බිස්නස් නැගිට්ටවන්න බැංකු ඒකක

81

බැංකුවල දැනටමත් පිහිටුවා ඇති පශ්චාත් කොවිඩ්-19 ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකකවල ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඒවා ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක බවට පත් කිරීමට මහ බැංකුව තීරණය කර ඇත.

ඒ සඳහා සහ මෙම ඒකක, ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක ලෙස වැඩිදියුණු කරලීම උදෙසා, 2024 මාර්තු 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පුළුල් මාර්ගෝපදේශ නිකුත් කරන ලද බව මහ බැංකුව පවසයි.

යෝජිත ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකකවල වැඩි දියුණු කළ විෂය පථය මගින්, බලාපොරොත්තු නොවූ සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ, එනමුත් පවත්වා ගෙන යෑමට හැකියාව ඇති ව්‍යාපාර තිරසාර ලෙස යළි නඟා සිටුවීමට පහසුකම් සැලසෙන අතර බලපත්‍රලාභී බැංකුවල ඉහළ ගිය අක්‍රීය ණය නිසි ලෙස හැසිරවීමට සහාය වෙයි. මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේ දී මහ බැංකුව විසින් බැංකු ක්ෂේත්‍රය, වාණිජ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් සලකා බලා ඇත.

මෑත වසරවල පැවැති අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ, ව්‍යාපාරවල ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් අඩපණ වීම, ණය ගැනුම්කරුවන්ගේ ණය නිසි ලෙස ගෙවීමට ඇති හැකියාවට අහිතකර ලෙස බලපා ඇති අතර එමඟින් බලපත්‍රලාභී බැංකුවල ණය අය කර ගැනීමේ ක්‍රියාවලියට බාධා ඇති වී තිබේ. එම නිසා, තවදුරටත් ව්‍යාපාර පවත්වා ගෙන යෑමට හැකියාව ඇති සක්‍රීය සහ අක්‍රීය ණය ගැනුම්කරුවන්ගේ ව්‍යාපාර නැවත නඟාසිටුවීම සඳහා “ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක” පිහිටුවීම පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහ බැංකුව සඳහන් කරයි.

වැඩිදියුණු කළ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ණය ගැනුම්කරුවන්ට ප්‍රතිලාභ සැලසීමට සහ ජාතික ආර්ථිකයේ සංවර්ධනයට දායක වීමට තිරසාර ලෙස ව්‍යාපාර යළි පණ ගැන්වීම සහතික කිරීම සඳහා ඵලදායීව සහයෝගය දක්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලින් සහ අදාළ ණය ගැනුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment