පිටකොටුව මධ්‍යම – ගුණසිංහපුර හා බැස්ටියන් මාවත කොළඹ බස් කොටුව දුම්රියපළ අසලට

250

පරණ තැන් වානිජ කටයුතුවලට දෙයි

මේ වන විට කොළඹ පිටකොටුවේ ස්ථාන තුනක පිහිටි බස් නැවතුම්පළවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට යාබදව පිහිටි ඉඩමේ ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටී.

ඒ අනුව පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පළ, ගුණසිංහපුර බස් නැවතුම්පළ හා බැස්ටියන් මාවත බස් නැවතුම්පළ කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථාපනය කර දැනට බස් නැවතුම්පළවල් පිහිටි ඉඩම් වාණිජ කටයුතු සඳහා පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරීමට ද යෝජනා වී තිබේ.

මේ අතර බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම පිළිබඳව වාර්තාවක් මේ මස 15 වැනිදාට පෙර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් පෙරේදා (04දා) පැවති සාකච්ඡාවකදී උපදෙස් දී තිබේ.

කොළඹ නගරය අලංකරණය කිරීමේ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබාදෙන ලෙස සාගල රත්නායක මහතා නිලධාරීන්ට පවසා ඇත.

එමෙන්ම එළැඹෙන නත්තල් සමයේ කොළඹ නගරයේ තදබදය අවම කර ගැනීම සහ කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, කොළඹ නගර සභාව හා වෙළෙඳ සංගම් ඒකාබද්ධව වැඩසටහනක් සකස් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ වී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment