නාගරාසාගේ මරණය පහරදීමක් – පොලිසියේ 4ක් රිමාන්ඩ්

691

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි පොලිසියේ පොලිස් නිලධාරීන් සිව්දෙනකු මේ මස 29දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා මහතා පෙරේදා (25දා) නියෝග කළේය.

තවත් එක් පොලිස් නිලධාරියකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබේ.

යාපනයේ වඩුක්කෝඩෙයි සිත්තන්කේණී ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් නමැති මෙම තරුණයා හොරකමක් සම්බන්ධයෙන් පසුගිය 11දා වඩුක්කෝඩෙයි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිසියේ රෝගී වූ සැකකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ අදාළ සැකකරුගේ ශරීරයේ වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිර වීම මරණයට හේතුවී ඇති බවය. එහිදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට උපපොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment