බොරතෙල් ගේන්න ඩොලර් නැතිව සපුගස්කන්ද යළි වැසෙයි: දිනක පාඩුව කෝටි 10 ක්!

156

බොරතෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් නැතිකමින් සුපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 03 වැනිදා සිට යළි වසා දැමීමට පියවර ගැනෙන හෙයින් එසේ වූවිට දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටි දහසක් පමණ වනු ඇතැයි දැනට සිදුකර තිබෙන ගණනය කිරීම්වලදී හෙළි වී තිබේ.

දෙවන වතාවටත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන බවට බළශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (30 දා) දිවයිනට කීවේය.

නයිජීරියානු සමාගමකින් ඇණවුම්කර තිබු බොරතෙල් නොලැබීම නිසා යළි දෙවන වරටත් මෙලෙස සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුවන බවද තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘‘දිවයින’’ට පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීම නිසා දිනකට එමගින් නිපදවූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1250ක්, පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 500ක්, නැප්නා මෙටි‍්‍රක් ටොන් 350ක්, දැවිතෙල් මෙටි‍්‍රක් ටොන් 2000ක්, තාර මෙටි‍්‍රක් ටොන් 300ක් සහ එල්. පී. ගෑස් සියයට 5ක් රටට අහිමිව යනු ඇත.

මේ වනවිට විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ‍්‍රයෙන් පහළ බසිමින් තිබෙන අතර ජනවාරි අග වනවිට දැවිතෙල් හා ඞීසල් විදුලිබලාගාරවලින් විදුලිය නිපදවීමට සිදුවුවහොත් බලාගාර සඳහා දැවිතෙල් හා ඞීසල් ආනයනය කිරීමටද අමතර වියදමක් දැරීමට සිදුවන බව එම ජ්‍යෙෂ්්ඨ නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව ලබන 03 වැනිදායින් පසුව මෙරටට අවශ්‍ය පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල්, මෙන්ම දැවිතෙල් ද පිරිපහදු කළ නිෂ්පාදන ලෙස සම්පූර්ණ අවශ්‍යතාවම ගෙන්වා ගැනීමට සිදුවීමෙන් ඒ සඳහා අමතර ඩොලර් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදුවනු ඇත.

මීට අමතරව ගුවන්යානා තෙල් නොමැතිවීමෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට හා විදෙස් ගුවන්යානාවලට විදේශ රටවලින් ගුවන්යානා තෙල් ලබා ගැනීමට සිදුවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සපුගස්කන්ද වසා දැමුවත් එහි සිටින සේවකයින් 1200කට පමණ මසකට රුපියල් කෝටි 10ක වැටුප් ගෙවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතාද කියා සිටියේ සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම නිසා සියලූ අංශවලට වන බලපෑමෙන් දිනකට රුපියල් කෝටි 10ක් පාඩු වන බවයි.

බොරතෙල් නොමැති නිසා පිරිපහදුව ඉකුත් නොවැම්බර් මස 15 වැනිදා වසා දමා දෙසැම්බර් 07 වැනිදා යළි පරිපහදු කටයුතු ආරම්භ කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment