මව් බස නොතැකීමෙන් බොහෝ දේ අහිමි වේ

260

පෙබරවාරි මස 21 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙනි.

දශක පහකට පමණ ඉහතදී ලේඛකයකු වූ මපියාණන්ගේ පොත්ගුලේ තිබී කියැවූ ධර්මදාස ගුණවර්ධන ලියූ වංග කෙටිකතා, ඇල්. ටී. පී. මංජුශ්‍රීගේ වංග සාහිත්‍ය, ඌරාපොල හේමාලෝක හිමියන් හා ධර්මදාස ගුණවර්ධන පරිවර්තනය කළ රබීන්‍ද්‍රනාත් තාගෝර්ගේ ගෝර නවකතාව මතකය. සරච්චන්‍ද්‍ර චට්ටෝපාධ්‍යාය, විභූති භූෂන් බන්ධෝපාධ්‍යය ගේ කෘතීන් හි සිංහල පරිවර්තන මනහර, ගැඹුරු පොත් ය. වංග බස උගෙන, චින්තා ලක්‍ෂ්මී සිංහාරච්චි කළ පරිවර්තන, දිලීප ජයකොඩි සිංහලයට නැඟූ ඒක වචන සහ තවත් බෙංගාලි කෙටිකතා මෙන්ම තවත් බොහෝ කෘතීන් වංග සාහිත්‍යය ගැන කල්පනා පුබුදු කළේය. එඩ්මන්ඩ් ජයසූරිය ඇතුළු ලේඛකයන් කීපදෙනෙක් තාගෝර්තුමාගේ ගීතාංජලී සිංහලයට නැඟුවේ ඉංග්‍රීසියෙනි. මුල් වංග බසින් ගීතාංජලී සිංහලයට නඟන්ට මහාචාර්ය උපුල් රංජිත් උත්සාහ කරමින් සිටී. වංග කවි, කෙටිකතා, නවකතා, නාට්‍ය, ගීත, සිනමා කෘති ඔබ ඇසුරු කළේ නම් ගැඹුරු ජීවන දායා ද ලබන්ට හැකිවනු නිරනුමානය. වංග – බෙංගාලි භාෂාව එපමණ පොහොසත්ය. පෙබරවාරි මස 21 දා ජාත්‍යන්තර මාතෘ භාෂා දිනයයි. සැබැවින් ම මාතෘ භාෂා දිනයක් සැමරීමට බංග්ලාදේශයට විශේෂයෙන් උරුමයක් ඇති බව දයා දිසානායක විසින් ලියන ලද පුවත්පත් ලිපි කීපයකින් ම මනාව පෙන්වා දී තිබුණි.

භාෂා 6000 කට වඩා ලෝවැස්සන් විසින් කතාබහ කරතැයි ගණන් බලා ඇත. ඉන්දු – ආර්ය භාෂා කාණ්ඩයට අයත්, ඉන්දු ඉරාණීය භාෂා පවුලට සම්බන්ධ යැයි සැලකෙන බංග්ලාදේශීය භාෂාව 98 ්‍ර ක් පමණ එම රටේ භාවිතා කරනු ලැබේ. එකාවන්ව සටන් කොට මවුබිම වෙනුවෙන් දිවිපුදා ඔවුන් රැකගත් මාතෘ භූමිය වංග භාෂාව ද මුල් කොටගෙන සිදු වූවකි. එබැවින් මුළු රටක් එක් බඳුව මාතෘ භාෂා දිනය සැමරීමේ ප්‍රධාන උරුමයත් බෙංගාලය සතුව පවතී. බෙංගාලයේ රාජ්‍ය භාෂාව වංග බසයි. ඉන්දියාවේ ද ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති බසකි. එබැවින් ඉන්දියාවේ ද බංග්ලාදේශයේ ද බංගලි භාෂාව මිලියන 220 ක් පමණ භාවිත කරනු ලැබේ. දැනට මිලියන 250 ක් පමණ උසුරුවන බෙංගාලි භාෂාව ලෝකයේ 7 වැනි ස්ථානය ලබා ඇත. 1910 දී රබීන්ද්‍රනාත් තාගෝර් ලියූ ගීතාංජලී පද්‍ය 157 කි. ඉංග්‍රීසියට නැඟුවේ කවි 103 කි. මුල් වංග බසින් කවි 53 ක් දිටිය හැකිය.

ඇමරිකාවේ කෝර්නෙල් විශ්වවිiාලයේ ආසියා අධ්‍යයන අනුව, දකුණු ආසියාවේ බහු භාෂක සමාජ සංස්කෘතීන් අතර බෙංගාලි භාෂාව බංග්ලාදේශයත් ඉන්දියාවත් පිළිගෙන ඇති භාෂාවයි. රැකීරක්‍ෂා, ශ්‍රම බළකාය, පෝෂණ හා සෞඛ්‍ය සනීපාරක්‍ෂාව, නීතිය, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, ව්‍යාපාර, සන්නිවේදන, සාහිත්‍ය, සෞන්දර්ය, කලා ආදී කවර ක්‍ෂේත්‍රයක දී බංගලි භාෂාව ප්‍රමුඛස්ථානයේ පවතී.

ශ්‍රී ලාංකික අපට මවුබස වූයේ සිංහල හා දෙමළ ය. සිංහලයන්ට සිංහලත්, දෙමළ හා මුසල්මාන දනන්ට දෙමළත් ය. උපකාරක භාෂාව ඉංගිරිසිය. එය අවශ්‍ය වන බව සත්‍යයකි. එහෙත් මවුබස නොදැනීම නිසා බොහෝ දෑ ජීවිතයෙන් අහිමි වී යන්නේය. බංග්ලාදේශ වාසීහු දෙමළ ජාතිකයන් මෙන් සිය භාෂාව, සාහිත්‍යය, දේශය ජනී ජනයාට බෙහෙවින් ආදරය කරති.

අප රටේ සිංහල, දෙමළ, මුස්ලිම් වැනි ජන වර්ගයන්ට අයත් විශාල ශ්‍රම බළකායක් බංග්ලාදේශයේ ඇඟලුම් ආදී කර්මාන්තයන්හි රැකී රක්‍ෂාවල නිරතව සිටිති.

මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර

advertistmentadvertistment
advertistmentadvertistment