දැන ගියා නම් සුපිරි හතරට නොදැනීම නිසා ගියා නිවසට – ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් කියයි

3222

එදා බවුචර් මෙදා ෆරූකි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පාකිස්තානයේ ලාහෝර් පිටියේ පෙරේදා (05 වැනිදා) රාත්‍රී පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථානය පරාජයට පත් වූ අතර ඒ සමග ශ්‍රී ලංකාව සුපිරි හතර වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා (09 වැනිදා) බංග්ලාදේශය සමග ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරඟයේ දී ලකුණු 291 ක් වාර්තා කළ අතර පන්දු වාර 37.1 කදී ඇෆ්ගනිස්ථානය එම ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගියේ නම් ඔවුන්ට සුපිරි හතර වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව තිබුණි.

කෙසේ වෙතත් 38 වැනි පන්දු වාරයේ පළමු පන්දුව අවසානයේ ඇෆ්ගනිස්ථානය කඩුලු 9 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටි අතර අංක 11 පිතිකරු වූ ෆසල්හක් ෆරූකි 38 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී හතරේ පහරක් එල්ල කළේ නම් ඇෆ්ගනිස්ථානයට මීළග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව තිබුණි.

එපමණක් නොවේ එම පන්දුවාරයේ තෙවැනි, සිව්වැනි හෝ පස්වැනි පන්දුවේදී හයේ පහරක් එල්ල කළේ නම් ද ඔවුන්ට සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත හැකිව තිබුණි.

එහෙත් ඒ බව ඇෆ්ගනිස්ථානය හෝ ඒ වනවිට පන්දුවට පහර දෙමින් සිටි ෆසල්ලාහ් ෆරූකී හෝ අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි රශිඩ් ඛාන් හෝ දැන නොසිටියහ.

ඒ පිළිබඳව තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් මෙසේ පවසා සිටියේය.

“එම ගණනය කිරීම් පිළිබඳව අපි දැන සිටියේ නැහැ. පන්දු වාර 37.1 න් පසුව ද සුපිරි හතර වටයට යන්න අවස්ථාවක් තිබුණු බව අපි දැන ගත්තේ නැහැ.”

එහෙත් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37.2 කදී ලකුණු 293 ක් ද, පන්දුවාර 37.3 කදී ලකුණු 294 ක් ද, පන්දුවාර 37.4 කදී ලකුණු 295 ක් ද, පන්දුවාර 38 කදී ලකුණු 296 ක් ද, පන්දුවාර 38.1 කදී ලකුණු 297 ක් ද ලබා ගත්තේ නම් සුපිරි 4 ට ‘බී’ කාණ්ඩයෙන් පිවිසෙන දෙවැනි කණ්ඩායම ශ්‍රී ලංකාව නොව ඇෆ්ගනිස්ථානයයි.

එහෙත් ඇෆ්ගනිස්ථාන අවසන් පිතිකරු වූ ෆරූකි 38 වැනි පන්දුවාරයේ පළමු පන්දුව අවසානයේ පිටියට පැමිණියේ සුපිරි හතර වටයට යෑමේ අදහසින් නොව ධනංජය ද සිල්වා ක්‍රියාත්මක කළ එම පන්දු වාරයේ ඉතිරි පන්දු සඳහා ආරක්ෂාකාරීව මුහුණ දී පළපුරුදු පිතිකරුවා වූ රශිඩ් ඛාන් ලවා ඊළඟ පන්දුවාරයේදී තරගය ජයග්‍රහණය කරවීමේ අරමුණෙනි.

ඒ අනුව ෆරූකි තමන් මුහුණ දුන් පළමු පන්දු දෙකට ආරක්ෂිත පහරවල් එල්ල කළ අතර, ඊළඟ පන්දුවේදී ඔහුට දැවී යෑමට සිදුවීමෙන් සුපිරි 4 අවස්ථාව පමණක් නොව ජයග්‍රහණය ද ඇෆ්ගනිස්ථානයට අහිමි විය.

මෙවැනිම අවස්ථාවක් 2003 ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදී වාර්තා වූ අතර එම තරගයේදී ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට 45 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවේදී මාක් බවුචර් එක් ලකුණක් ලබා ගැනීමට නියමිතව තිබුණි.

එහෙත් මුරලිදරන් ක්‍රියාත්මක කළ එම පන්දු වාරයේ 5 වෙනි පන්දුවට 6 පහරක් එල්ල කළ සිටි බවුචර් සිතුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් තරගය ජය ගෙන ඇති බවයි. ඒ අනුව ඊළඟ පන්දුවේදී තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළේය.

දකුණු අප්‍රිකාවට එහිදී ජයග්‍රහණය සඳහා පන්දුවාර 45 ක දී ලකුණු 230 ක් ලබා ගත යුතුව තිබූ අතර බවුචර්ගේ ආරක්ෂාකාරී පහරත් සමග ඔවුන් පන්දු වාර 45 අවසන් වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 229 ක් ලෙසය.

යළි ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැළුණි. තරඟය එතනින් නතර විණි. ඒ වන විට දකුණු අප්‍රිකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණයට තව එක ලකුණක් පිටුපසින් සිටියේය.

තව ලකුණක් අවශ්‍ය බව බවුචර් දැන නොසිටීමෙන් තරගය ලකුණු සම වීමෙන් අවසන් වූ අතර දකුණු අප්‍රිකාව සුපිරි 6 වටයට සුදුසුකම් නොලබා ඉවතට විසි වූයේය.

පෙරේදා තරඟයේ දී ද ෆරූකී හෝ රෂිඩ් හෝ ඇෆ්ගනිස්ථානය හරියට එම ගණන් මිණුම් පිළිබඳව දැන සිටියේ නම් ඇතැම් විට බවුචර්ට හෝ දකුණු අප්‍රිකාවට එදා අත් වූ ඉරණම මෙදා ඇෆ්ගනිස්ථානයට අත් නොවන්නට ද ඉඩ තිබුණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment