බල්ලන් නොවන සතුන් සපාකා ජලභීතිකාව හැදෙන පිරිස වැඩිවෙලා

90

සුනඛයින් නොවන සතුන් සපා කෑම් හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරුවී මෙරට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපයේදී ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ජලභීතිකා රෝගය පිළිබඳව ජනතාව තුළ ඇති නොදැනුම්වත් භාවය මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ යෑමට බලපා ඇතැයි එම අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා ඊයේ (21 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ජලභීතිකාවට ගොදුරු වන පුද්ගලයන්ගෙන් බොහොමයක් තමන් සපා කා ඇති සත්ත්වයා පිළිබඳව දැනුම්වත් නැහැ. මත්පැන්වලට ඇබ්බැහි වූ ඇතැම් පුද්ගලයන් මහා මාර්ග අසල හෝ කිසියම් වූස්ථානයක නිදා සිට පසුදා බලන අවස්ථාවලදී කුමන හෝ සතකු තමාව සපා කා ඇති බව දකිනවා. නමුත් එය නොසලකා කටයුතු කිරීමෙන් ටික දිනකින් ඔහුට හෝ ඇයට ජලභීතිකා රෝග ලක්‍ෂණ මතුවෙනවා. අපට මෙවැනි සිද්ධි වාර්තා වී තිබෙනවා. ඕනෑම සතකුගේ සපා කෑමකට ලක්වුවහොත් නිසි ප්‍රථමාධාරයක් ලබා ගැනීම වැදගත්. එහිදී සබන් යොදා ගලන ජලයෙන් තුවාලය සේදීම වැදගත්.

තමන්ට සපයා ගත හැකි නම් ස්පීතු, බෙතඩීන් හෝ අයඩින් ද්‍රාවණයක්, සර්ජිකල් ස්පීතු, හයිඩ්‍රජන් පැරොක්සයිඩ් වැනි විෂ බීජ නාශක දියර ගල්වන්න හැකි නම් හොඳයි. ඉන්පසු රෝහල කරා පැමිණීම සිදුකළ යුතුයි. එසේ කිරීමෙන් හැමෝටම ජලභීතිකාවෙන් මිදීමේ හැකියාව පවතිනවා යැයි ද වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment