ශල්‍ය වෛද්‍ය ගාමිණී බුත්පිටිය සර් පොඩි ශරීරයක් තිබුණු ලොකු වැඩ කළ කෙනෙක්

196

ගාල්ල කරාපිටිය මහ රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ නාමල් ගමගේ

අතේ පිච්චියක් නැති මේ රටේ අහිංසක හෘද රෝගීන් විසිදහසකට වැඩි පිරිසක් රජයේ රෝහලේ පොරොත්තු ලේඛනයෙන් ගෙන සුවපත් කළ ඒ මහා ජීවකයා මට නැවත හමු විය. රුපියල් ශත පසුපසම නොව මිනිස්කම පසුපසම කටයුතු කරන මේ වෛද්‍යවරයා අන් කවරකුවත් නොව ගාල්ල කරාපිටිය මහ රෝහලේ උරස් හා හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ නාමල් ගමගේය. අලුතින් එතුමා ගැන කියවන පාඨකයන් අරබයා කෙටියෙන් යමක් ලියමින් එතුමා තැනූ ගුරුවරුන් ගැන කතා කරමු.

එතුමා ශල්‍ය වෛද්‍යාගාරයට යන්නට ප්‍රථම අදත් තම කුඹුරුවල වැඩ කරයි. පැසී කිරිවැදී එන ගොයම් කරල් අත ගා ගොයම් පාළුව මගහැර කරල් කන්නට එන සකලයන් හඹා යයි. අනතුරුව ශල්‍යාගාරයට පැමිණ බොහෝ රෝගී දුප්පතුන්ට ශල්‍යකර්ම සිදු කිරීමට වේලාව නොබලා කටයුතු කරයි.

● වැස්සෙම පයින් පැමිණෙයි

වරක් මොර සූරන වැසි දිනයක අමාරු හදිසි රෝගියකුට හෘද සැත්කමක් කිරීමට එතුමා මහා රාත්‍රියේ පැමිණ තිබිණ.

රෝගියා මුස්ලිම් ජාතිකයකි. වාහනයෙන් තියටර් එක ළඟටවත් එන්නට බැරි තරමට වතුර පිරී ගලායමින් තිබිණ. එතුමා කුඩයක් උසුලාගෙන මහ වැස්සේම තියටර් එකට ආවේ වතුරේ දණක් බැසගෙනමය. ශල්‍යකර්මය සඳහා රෝගියාගේ පපුව විවර කර තිබියදී හදිසියේම විදුලිය ද විසන්ධි විය. පළාතම ගන අඳුරේ ගිලෙද්දී එතුමා පුංචි විදුලි පන්දම් එළියකින් තම සහායක හෙදියන් සමග ශල්‍යකර්මය සාර්ථකව සිදු කළේය. මෙවැනි මහරු මිනිස්කම් ඇති වෛද්‍යවරුන් අද බොහෝ හිඟය.

මෙවැනි සිදුවීම් සිය ගණනාවක් අපට පෙළගස්වන්නට පුළුවන. ඒ උතුම් වෛද්‍යවරයා තැනූ වෛද්‍ය ගුරු දෙපළක් ගැන එතුමා අද කතා කරයි.

● මං තමයි රෙජිස්ට්‍රාර්

‘මං පශ්චාද් උපාධිය පුහුණුවේදී සම්බන්ධව සිටියේ පේරාදෙනිය ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවට. මං තමයි ඒ කාලෙ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර්. මගේ සීමාවාසික පුහුණුව තිබුණේ ශල්‍ය වෛද්‍යවරු තුන්දෙනෙක් යටතේ. ශල්‍ය වෛද්‍ය නීල් ෆොන්සේකා, ශල්‍ය වෛද්‍ය ජී. පනාගමුව, ශල්‍ය වෛද්‍ය රන්ජන් ඩයස් ඒ මහත්වරුන්. මේ හැම දෙනාගෙන්ම මට උපදෙස් හා උපකාර ලැබුණත් මගේ සිත් ගත් ඉහළම වෛද්‍යවරයා ශල්‍ය වෛද්‍ය ගාමිණි බුත්පිටිය. එතුමා 4 වැනි වෛද්‍යවරයා හැටියට හිටියේ. එතුමා කළ ශල්‍ය වෛද්‍ය සේවය අති විශිෂ්ටයි. එතුමා ඉතා පොඩි කෙනෙක්. ලොකු ශරීරයක් නැති වුණාට වැඩ හරි ලොකුයි. ක්‍රමානුකූලයි. විද්‍යාත්මකයි. අනෙක මිනිස්කමින් පිරුණු පපුවක් මේ ගුරුවරයාට තිබුණේ.

● කුඩාම දේ ඉතා වැදගත්

ශල්‍යකර්මයක් කරනවිට අපට ඉගැන්නුවේ හැම දෙයක්ම පිළිවෙළට ක්‍රමානුකූලව කරන්න. ඉතා විශාල දේ වගේම ඉතාම කුඩා දේ ගැනත් අවධානය යොමුකර ඒවා මග නොහැර විද්‍යාත්මකව කරන්න. එහෙම කළාම ලෙඩා සුව වුණාම සංකූලතා අඩුයි. ශල්‍යකර්මයේදී ලේ වහනයවීමත් ඉතාම අඩුයි. රුධිර පාරවිලයනය කරන්න අවශ්‍ය වෙන්නෙම නැති තරම්. ලේ පයින්ට් එකක්වත් අවශ්‍ය වෙන්නෙ නෑ එතුමාගේ ඔපරේෂන්වලට.

කොතරම් අපහසු වුණත් ඒ අපහසුතා මෙත් සිතින් විඳිමින් එතුමා හෙමින් ශල්‍යකර්මය විද්‍යානුකූලව කළා. උපරිම උත්සාහයක් ගෙන කරන්නයි අපට උගැන්නුවෙ. ඇඟිලිවල සමායෝජනයන් හුරුවක් ඇතිව ඔපරේෂන් කළාම ලෙඩාට කිසිම මතුවට කරදරයක් නොවන බව එතුමා කීවා. ඒ නිසා මගේ අවුරුදු 30 ක පමණ ශල්‍යකර්ම ජීවිතයෙදීත් ඒ පාඩම සිතට ගෙන ක්‍රියා කළ නිසයි රෝගීන් මාත් සොයා එන්නේ.

● අලුත් දේ සොයන්න

ලෙඩා තෝරා ගැනීම, රෝග විනිශ්චය, ප්‍රතිකාර කිරීම, ශල්‍යකර්මය සිදුකිරීම මේ හැම අවස්ථාවම ඉතාම නිරවුල් විදියට බුත්පිටිය මහත්මයා කළා. වෛද්‍ය විද්‍යාවේ අලුත් සොයා ගැනීම්, ඔපරේෂන්වල ලෝක සොයා ගැනීම් මේ හැම දෙයක්ම එතුමා ආදරයෙන් මට කියා දුන්නා.

ලෝකයේ සඟරාවල පළකරන සිත්ගන්නා සුළු ලිපි අපට කියා දුන්නා. (ඔපරේෂන් පුහුණු කරන) වෛද්‍ය සිසුන් එකතු කර ‘සඟරා සමාජය’ කියලා එකකුත් එතුමා පටන් ගත්තා.

● අභියෝගය නොවැරැදීම

අත්වැරැදීම වෛද්‍යවරුන් කරන්නට හොඳ නෑ කියලයි එතුමා උගැන්නුවෙ. එහෙම වුණොත් දුක් විඳින්නෙ අහිංසක ලෙඩා’ කියලා එතුමා හරිම සංවේදීව අපට ඒ සිදුවීම් ගැන පැහැදිලි කරනවා. ඒ වගේම මොන අභියෝග ආවත් ඒවා සලකන්නෙ නැතිව ලෙඩුන් සුවපත් කිරීමයි වෛද්‍යවරුන්ගේ අභියෝගය කියලයි එතුමා හැමවිටම කීවේ.

● පෙණහැල්ලෙ වතුර

ශල්‍ය වෛද්‍ය ගාමිණී බුත්පිටිය සර් පොඩි ශරීරයක් තිබුණු ලොකු වැඩ කළ කෙනෙක්

මටත් පුහුණු වන කාලෙම (1986) පෙණහැල්ලෙ වතුර ඇවිත් ලෙඩ වුණා. මැරෙන්නම ගියා. ඒ අසනීප කාලෙ මගෙ ළඟින් ඉඳගෙන මාව බලාගත්තෙ මේ ගුරුතුමා. වෛද්‍යතුමා මට ආහාර ටික, සුප් ටික පවා ගෙනාවෙ සර්ගෙ ගෙදරින්. ඒ කාලෙ බුත්පිටිය මහත්මයා හිටියෙ රෝහලේ නිල නිවාසයක නිසා මටත් පහසු වුණා. මාසයක් පමණ නිවැරැදිව ප්‍රතිකාර කරලා මා ගොඩගත්තෙ මගේ ඒ ගුරුවරයා. මං පුහුණුවට ඇවිත් ඉන්නවා කියලා අම්මලා දැනගත්තට ලෙඩ වූ බව මාපියන් දැනගත්තෙ සුවවෙලා ගෙදර යැව්වටත් පස්සෙ. එදා හිටියෙ ඒ වගේ උතුම් වෛද්‍යවරුන්. එතුමන් ගුරුවරයෙක් හැටියට ඉතාම උසස්.

රෝග විනිශ්චයට අලුත් උපකරණ ලංකාවෙ පළමු වරට බය නැතිව ආමාශය, අග්න්‍යාසය, ග්‍රහණිය ආදී කොටස් ශරීරය පරීක්‍ෂා කරන විද්‍යාත්මක උපකරණ ශරීරය ඇතුළට යැවීම විද්‍යාත්මකව කළේ එතුමා. එයින් බොහෝ රෝගීනට සොයාගත නොහැකිව තිබුණු රෝග සොයා ගැනීමට හැකි වුණා. ඒවා කරන්නේ සෑහෙන සොයා බැලීමකට පස්සෙ.

1986-1990 කාලේ මා එම ගුරුවරයාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. 1987 පමණ කාලේ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන කාලේ රටේ මහා කලබල ඇති වුණා. ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නැගිටලා එන කාලෙ. බුත්පිටිය වෛද්‍යතුමා මේවා ගණන් ගන්නෙ නැතිව හැමදාම අපට උගැන්නුවා. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමේ ශල්‍යකර්මය එතුමා ඉතාම විස්මිත විදියට කළා. ලෙඩාට සනීපයට, කරදරයක් නොවන්නට සියුම් ශල්‍යකර්ම කරන්නට හැකි බව කියමින් එතුමා කිසිම ශිල්පයක් සඟවන්නෙ නැතිව අපට කියාදුන්නෙ පියෙක් වගේ. එතුමාගේ ලේවල ඒ සියුම් ක්‍රමවේදය කලවම් වෙලා තිබුණ ද කියලත් අපට හිතුණු අවස්ථා තිබුණා. කුඩා දෙයක් හෝ මඟ නොහරින ගුණය එතුමා අගය කළා.

● අත්වැරැද්ද බරපතළයි

මං ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් වූ පසු දවසක ඔපරේෂන් එකකට පසු ඒ ශල්‍යකර්මයට සහභාගි වූ කනිෂ්ඨ වෛද්‍යවරයකුට ඉතිරි ටික භාරකරලා තියටර් එකෙන් ආවා. පස්සෙ දැනගන්නට ලැබුණා ඒ ඔපරේෂන් එකට පාවිච්චි කළ සියුම් බඩු අතර එකක් ශරීරයේ තබලයි අර ලෙඩාගෙ ශරීරය මහලා තියෙන්නෙ කියලා. මට මගේ බුත්පිටිය ගුරුතුමාගෙ වචන මතක් වුණා. ඒ වචන මගේ දෙසවන්වල දෝංකාර දෙන්න ගත්තා. කරන්නට ආ වැඩේ අත්හැරලා මං ආයිත් අර ලෙඩා තියටර් එකට කැඳවාගෙන යළිත් ඔපරේෂන් කළා. ශරීරයේ ඇතුළෙ අත්වැරදීමකින් අර කතුර රැඳී තිබුණා. මං මගේ කනිටු වෛද්‍යවරයාට කියාදුන්නෙ අර ගුරුවරයාගේ වචන, ක්‍රමානුකූල බව. කොහොම හරි ලෙඩාට කරදරයක් නොවෙන්න බේරාගත්තා. ඒක මගේ වරදක් නොවේ. මගේ කනිටු වෛද්‍යවරයෙක්ගෙන් වූ අත්වැරැද්දක්. ඒත් බුත්පිටිය මහත්මයා ළඟ එවැනි අත්වැරැද්දටවත් ඉඩක් නෑ.

● පිරිමසා ගැනීම වැදගත්ම පාඩම

ඉස්තරම්ම දෙයින් නොව තිබෙන දේ පිරිමහගත යුතුයි. ඒක බුත්පිටිය ගුරුතුමාගෙ අවවාදයක්. මේක වෛද්‍ය වෘත්තියටම ගෞරවයක්. හැම දේම ඉල්ලා සිටින්නේ නැතිව තිබෙන දෙයින් පිරිමහ ගන්නත් අමාරු කාලයක් අපට සිදුවෙන්න පුළුවන්.

● පත්තර තම්බලත් වැඩේ කළා

සමහර ශල්‍යකර්ම කරද්දී ශල්‍යකර්මවලටත් අවශ්‍ය සමහර කුඩා දේ හිඟ වෙනවා. ජීවානුහරණය කළ රෙදි අවශ්‍ය වෙනවා. ඒවා හිඟ වුණා කියලා ලෙඩාගෙ ඔපරේෂන් නවත්වන්න බෑ. ඒ වෙලාවට අපි තියටර් එකට හොට් ප්ලේට් එකක් ගෙනැල්ලා ප්‍රෙෂර් කුකර් එක තියලා ඒකෙ හුමාලෙන් පරණ පත්තර තම්බගෙන ඒ අවශ්‍යතාව ඉටුකර ගන්නවා. ඒවාත් බුත්පිටිය මහත්මයාගෙ පිරිමහ ගැනීමේ උපදේශය. හැබැයි හොඳින් ජීවානුහරණය කරගෙන.

● ජාතික චින්තනය

ඊළඟට මට අමතක කරන්න බැරි තවත් වෛද්‍ය ගුරුවරයෙක් ඉන්නවා. එතුමාගේ දේශපාලනයක් තිබුණා. උග්‍ර ජාතික චින්තනවාදියෙක්. ජාතික හෙළ උරුමය ආරම්භ කරන කාලෙ එල්ලාවල මේධානන්ද හිමියන්ගේ පක්‍ෂයට හොඳට වැඩ කළා. උස මහත හරිම ලස්සන මනුෂ්‍යයෙක්. වෛද්‍ය මහාචාර්ය චන්න රත්නතුංග. උත්තරීතර ලෝකෝත්තර ධර්ම රකිනවා. ජාතික ඇඳුමත් ඒ කාලේ ඇන්දා. එතුමා විද්‍යාත්මක ක්‍රමවේදවලට තරමක් එහා ගිහින් රෝගීනට ප්‍රතිකාර කරන අවස්ථා තියෙනවා. ඒ ගැන අපට ආදරයෙන් කියා දෙනවා.

● පිළිකාවක කතාව

එක්තර රෝගියකුට බරපතළ පිළිකාවක් ශරීරය පුරා උඩු දුවා තිබුණා. අපේ රත්නතුංග මහාචාර්යතමා මේ ලෙඩාගෙ ඔපරේෂන් එක කළේ. පිළිකාව ප්‍රමාණය ඉක්මවා ශරීරය පුරා ඔඩු දුවලා. සාමාන්‍යයෙන් ක්‍රමය තමයි කරන්න පුළුවන් හරිය කරලා වසා දමන එක. මෙතුමා පැය ගණනක් මහන්සිවෙලා අවසානයේ බරපතළ කොටස ඉවත් කරලා දැන් කනිටු වෛද්‍යවරයකුට ශරීරය වසා දමන්න කියලා එළියට ගියා. ඒත් එතුමාගෙ හිතට හරි නෑ. තව දවස් 2ක් හෝ මේ මිනිහා ඉන්නවාට වඩා ජීවත්වේවි නේද? අර සියුම් ලෙස දුවා තිබෙන පිළිකා සෛල කොහොම හරි අරන්ම දැම්මොත් කියලා හිතලා නැවතත් එතුමා තියටර් එකට ආවා. ඇවිත් ශරීරය වහන්න දුන්නෙ නෑ. ආයිත් අර සියුම් ඉරි වගේ දුවා තිබෙන සෛලත් හෙමිහිට ඉවත් කළා. ඒකටත් තවත් පැය ගණනක් ගියා. කොහොම හරි රෝගියා සුවපත් කරලා ගෙදර ඇරියා. සිද්ධියෙන් අවුරුදු 20කට විතර පස්සෙ අපේ මහාචාර්යතුමා නුවර මාර්කට් එකට ගියා එළවළු ගන්න. ඒ වෙලාවෙ මනුෂ්‍යයෙක් ඇවිත් දොහොත් මුදුන් දී අපේ සර්ට වැඳ වැටිලා. හොයලා බලනකොට එදා පිළිකාව ඉවත්කර ගත් ලෙඩා.

● සෝදන්නෙ නැති කාරය

ඒ විදියට මනුෂ්‍යයන් වෙනුවෙන් හරිම කම්පිත හදවතක් ඇති කෙනෙක් ඒ මහාචාර්යතුමා. හැබැයි ඒ වාහනයවත් හරියට හෝදගන්නෙ නෑ. කාරය ඇතුළේ පොත්පත්, ෆයිල් බොහෝ විට අපිළිවෙළට පිරිලා තිබුණා. එතුමා නම් නළුවෙක් වගේ ලස්සනයි. මිනිසත්කමින් බැබළුණා.

මං හෘද රෝග ශල්‍ය වෛද්‍ය වෙන්නයි බලාපොරොත්තුව හිටියෙ. ඒත් එතුමා මට කීවා නාමල් හෘද රෝග උරස් ශල්‍ය වෛද්‍ය වීම ඊටත් වඩා වටිනවා. ඒකෙ විශේෂඥවරයෙක් වීම රටටත් ගොඩක් වැදගත් කියලා.

● නියම තැනට යොමු කළා

ඒ අනුව තමයි මා හෘද රෝග උරස් ශල්‍ය වෛද්‍ය විද්‍යාව පැත්තට නැඹුරු වුණේ. මං තරුණ වෛද්‍යවරයෙක් කාලෙත් එතුමා මාව විශ්වාස කළා. බාරදෙන වැඩේ මඟ නොහැර හරියටම කරයි කියලා. මාත් ඒ විශ්වාසය කවරදාවත් බින්දෙ නෑ. එතුමා අපට කියා දෙනවා විතරක් නොවේ පොත් ගණනාවක් ලියපු කෙනෙක්. හරියට සාන්තුවරයෙක් වගේ පැවැත්මත්. කිසිම රෝගියෙක් විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව ඔපරේෂන් කරන්නෙ නෑ. එක් එක් වෛද්‍යවරයා එක් එක් දේවල සුවිශේෂතාවක් දක්වනවා. රත්නතුංග මහාචාර්යතුමා ලේ නහර පිළිබඳ සුවිශේෂ ඥානයක් තිබූ කෙනෙක් බව අප දන්නවා. මට ක්‍ෂේත්‍ර හෘද ශල්‍ය පුහුණුව ලබාදුන් මාහැඟි ගුරු වෛද්‍යවරයා එතුමා. මං පසුව එංගලන්තෙ පුහුණුවකටත් ගියා. ඒ හැම විටම මගේ ගුරුවරුන් මා දිරිමත් කළා.

● කතාවට වඩා ක්‍රියාව ප්‍රබලයි

දොස්තර කෙනෙක් වුණාම කතාකරලා විතරක් වැඩක් නෑ. ඒ අය රටට මිනිසුනට වැඩක් කරලා පෙන්වන්න ඕනෑ. ඒකයි නියම දොස්තරකම. මේ පාඨය සිතින් දරාගත් උතුමෙක් එතුමා. දක්‍ෂ කථිකයෙක් වුණාට එතුමා කතාවෙන් මිනිසුන් දිනුවෙ නෑ. මිනිසුන් දිනාගත්තෙ වැඩ කිරීමෙන්. මිනිසුන් සුවපත් කිරීමෙන්. මේ දැනුම මගේ සිත තුළත් තදින් ලැඟුම් ගත්තා. මේ ගුරුවරුන් නිසා මා ලැබූ ලාභය ගැන මුල්ම අත්දැකීමක් මා හෙළි කරන්නම්.

● තරුණ වෛද්‍යවරුනට කම්පන

මා හිතන්නේ 1988 – 89 අතර කාලෙ කතරගම පෙරහැරට පහර දුන් දවසට පසු දින මතක විදියට. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරෙ න්‍ගඪගඡග කණ්ඩායම හා ආණ්ඩුව අතර බරපතළ ආරවුල් තිබූ වෙලාවක්. බුත්පිටිය මහත්මයලා මහාචාර්යතුමන්ලා හැර වෛද්‍යවරුන් කිසිවෙක් නොසිටි දවසක්. මං පේරාදෙණිය ඔපරේෂන් තියටර් එකට ගියෙ උදේ 7.30ට. වැඩ ඉවර වුණේ ඊට පහුවෙනිදා සවස 3.30ට. මොකද? ඔපරේෂන් වාට්ටුවට එක දිගට ලෙඩ්ඩු ගෙනෙනවා හදිසි ඔපරේෂන්වලට. පාරෙ ඇඳිරිනීතිය. කඩුගන්නාව මාවනැල්ල පැත්තට ගිය අයට නුවරට එන්න බෑ. ඒ තරම් පාරෙ කලබල.

● හමුදාවෙන් වෙඩි

දේශප්‍රේමීන් පේරාදෙණිය පාලම ළඟ උද්ඝෝෂණයක් සංවිධානය කරලා. ආණ්ඩුව මේ උද්ඝෝෂණය නවත්වන්න හමුදාව එක දිගට දාලා. රට පුරා ඇඳිරිනීතිය තිබෙන වෙලාව. දවුලගල පැත්තෙ පිරිසක් (අවු. 13-14 ළමයින් හිටි බව කියනවා) ලොරියක බලෙන් නංවලා ගියෙ නැත්නම් මරනවා කියමින් මේ අය එව්වා පාලම කිට්ටුවට. දැන් මේ පිරිස දේශප්‍රේමීන්ට බයේ පාලම කිට්ටුවට එනවා උද්ඝෝෂණයට සහභාගි වෙන්න. පාරෙ හිටි හමුදාව කිසිම ඉවක් බවක් නැතිව තේරීමක් නැතිව වෙඩි තිබ්බා අර ලොරියේ හිටපු අහිංසක මිනිසුනට. 6-7ක් එතැනම මැරිලා. අනෙක් තුවාලකාරයෝ තමයි මේ එක දිගට රෝහලට එන්නෙ. මං පුළුවන් හැටියට ලෙඩ්ඩු විශාල ප්‍රමාණයක් ඔපරේෂන් කරලා බේරගත්තා. පස්සෙ රෝහලට ආපු චන්න රත්නතුංග මහාචාර්යතුමායි, බුත්පිටිය මහත්මයයි මට නොසෑහෙන්න ස්තුතිවන්ත වුණා ඒ කළ කාර්යය දැකලා.

මගේ බුත්පිටිය සර් ලොකු ශරීරයක් නැති වුණාට ලොකු වැඩ කළ හොඳම වෛද්‍යවරයෙක්. මහාචාර්ය චන්න රත්නතුංග මට ජීවිතය හා ලෝකය අරබයා ජීවන දර්ශනයක් පෙන්වා දුන් උත්තමයෙක්.

උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment