නම ඇහුවත්, හිත බයකරන අෂ්ටකර්ම

623

යුග සතරින් නරකම යුගය වන කලියුගයේ ජීවත් වන බොහෝ මිනිසුන් නරක ගතිවලින් පිරුණු අය වේ. ඔවුන් අන් අයගේ දියුණුවට, ප්‍රසිද්ධියට, කීර්තියට ඊර්ෂ්‍යා කරනු ඇත. එසේ ඊර්ෂ්‍යා කර වෛරී සිතින් නොයෙකුත් අන විණ, කොඩි විණ ආදී කොට ඇති නොයෙකුත් ගුප්ත කටයුතු කරවා ගනු දැකිය හැක. මෙසේ කරවා ගන්නා ගුප්ත කටයුතු ප්‍රධාන කොටස් 8කට බෙදා වෙන් කර ඇත. මේවා අෂ්ටකර්ම ලෙස හඳුන්වයි. ගුප්ත ශාස්ත්‍රය කරන සෑම ඇදුරෙකුට මෙම අෂ්ටකර්ම පිළිබඳව මනා දැනුමක් පවත්වාගත යුතුය. ඊට හේතුව ගුප්ත විද්‍යාවේ හරය අෂ්ටකර්ම වීමයි.

අෂ්ටකර්ම මෙසේයි:-

  1. වශී කර්ම
  2. ආකර්ෂණ කර්ම
  3. මෝහන කර්ම
  4. ස්ථම්භන කර්ම
  5. ශාන්ති කර්ම
  6. විද්වේෂණ කර්ම
  7. උච්චාටන කර්ම
  8. මාරණ කර්ම

මෙම අෂ්ට කර්ම ගැන දැනුම ඇති ඇදුරුතුමා කායිකව මානසිකව මෙන්ම වාචිකව ද ඉතා පිරිසිදු විය යුතුයි. මන්ද බොහෝ ගුප්ත කටයුතුවලදී යක්ෂයින්, ප්‍රේතයින් සමග පමණක් නොව දෙවි දේවතාවරුන් සමග ද සබඳකම් පැවැත්වීමට සිදුවන බැවිණි. පිරිසිදුකමට අමතරව භූත, යක්ෂ, දේව යන බලවේග සමග කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් ද වේ. එයට යටත්ව සිදු කරන සියලුම ගුප්ත කටයුතු සිදු කළ යුතුයි. මන්ද යක්ෂයින් හා භූත ප්‍රේත ආදීන් මෙම ගුප්ත කටයුතු සඳහා යොදා ගන්නේ ඔවුන්ගේ සිය කැමැත්තෙන් නොව, ඔවුන්ට වධ දී මන්ත්‍ර බලයෙන් මෙල්ල කර ගනිමිනි. එබැවින් එම භූතයින්, යක්ෂයින්, ප්‍රේතයින් සිටිනුයේ ඇදුරුතුමා ගැන මහත් ද්වේශයෙනි. ඒ නිසා ඇදුරුතුමා අතින් වන සුළු අත්වැරදීමක් මහා විපතකට ඔවුන් හරවා ගනී. අවර ගණයේ කර්ම හරි හැටි නොදැන, වත්පිළිවෙත් නොරැක සිදු කිරීමට යෑම දැලි පිහියෙන් කිරි කනවා වැනි අති භයානක ක්‍රියාවකි. අෂ්ට කර්ම ගැන හඳුනාදීමට ප්‍රථම මේ බව සඳහන් කිරීම මාගේ යුතුම හා වගකීම යැයි සිතුවෙමි.

මීළඟට අෂ්ට කර්ම එකින් එක අධ්‍යනය කරමු. මුලින්ම අප කවුරුත් පාහේ දන්නා වශී කර්මය ගනිමු. මෙය යම් අයෙකුගේ සිත් වසඟ කර ගැනීම සඳහ යොදා ගනී. විශේෂයෙන් මෙම කර්මය තරුණ පරම්පරාව තුළ ඉතා ප්‍රකටව පවතී. මලකට, රසකැවිල්ලකට, නූලකට මතුරා, රසකැවිල්ල නම් අවශ්‍ය තැනැත්තාට හෝ තැනැත්තියට කෑමට සැලැස්වීම, නූල නම් අවශ්‍ය අයට යටිපහු කිරීම, මල නම් දීම හෝ යටිපහු කිරීම සිදු කරයි. මෙය වශී කර්මවල සරලම කොටසයි. මීට එහා ගිය සංකීර්ණ වශී කර්ම ද නැතුවා නොවේ. සතුරන් මෙල්ල කිරීම, ව්‍යාපාර හෝ නිවාස දියුණුව, සම්මුඛ පරීක්ෂණ මෙන්ම නඩුහබවලින් ජය ගැනීමට, අඹු සැමියන්ගේ විරසක නැති වී ආදරය කරුණාව වර්ධනය වීමට මෙය ප්‍රයෝජනවත් කර ගනී.

මෙම වශී කර්ම සිදු කිරීමේදී වශී කර්මයට අදාළ දිශාව වන ගිනිකොණ දිශාව ගත යුතුයි. පුවපුටුප, පුනාවස, අභිජිත් නැකැත්වලින් එකක් ද යෙදෙන දිනක මෙම වශී කර්මය කළ යුතුයි. ඊට අමතරව රතිකාම දේවතාවුන්ට සමන්පිච්ච මල්, එළකිරි, මී කිරි, ගිතෙල්, වෙඬරු, මී පැණි, උක් හකුරු, කනේරු මල් ආදී පූජා ද්‍රව්‍ය ගෙන රතු පැහැති වස්ත්‍රයෙන් සැරසී උදේ 6.00 – 10.00 ත් අතර හෝ රාත්‍රී 6.00ත් 10.00ත් අතර කාලය තුළ ඔයක්, ගඟක්, වැවක් වැනි තැනක ඉවුරක මෙම වශී කර්මය සිදු කළ යුතුයි.

අෂ්ට කර්මවල දෙවැනි කර්මය ආකර්ෂණ කර්මයි. මෙමගින් යන්ත්‍ර මන්ත්‍රවලට දිෂ්ටි කිරීම්, හැරගිය අය ගෙන්වා ගැනීම්, ධනය වැඩි කර ගැනීම්, ව්‍යාපාර වෙළහෙලදාම් දියුණු කිරීම් ආදිය සිදු කරයි. මෙම ආකර්ෂණ කර්මයට අධිපති දේවතාවිය සරස්වතී දේවියයි. එතුමිය පිදීම සඳහා අරලිය මල් මාලයක්, කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරු පියලි ආදී සුවඳ වර්ග යෙදූ පූජාවක් සකස් කර බෙරණ, පුවපල් පුවසල යන නැකැත්වලින් එකක් යෙදෙන දිනයක රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාවේ සිට උදේ 10.00ත් 12.00ත් අතර හෝ රාත්‍රී 10.00ත් 12.00ත් අතර කිරි ගසක් මුල මෙම කර්මය සිදු කළ යුතුයි. අෂ්ට කර්මය සිදු කරන වේලාව එදින ඉර උදාව අනුව සංශෝධනය විය යුතු බව ද මතක තබා ගන්න.

තුන්වන අෂ්ට කර්මය වන මෝහන කර්මය ගැන සලකා බලමු. මෙහිදී ඇස්බැන්දුම්, රැවටීම්, මුලාකිරීම් මෙන්ම තාවකාලිකව තමන්ට යටත් කර ගැනීම සිදු කරයි. මේ සඳහා මෝහිනී දේවිය අධිපතීත්වය දරයි. සුවණ, රෙහෙන, හත යන සඳුගේ නැකතක් යෙදෙන දිනක බටහිර දිශාවේ, සඳුදා දිනක කළුඋක්ගස්, තල සූකිරි, කංසා, අබිං හා කළු අත්තන ඇට යොදා පූජාවක් සකස් කර ළා රතු පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දහවල් 12.00ත් 2.00ත් අතර හෝ රාත්‍රී 12.00ත් 2.00ත් අතර කාලයේදී මල් පිපුණු මනරම් උයනක් බඳු ස්ථානයක මෙම කර්මය සිදු කළ යුතුයි. ඇතැමුන් මෙම ජීවම් කිරීම බටහිර දිශාවේ නොව නිරිත දිශාවේ ද ඇතැම් ගුරුකුලවල සිදු කරයි.

හතරවන අෂ්ට කර්මය වන ස්ථම්භන කර්මය ගැන සලකා බලමු. මෙමගින් පුද්ගලයින් ගොළු භාවයට පත් කිරීම, වෙඩි නොවැදීමට සැලැස්වීම, විවිධ බන්ධන වර්ග සිදු කිරීම, කෙනෙකුගේ කර්මානුරූප ගමන වෙනස් කිරීම, කායික දුබල කිරීම් ආදිය සිදු කරයි. මෙම ස්ථම්භන කර්මයට අධිගෘහිත දේවතාවිය වන්නේ ශ්‍රියා කාන්තාවයි. ඇතැමුන් පාර්වතී දේවිය අධිපති දේවතාවිය ලෙස පිළිගනී. නැඟෙනහිර දිශාවේ ළා රතු පාට වස්ත්‍රාභරණයෙන් සැරසී බෙලි, කෙසෙල් සහිත පලතුරු, පූජාවක් සකසා දෙට, රේවති, අස්ලිස හෝ මුල යන නැකැත්වලින් නැකතක් යෙදෙන දිනක දහවල් 2.00ත් සවස 6.00ත් අතර හෝ රාත්‍රී 2.00ත් පාන්දර 6.00ත් අතර කාලයේදී පොල්කොළ, තල්කොළ, ඉලුක්, මානා යන කොළ වර්ග මිශ්‍ර පැදුරක සිට වෙල් එළියේ ජීවම් කළ යුතුයි.

පස්වන කර්මය වන ශාන්ති කර්මය පිළිබඳව විමසා බලමු. අෂ්ට කර්මවලින් ජනයාගේ හිත සුව පිණිස පවතින එකම කර්මය ශාන්ති කර්මය යැයි කීම නිවැරදිය. උසස් මනසකින් යුත් මිනිසුන් වන අප අවර ගණයේ කර්ම පසකලා ශාන්ති කර්ම කිරීමට සිත තබා ගත යුතුයි.

මෙමගින් නවග්‍රහ අපල දුරු කිරීම, ප්‍රේත, භූත, යක්ෂ ආදී උවදුරු දුරු කිරීමට, ඇස්වහ කටවහ දෝෂ දුරු කිරීමට, දෙහි කැපීම්, බලි තොවිල් ආදිය සිදු කරයි. මෙම ශාන්ති කර්මවලට ද සරස්වතී දේවිය අධිපතීත්වය දරයි. උත්‍රසල, උත්‍රපල් යන නැකතක් යෙදුණ ඉරිදා දිනක මල් වර්ග පහන්, බුලත්, තැඹිලි, අග්ගලා, තල, අලුවා සහිතව කැවිලි වර්ග 5 ක පූජාවක් ඊසාන දිශාවේ සකස් කර කහ පාට හෝ සුදු පාට වස්ත්‍රාභරණයෙන් සැරසී හවස 6.00ත් රාත්‍රී 10.00ත් අතර මැතිරීම කළ යුතුයි. මෙම පූජාව ශ්‍රියා කාන්තාව උදෙසා කරන බව ද ඇතැම් පොත් පත්වල සඳහන් වේ. සුවඳ දුම් වර්ග 5 ක් හා පස් තෙල් ද මේ සඳහා යොදා ගනී. මෙම පූජාව හා මැතිරීම විහාරස්ථානයක කිරීම වඩා යෝග්‍ය වේ.

හයවන අෂ්ට කර්මය වන විද්වේෂණ කර්මය ගැන මීළඟට සලකා බලමු. මෙමගින් දෙදෙනකු අතර සම්බන්ධය කඩා බිඳ දැමීම ඔවුන් අතර විරසක ඇති කිරීම, නුරුස්සන ගති ඇති කිරීම සිදු කරයි. මෙම කර්මය සිදු කර විවාහ වී බොහෝ ආදරයෙන් සිටින අඹු සැමියන් සහෝදර ප්‍රේමයෙන් සිටින සහෝදර, සහෝදරියන් මෙන්ම මවුපියන්ගෙන් දරුවන් ද වෙන් කරයි. මෙම විද්වේශන කර්ම සිදු කිරීම මරණින් මතු රෞරව නරකයේ උපදින අකුසලයක් බව ද තරයේ සිත තබාගත යුතුය. මුවසිරස, සිත, දෙනට යන කුජගේ නැකතක් යෙදෙන දිනක මූ දේවිය උදෙසා අඟහරුවාදා දිනක රතු මල්, කුකුළු අණ්ඩෙන් ගත් රුධිරය, බකමුණු හිස, සුරුට්ටු, කුණු මාළු ආදී ද්‍රව්‍ය පූජාවක් සේ නිරිත දිශාවේ සකසා රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී රාත්‍රී 10ත් 12ත් අතර සොහොන් පිටියක මෙම මැතිරීම සිදු කරයි.

හත්වන අෂ්ට කර්මය වන උච්චාඨන කර්මය ගැන සලකා බලමු. මෙමගින් යම් පුද්ගලයෙක් අමාරුවෙන් හදාවඩා ගත් නිවාස වතුපිට, ඉඩකඩම් ආදිය විනාශ කිරීමට කර ඇති යම් විණ ක්‍රියාවක් වේ නම් එය කපා ආරක්ෂා කිරීමයි. මීට අමතරව පුද්ගලයා වෙත බන්ධනය කර ඇති අත්භූත බලවේග පලවා හැරීම, සුව නොවන රෝග පීඩා සොයා දීම හා ඒවාට යම් සහන උදාකර දීම මෙමගින් සිදු කරයි. යම් ගුප්ත වේදියෙක් මෙම උච්චාටන කර්ම තම ගුප්ත දැනුම භාවිත කර ශුභ පැත්තට සිදු කරයි නම් මේ ආත්ම භාවයටත් මරණින් මතු ආත්ම භාවයටත් වැඩදායී පිණිස හේතු වේ. මෙය කිරීමේදී දුර්ගා දේවිය උදෙසා කිරීම අනිවාර්ය වේ. අද සහ සියාවස යන රාහුගේ නැකතක් යෙදී ඇති දිනක වයඹ දිශාවේ සෙනසුරාදා දිනක සිදු කරයි. මියගිය කපුටෙකුගේ පිහාටු, දියමස්, ගොඩමස්, හත්මාළුව පූජාවක් ලෙස සකසා දුර්ගා ුදේවියට පූජා කරයි. ඉන්පසු මැතිරීම අපිරිසිදු ස්ථානයක සිට සිදු කරයි. මෙය කරන ඇදුරුතුමා අළු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී සිටිය යුතුයි. උච්චාටන කර්ම රාත්‍රී 12.00 ත් 2.00 ත් අතර කාලය තුළ සිදු කළ යුතුයි.

අෂ්ට කර්මවල අවසන් කර්මය වන මාරණ කර්මය ගැන අධ්‍යයනය කරමු. මෙමගින් අනවිණ, කොඩි විණ, අධි හූනියම්, යක්ෂ බන්ධන, භූමි පාළු ආදිය සිදු කරයි. මෙම අවර ගණයේ කර්මය සිදු කළ විට භූමිය, ගේදොර, ගහකොළ මැළවී, වියළී දිරාපත් වේ. කිසිදින සරු වගාවක් ඇති නොවේ. භූමිය වධ වී පාළු වේ. මෙවැනි අවර ගණයේ කර්ම සිදු කිරීම නිවන් දකින ජාති දක්වාම විපාක දෙන අකුසල කර්මයකි. “පිං පව් කියන දෙයක් නැත, පරලොවත්, අපායත් කියා දෙයක් නැත. ඒවා බෞද්ධ සාහිත්‍යයේ එන සංකල්ප පමණක්” යැයි තර්ක කරමින් සිටින පිරිස් මෙම ගණයේ අෂ්ට කර්ම සිදු කරයි. අපගේ ත්‍රිමාන අයට නොපෙනුන ද භූතයින්, ප්‍රේතයින්, යක්ෂයින් මෙන්ම දිව්‍යලෝක, අපාය, ප්‍රේත ලෝක තිබෙන බව ද මරණින් මතු තමා කළ හොඳ නරක අනුසාරයෙන් නැවත උපතක් තිබෙන බව ද ගුප්තවේදීන් මෙන්ම මෙවැනි අකුසල කර්ම කරවා ගන්නා යන සේවාදායකයින් ද සිතේ ධාරණය කර ගතයුතු කරුණකි. මෙම මාරණ ගණයේ කර්ම සඳහා කාලි මෑණියන් අධිපතීත්වය දරයි. පුෂ, අනුර, උත්‍රපුටුප යන ශනිගේ නැකතක් යෙදෙන දිනක නර කෙස්, මිනී අළු, අලුත වළදාන ලද මිනී වළක් ආදිය සොයා ගත යුතුයි. ඉන්පසු දකුණු දිශාවේ සිට කළු පාට වස්ත්‍රාභරණයෙන් සැරසී ඉහත සොයා ගත් නර කෙස්, මිනී අළු හා සීනි පූජාවක් ලෙස සකසා අලුත වළ දැමූ මිනී වළ උඩ සිට මැතිරීම කළ යුතුයි. එය රාත්‍රී 2.00ත් පාන්දර 6.00ත් අතර වේලාවේ සිදු කළ යුතුයි.

අෂ්ට කර්ම පිළිබඳව ඔබ දැනුවත් වුව ද, ශාන්ති කර්ම හා උච්චාටන කර්ම හැර අනෙක් කර්ම කිසිවක් නොකරන්න. ලොව උපදින ඕනෑම පුද්ගලයෙකු සැපෙන්, සතුටෙන්, සැනසීමෙන් හා නිරෝගීව ජීවත් වීමට මහත් ආශාවක් දක්වයි. එසේ සිටීමට උදව්වක් උපකාරයක් කරනවා විනා සතුට, සැපත නැතිවීමට අෂ්ට කර්ම කිරීම ඉතා පහත් ක්‍රියාවකි. මහා අකුසල කර්මයකි. යම් පුද්ගලයකුට නපුරක් කිරීමට සිතා කරන අෂ්ට කර්මයක් එම තැනැත්තාට උපරිම ඵලදීම සිදුවන්නේ අවුරුදු 18 හෝ 20 කි. මන්ද යක්ෂයකු බන්ධනය කළ හැක්කේ අවුරුදු 18කට පමණි. ඉන්පසු එම අෂ්ට කර්මයේ දුර්විපාක අෂ්ට කර්මය සිදුකළ අය වෙත හැරීම වැළැක්විය නොහැක. එසේ හැරී ඔබ ද එයින් විනාශයට පත් වේ.

ඔබත් විනාශ වී අන් අයත් විනාශ වන මෙම අති භයානක අෂ්ට කර්ම කිසිවිට කිරීමෙන් වළකින්න. අනෙකාගේ සැපත, සතුට, දියුණුව දෙස බලා සතුටු වීමට පුරුදු වන්න. එවිට ඔබත්, සමාජයත්, ගුප්ත විද්‍යාවත් දිනෙන් දින බබළනු ඇත.

නම ඇහුවත්, හිත බයකරන අෂ්ටකර්ම

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment