බාල බෙහෙත් ගෙන්වන කොම්පැණියකට ම ආයෙත් දොර ඇරලා – පුබුදු ජයගොඩ

51

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මිලදී ගන්නා ඖෂධ තොගයෙන් ඖෂධ වර්ග 12ක් ගෙන්වීමට මෙතෙක් කල් බාල ඖෂධ ගෙන්වූ සමාගමකට අවසර දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.

නුගේගොඩ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය.

මින් පෙර ලාදුරු රෝගීන්ට දෙන ඩොරල් ශත තිහක් වන බෙහෙත් පෙත්තක් අදාළ සමාගම විසින් ගෙන්වා ඇත්තේ ඩොලර් 16.53කට බව ද ඔහු කීවේය.

ජයගොඩ මහතා මෙසේ ද කීවේය.

පසුගිය කාලයේ මේ සමාගමෙන් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිසා අහිමි වූ මුදල ඩොලර් කෝටි 10කට වැඩියි. රුපියල් බිලියන 30ක් පමණ. මෙපමණ ප්‍රශ්නයක් තිබියදී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මිලදී ගන්නා ඖෂධ තොගයේත් ඖෂධ වර්ග 12ක් සඳහා අවසරය එම සමාගමට දීලා. ඒ සමාගම වැඩි මිලට දෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ. 2015 සිට මේ දක්වා පමණක් මේ සමාගමෙන් ගෙන්වූ ඖෂධ වර්ග 100ක් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වුණා. මේ තරම් විනාශයක් කරලා දැන් කෙහෙළිය කියනවා කමිටුවක් දාන්නම්ලු. ඒ කමිටුවේ කවුද ඉන්නේ? ආසියානු සංවර්ධන බැංකුවේ මුදලින් මේ

සමාගමට ඖෂධ ගන්න ටෙන්ඩර් දුන් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයිනුත් ඉන්නවා කියලා ආරංචියි. මීට කලින් කමිටු දැම්මෙත් ඔහොම තමයි. ඖෂධ නිසා සිදුවූ මරණ ගැන හොයන්න කමිටුවක් දැම්මා, Bupivacaine සහ Propofol කියන නිර්වින්දන ඖෂධ දෙකෙන් සිදුවූ මරණ ඒ කමිටුවේ විෂය පථයට ඇතුල් කරලා නෑ. අන්තිමට කමිටුව දුන්නු වාර්තාවත් හංගලා. ඒවා ජනතාවට දෙන්නේ නෑලු. මේ සමාගම ගැන හදපු කමිටුවටත් ඕකම තමයි වෙන්නේ.

සෞඛ්‍ය ඇමැති වැරදි නිවැරදි කර ගන්නවා කියලා පෙන්නන්න හැදුවට සියලු ජාවාරම් එහෙමම සිදු වෙමින් පවතිනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment