දේශගුණ විපර්යාස ලෝකයටම අභියෝගයක්- ජනපති රනිල් වික්‍රමසිංහ

114

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කරවා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (11 දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 10 වැනි පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.

විශිෂ්ට සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල, විශිෂ්ට සේවාවක් සිදුකළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමිණි.

පරිසර නියමු ජනාධිපති පදක්කම ජාතික පරිසර නියමු වැඩසටහනේදී ලබාගත හැකි ඉහළම පදක්කම වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එම පදක්කම්ලාභීන්ට අතිරේක ලකුණු 04ක් හිමිවේ.

විශිෂ්ඨතම පාසල ලෙස ජනාධිපති පරිසර නියමු පදක්කම් ලාභීන් 14 දෙනකු බිහිකළ අරලගංවිල විලයාය ජාතික පාසල සම්මාන ලැබූ අතර වැඩිම ජනාධිපති පදක්කම් ලාභීහු පිරිසක් (25 ක්) බිහිකිරීමට මඟ පෙන්වනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විශිෂ්ටතම කාර්යාලයට හිමි සම්මානය දිනා ගත්තේය.

උත්සවය අවසානයේ පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

පරිසර නියමුවන් ලෙස පරිසරය සුරැකීම පිළිබඳ පණිවිඩය පාසලට ගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

පරිසර නියමුවකුගේ කාර්යභාරය විශිෂ්ට කැප කිරීමක් බවත්, ඒ කැපවීම සිදු කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්ම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය

“අද පළමුවෙන්ම මෙම පදක්කම් ලැබූ පරිසර නියමුවන් සියලුදෙනාට මම ප්‍රශංසා කරනවා. මෙය කැපවීමෙන් කළ යුතු කාර්යයක්. මේ ව්‍යාපාරය සමඟ සම්බන්ධ වන ලෙස කිසිවෙකුට බල කර නැහැ. මධ්‍යම පරසර අධිකාරිය 1984 ආරම්භ කළ කාලයේ සිට මේ සඳහා සියලුදෙනා ස්වේච්ඡාවෙන් ඊට සහභාගි වුණා.

අප සියලුදෙනා මේ කැපකිරීම කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්. අද ලෝකයේ තිබෙන පරිසර ප්‍රශ්න පිළිබඳ මම අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. අපට එදා තිබුණේ පරිසරය රැකගැනීම පිළිබඳ ගැටලු. එහෙත් අද තිබෙන ප්‍රශ්නය දේශගුණික විපර්යාස නැවැත්වීම නොවෙයි. එය ප්‍රමාද කරගන්නේ කෙසේද යන්න පිළිබඳ කටයුතු කිරීමයි.

පසුගිය ශත වර්ෂ දෙක තුළදී ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබුණා. 1815 බි්‍රතාන්‍යයන් ලංකාවට පැමිණ උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ මේ රටේ ජනගගහණය මිලියන 02යි කියලා තමයි බොහෝ අය කියන්නේ. සමහරු කියනවා මිලියන එක හමාරක්වත් හිටියේ නැහැ කියලා. 1931 අපට සර්වජන ඡන්ද බලය හිමි වූ අවස්ථාවේ එම සංඛ්‍යාව මිලියන 05යි. අපට නිදහස ලැබෙන විට එය මිලියන 07ක් බවට පත්ව තිබුණා. අද ජනගහණය මිලියන කීයද, එදා පැවති තත්ත්වය මෙන් තුන් ගුණයක් පමණ වෙනවා. නමුත් අපේ ඉඩම් ප්‍රමාණය වැඩි වී නෑ. නමුත් වනාන්තර ප්‍රමාණය අඩු වී තිබෙනවා.

මම 1977 ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දී අපි මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාම පොළොන්නරුව ප්‍රදේශයේ අක්කර ලක්ෂ එක හමාරක්, දෙකක් පමණ වෙන් කළා. අද ජනතාව එම ප්‍රදේශවල පදිංචි වී සිටිනවා. ඒ නිස අපි අද හාල්වලින් ස්වයංපෝෂිතයි. එදා ඒ අක්කර ලක්ෂ එක හමාර වෙන් කළේ නැත්නම් අද අපි හාල්වලින් ස්වයංපෝෂිත වන්නේ නැහැ.

ඉන්දියාව නිදහස ලැබූ කාලයේ ඉන්දියාවේ ජනගහණය මිලියන 400යි. දැන් ඉන්දියාව ලෝකයේ ජනකීර්ණම රට බවට පත්වෙමින් තිබෙනවා. ජනගහණය තුන් ගුණයකින්, හතර ගුණයකින් වැඩිවෙමින් පවතිනවා. එයයි වෙනස. මුළු ලෝකයේම එම ප්‍රශ්න තිබෙනවා.

එදා අපේ මුතුත් මිත්තන්ගේ කාලයේ විදුලි බලය තිබුණේ නෑ. ඒ වගේම අපට අවශ්‍ය භාණ්ඩ සීමා සහිත ප්‍රමාණයක් තිබුණේ. නිවාසවල වායුසමීකරණ යන්ත්‍ර තිබුණේ නැහැ. අද සෑම නිවසකම පරිභෝජන ද්‍රව්‍ය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම විවිධ ආහාර වර්ග මිලදී ගන්නවා. එදා කර්මාන්ත තිබුණේ නැහැ. අද මුළු ලෝකයම විශාල කාර්මීකරණයකට ලක්වෙලා. අපට ගුවන් ගමන් අවශ්‍යයි. එසේනම් කර්මාන්ත විප්ලවයෙන් පසුව ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. ඒ අතරතුර විශාල යුද්ධ දෙකක් ඇති වුණා. පරමාණු බෝම්බ එල්ල වුණා. පරිසර විනාශය තවත් ඉහළ ගියා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද සම්පූර්ණයෙන්ම දේශගුණය වෙනස් වී තිබෙනවා.

ඒ වගේම වර්ෂ 2050 වන විට ලෝකයේ ජනගහණය තවත් ඉහළ යනවා. එවිට කොහොමද අපි මේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්නේ. ඒ නිසා අපි රටක් ලෙස අද පියවර රැසක් ගෙන තිබෙනවා. පරසරය සුරැකීමට අදාළව සම්පුර්ණයෙන් නව නීති මාලාවක් ගෙන ඒමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ පරිසර නීති එදා ගෙන ආ අවස්ථාවේ ඒවා නවීන නීති වුවත් අද ඒවා නවීන නීති නොවෙයි. ඒ නිසා නව පරිසර නීතියක් අවශ්‍යයි. ඒ වගේම දේශගුණික විපර්යාස නීතියක් අවශ්‍යයි.

අපි දේශගුණික විපර්යාස කේන්ද්‍රයක් ඇති කිරීමට අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුව සිංහරාජ අඩවිය, හෝර්ටන් තැන්න, සිරිපාද අඩවිය, නක්ල්ස් ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. නවසිලන්තයේ එම නීති සඳහා කියන්නේ කසඩසබට ැබඑසඑසැි කියලා. ඒවා ජීව වස්තුන් ලෙසයි සලකන්නේ.

අපි මුතුරාජවෙල වගේම ස්වභාවික රක්ෂිත ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. ඒ වගේම නව වනාන්තර ඇති කළයුතුව තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නීති ඇති කිරීමට අපි දැන් පියවර ගෙන තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment