මඟුල් ගෙදර ගොස් එද්දී බස් එක පෙරළී 10ක් මරුට – 25කට බරපතළ තුවාල:

672

සුළු තුවාල ලැබූ රියැදුරු චෝදනා 10ක් යටතේ අද උසාවියට

ඔස්ටේ්‍රලියාවේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටි පිරිසක් ගමන්ගත් බස් රථයක් මහා මාර්ගයේ මංසන්ධියක් අසලින් හැරවීමට යෑමේදී පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනකු මියගොස් තවත් 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

.පෙරේදා (11දා) මධ්‍යම රාත්‍රියේ ඔස්ටේ්‍රලියාවේ වයින් කලාපයේ සිදුව ඇති මෙම අනතුරට ලක් වූ බස් රථයේ අලුත විවාපත් වූ යුවළ ගමන් ගෙන නොමැති අතර ඊයේ (12දා) දහවල් වන විටද අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනාගෙන නොතිබිණි. තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිසෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වී තිබේ.

මෙම අනතුරෙන් මියගොස් හා තුවාල ලබා ඇත්තේ වයින් කලාපයේ හන්ටර් වැලි ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත සිය නිවෙස්වලට ප්‍රවාහනය කරමින් සිටි පිරිසකි. බස් රථය අධික වේගයෙන් ගමන් කරමින් තිබියදී සිදුව ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් පිරිසක් වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිකට් සමාජයකට අයත් ක්‍රීඩකයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් බව හඳුනාගෙන තිබේ. 35 දෙනකු ප්‍රවාහනය කරමින් තිබූ මෙම බස් රථය අනතුරෙන් පසු උඩු යටිකුරු වී මහා මාර්ගයේ පෙරළී ගොස් තිබී ඇති අතර රථය තුළ සිරවී සිටි මගීන් ඉවතට ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වූ බව පොලිසිය පවසා තිබේ. මෙම බස් රථය පැදවූ 58 හැවිරිදි රියැදුරා අනතුරෙන් සුළු තුවාල ලබා ඇති අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අවදානම් අයුරින් රිය පදවමින් පුද්ගලයන් 10 දෙනකු මරා දැමීමට අදාළව චෝදනා 10ක් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර තිබේ. චූදිත රියැදුරා අද (13දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ සැකකරු ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. මෙම අනතුර සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඔස්ටේ්‍රලියානු අගමැති ඇන්තනි ඇල්බනෙසේ පවසා ඇත්තේ මෙය දරුණු ශෝකජනක හා අසාධාරණ අනතුරක් බවයි.
එමන්තී මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment