පහරකෑමකට ලක්ව රෝගියෙකු මිය යෑම – අංගොඩ රෝහලේ සුළු සේවකයෝ 4දෙනා යළි රිමාන්ඩ්

66

මානසික රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කර තිබූ 47 හැවිරිදි රෝගියකු පහරකෑමට ලක්ව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විiායතනයේ (මානසික රෝහලේ) සුළු සේවකයන් සිවුදෙනා ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය. එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීනම් පරීක්‍ෂණ පවත්වා ඔවුන්වද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මරණකරු ප්‍රකෝපකාරී ලෙස හැසිරීම නිසා ඔහු සන්සුන් කිරීමට උත්සාහ දරන විට එහි ප්‍රතිකාර ලබමින් සිටි වෙනත් රෝගීන් පිරිසක් ඔහුට පහරදී ඇති බවත් පුරා වසර ගණනාවක් තිස්සේ එවැනි රෝගීන් රැකබලා ගන්නා සැකකරුවන්ට එලෙස පහරදීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පැවසූහ. සැකකරුවන්ගේ නීතිඥවරුන් එලෙස පැවසුවත් එම මරණකරු සිදුකර ඇත්තේ ඔවුන් ඉලක්ක කර ජලය ඉසීමක් පමණක් වන්නේ යැයි මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා එහිදී අධිකරණයට පැවසීය.

එවැනි මානසික රෝගියකු යමෙකුට ජලය ඉසීමක් සිදු කිරීම සාමාන්‍ය දෙයක් වන බවත් මානසික රෝගීන් රැකබලා ගැනීමට සිටින රෝහල් සේවකයන් එවැනි සිදුවීම්වලට මුහුණදීමට සූදානම්ව සිටිය යුතු බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

එම මරණකරුගේ ශරීරයේ තුවාල 35 ක් ඇති බවට හා එම මරණය සිදුවී ඇත්තේ පොලු මුගුරුවලින් පහරදීම නිසා මොළයට රුධිරය රැස්වීම නිසා බවට අධිකරණ වාර්තාව අනුව පෙනී යන්නේ යැයි පැවැසූ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන්ත ගුණවර්ධන මහතා එය මිනීමැරීමක් බවත් එබැවින් එවැනි සිදුවීමක් වළක්වා ගැනීමට අපොහොසත් වූ රෝහල් බලධාරීන්ට එරෙහිවද නීතිමය පියවර ගත යුතු බවත් අධිකරණයට පැවසීය.

නීතිඥ ප්‍රදීප් ගුණතිලක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ වජිත් තෙන්නකෝන්, ජගත් නානායක්කාර එල්. නිවුන්වැල්ල හා නීතිඥ දිල්රුක්‍ෂි පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ අශාන්ත ගුණවර්ධන මහතා මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment