේ වෘශ්චික රාශියේදීය. චන්ද්‍ර ග්‍රහයා නීච වූ විට සම්පූර්ණයෙන්ම ලෞකික පැත්තට කටයුතු කරයි. ධනය, බලය, ඉගෙනීම ඇත්තෙකු වේ. තමාගේ දියුණුව බලාගෙනම කටයුතු කරන්නෙකි. උපන් තත්ත්වයට වඩා කෙසේ හෝ දියුණු වෙයි. පිටකරන වචන වේගවත්ය. කතා කිරීම අණ කරන්නාක් මෙනි. ඔරොත්තු දීමේ ශක්තිය තිබේ. හදිසියේ කිපෙන ගතියත්, රෞද්‍ර වචන පාවිච්චි කරන ගතියත්, මුහුණට කඩා පනින ගතියත් බොහෝ විට ඇති වේ.
  2. කුජ ග්‍රහයා නීච භාවයට පත් වන්නේ කටක රාශියේදීය. කුජගේ පවතින අධික දාමරික තේජාන්විත මැරවර ගතිය මෙතැනදී සිල්වත් බවට පත්වෙයි. නිහතමානි අහිංසක බවට හැරෙයි. කාටත් ගැලපෙන සේ කතාබහ කර යටත් පහත් විය යුතු තැන ඔළුව පහත් කර උසස් පහත් බව නොසලකා ඕනෑම වැඩක් කිරීමට සූදානම් වෙයි. මහජනයාගේ හොඳ හිත, කරුණාව ඔහු කෙරේ ඉබේටම ඇති වෙයි. කුජගේ නීචවීමත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ දියුණුවීමට හේතුවකි. කුජ නීච වූ විට දෙපිට කාට්ටු වැඩ කරයි. මෙලොව දියුණුවට කුජ නීචවීම ලොකු වාසියකි.
  3. බුධ ග්‍රහයා නීච භාවයට පත්වන්නේ මීන රාශියේදීය. බුධ ග්‍රහයා නීචව උපන් අයට සියුම් ඥානය නැත. මෝඩ ගතියක් හැමවිටම ප්‍රදර්ශනය කරයි. වචන පිරිසිදු නැත. නිකරුණේ බොරු කියයි. අප්‍රයෝජන වාචාල කතා කරයි. පණ්ඩිතයන් ඉදිරියේ දුර්මුඛ වෙයි. සියුම් ඉගෙනීම නොලබයි. තමා නූගතෙකු බව නොසිතයි. වචනයෙහි ගෞරවය දන්නේ නැත. හොඳ දේට නරක කියයි.
  4. ගුරු ග්‍රහයා නීච භාවයට පත්වන්නේ මකර රාශියේදීය. ගුරු ග්‍රහයා නීචවීම ලෞකික දියුණු වීමකි. මුදල් තත්ත්වයෙන් උසස් වෙයි. ඉඩ කඩම් ලැබේ. මුලදී කිසිම දියුණුවක් නැති කෙනෙක් වුවත් අගදී දියුණු තත්ත්වයට පත්වෙයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 පහු වූ විට ශීඝ්‍ර දියුණුවක් ඇති වෙයි.
  5. සිකුරු ග්‍රහයා නීච භාවයට පත්වන්නේ කන්‍යා රාශියේදීය. සිකුරු නීච වූ විට ප්‍රේම බන්ධනයන් සම්බන්ධයෙන් කරදර සිදු වේ. සිකුරු නීච වූ අයෙකුට ලැබෙන සහකාරිය හෝ සහකරු හෝ අප්‍රකට කෙනෙක් විය හැකිය. නමුත් ඒ දෝෂයේ වගේ වගක් නැතිව ජීවිතය ගත වේ. ගෘහ ජීවිතයේම කටයුතුවල ඇලී ගැලී සිටිමින් ඒවා කෙසේ හෝ දියුණු කර ගන්නා සිත මිස වෙන සිතක් ඇති නොවෙයි. සිකුරු නීච වූ කල සියුම් සිතුවිලි පහළ නොවී දළ ගොරෝසු සිතුවිලි පහළ වේ. අනුන්ගේ වැඩවලට ඇඟිලි ගසයි. හිත මිතුරන්ගේ මරණ සම්බන්ධයෙන් දැඩි සේ දුක් වෙයි. සිකුරු නීච වූවන්ට ඇත්තේ මිතුරන් ටික දෙනෙකි. අසල්වැසියන්ගේ යම්කිසි කලබලයක්, අඩුලුහ`ුඩුවක් ඇති වූ විට ගුණ දැනමුතුකම් දීමට පෙළඹෙයි. අනුන්ට පිහිට වන සිතක් උපදී. ලෞකික දියුණුවට යහපත් වුවත් මනුෂ්‍යයන්ගේ ඔපය අඩු වෙයි. මිල මුදල් තත්ත්වයෙන් දියුණු විය හැකිය.
  6. ශනි ග්‍රහයා නීච වන්නේ මේෂ රාශියේදීය. ශනි ග්‍රහයා නීච භාවයට පත්වීම බලවත් ධන යෝගයකි. එයිනුත් පස්වැනි භාවයේ ශනි ග්‍රහයා නීච භාවයට පත්වීම මහා ධන යෝගයකි. ශනි ග්‍රහයා නීච භාවයට පත්වූ විට ඉගෙනීමෙන් දියුණුවක් නොලබයි. ශනි ග්‍රහයා ලෝකයේ හිඟන්නාය යන අර්ථයෙන් සමන්විතය. එසේ නම් මේ හ`ිගන්නාට ශනි ග්‍රහයා නීච භාවයට පත්වීම ඉතාමත් හොඳය. හිඟන්නෙක් යනු ඉල්ලන් කන අයෙකි. එසේ වූ අයට ශනි ග්‍රහයා නීච භාවයට පත්වීම ඉතාමත් හොඳයි. හිඟමන් අධිකව ලැබේ.
  7. රාහු ග්‍රහයා නීච භාවයට පත්වන්නේ වෘශ්චික රාශියේදීය. රාහු ග්‍රහයා මොකක් හෝ කරන්ට පටන් ගත්තොත්, හිතුවොත් එය මොන වගේ වැඩක් වුවත් කරන ගතියක් තිබේ. යමෙක් කියන දේ අහන තරම් මොළය ඒ මේ අතට නොනැමෙයි.

කේතු ග්‍රහයා නීච භාවයට පත්වන්නේ වෘෂභ රාශියේදීය. රාහු ග්‍රහයාට ප්‍රති විරුද්ධව ක්‍රියා කරයි. කේතු ග්‍රහයා මොකක් හෝ වැඩක් කරන්ට පටන් ගත්තොත් හිතුවොත් එය මොනවා වුණත් නොකරන ගතියක් ඇත. යමෙක් කියන දේ අහන තරම් මොළය ඒ මේ අතට හැරෙයි.

උපාලි ආරියරත්න
දේශමාන්‍ය ජ්‍යොතිර් විද්‍යා විභූෂණ,
ජ්‍යොතිර්වේදී, සාමදාන විනිශ්චයකාර (මු.දි)
අංක 26, සුදර්ශන මාවත,
දෙමටගොල්ල, උකුවෙල.
දු.ක.අ. 0779179162.

advertistmentadvertistment
advertistmentadvertistment